"මම දවසක් පාන්දර දෙකට විතර වතුර බොන්න කුස්සියට යන ගමන් දැක්කා විෂාන්ගේ (මෙය දරුවාගේ අනන්‍යතාව හෙළි නොකිරීම සඳහා

භාවිත කරන වෙනත් නමකි) කාමරයේ ලයිට් එක දාලා තියෙනවා. මේ ළමයාට තවම වයස අවුරුදු 13යි. ඉතින් මෙච්චර වෙලා පාඩම් කරන්න හේතුවක් නැති නිසා මම කාමරයට එබිලා බැලුවා ම එයා ගේම් එකක් ගහනවා, කම්පියුටර් එකේ," මෙම අත්දැකීම අනාවරණය කළේ, විෂාන් නමින් හඳුන්වන ඉහත කී දරුවාගේ මුත්තණුවන්ය‍.

ජාත්‍යන්තර පාසලක 8 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන එම දරුවාගේ මව මහනුවර සිට රැකියාවක නිරත වන අතර, පියා බ්‍රිතාන්‍යයේ රැකියාවක නිරත වෙයි.

 

දෙමාපියන්ගේ රැකවරණය නොලබන එම දරුවා හදාවඩා ගනු ලබන්නේ, පියගේ මව සහ පියා විසිනි.

දරුවාගේ පෙරැත්ත කිරීම් අනුව පරිගණක ක්‍රීඩා මෙවලමක් ද පියා ලබා දී ඇතැයි මුත්තණුවන් හෙළි කළේය.

මේ අතර, විෂාන්ගේ මිතුරෙකු ද ඔහුට වෙන ම කාමරයක් දෙන ලෙස දෙමාපියන්ට ඇවිටිලි කරන බව එම දරුවාගේ මව අප සමග පැවසීය.
දරුවන්ට වෙන ම කාමරයක් ලබා දීම සඳහා සුදුසු වයසක් තිබේ ද? එවැනි කාමරයක් ලබා දිය යුත්තේ කුමන ආකාරයට ද? යන්න පිළිබඳව බොහෝ දෙමාපියන්ට ගැටලුසහගතය.

'පෞරුෂ වර්ධනයට වෙන ම කාමරයක්'

දරුවන්ගේ පෞරුෂ වර්ධනය සඳහා ඔවුන් වැඩිවියට පත්වෙද්දී වෙන ම කාමරයක් ලබා දීම සුදුසු බව මනෝ වෛද්‍ය කපිල රණසිංහ පැවසීය.

 

"සාමාන්‍යයෙන් වැඩිවියට පත්වන වයස, ඒ කියන්නෙ 11,12,13 වයසෙදි එහෙම හිතෙන එක සාමාන්‍ය දෙයක්. අඩු වයසින් ස්වාධීන කරන එක පෞරුෂයට හොඳයි. ලිංගික පරිණතභාවය ගෑනු ළමයින්ගේ කලින් එනවා. ඒ කියන්නේ වයස අවුරුදු 9-12 අතර. පිරිමි ළමයින්ගේ නම් වයස 12-14 අතර තමයි ලිංගික පරිණතභාවය ඇති වෙන්නේ. ඒ කාලෙදි වෙන ම කාමරයක් ඔවුන්ට ලැබෙනවා නම් පෞරුෂ වර්ධනයට හොඳයි කියන එක තමයි පිළිගැනීම."


"ශ්‍රී ලංකාවේ ගැහැනු ළමයින්ගේත්, පිරිමි ළමයින්ගේත් පෞරුෂ දුර්වලතා තියෙනවා. අතීතයේ වගේ දෙමාපියන් එක්ක එක ම කාමරයක තරුණ වයස වෙනකම් ඉන්න එක ඒකට ප්‍රධාන වශයෙන් බලපානවා. ළමයින්ව කාමර ඇතුළේ තියාගෙන හදන එක පෞරුෂ වර්ධනයට හානියක්," ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.


කෙසේ වෙතත්, වෙන ම කාමරයක් දීමට පෙර සැලකිය යුතු කරුණු කිහිපයක් පිළිබඳව ද මනෝ වෛද්‍ය කපිල රණසිංහ පැහැදිලි කළේය.

 

"හැබැයි වෙන ම කාමරයක් දෙනවා කියන්නේ අනවශ්‍ය විදිහට පරිගණක, ස්මාර්ට් ජංගම දුරකතන වගේ මෙවලම් අතට දෙන එක නෙවෙයි. ඒවා භාවිතයේදී දෙමාපියන් ගොඩක් සැලකිලිමත් වීම අවශ්‍යයි. නැත්නම් පරිගණක ක්‍රීඩාවලට ඇබ්බැහි වීම වැනි දේවල්වලට යොමු වීමේ අවදානමක් තියෙනවා. කාමරයක් දෙනවා නම් දරුවාට ස්වාධීන වෙන්න අවස්ථාවක් ලබා දෙන ගමන් ඒ දරුවාගේ ආරක්ෂාව ගැනත් දෙමාපියන් විමසිලිමත් විය යුතුයි"


"කාමරයක් දෙනවා නම් දරුවාට ස්වාධීන වෙන්න අවස්ථාවක් ලබා දෙන ගමන් ඒ දරුවාගේ ආරක්ෂාව ගැනත් දෙමාපියන් විමසිලිමත් විය යුතුයි"

යුරෝපයේ ක්‍රමය හරි ද?

සාමාන්‍යයෙන් යුරෝපයේ දරුවන් වයස අවුරුදු 3-5 අතර පසුවෙද්දී දෙමාපියන්ගේ කාමරයෙන් පිට කර වෙන ම කාමරයකට හුරු කරයි.

කෙසේ වෙතත්, මෙවැනි තීරණයක් ගැනීමේදී දරුවන් වෙන ම කාමරයක සිටීමට සූදානම් ද? යන්න පිළිබඳව සොයා බැලිය යුතු බව විශේෂඥයින්ගේ අදහස වී තිබේ.

එසේ නැතහොත්, දරුවන් තුළ හුදෙකලා වීම, සාංකාව වැනි හැඟීම් වර්ධනය වීමෙන් පෞරුෂත්වයට හානි සිදුවිය හැකි බවට ද පර්යේෂණ හරහා මත පළවී තිබේ.

"අවුරුදු 5 වෙනකම් වත් දරුවෙක් දෙමාපියන් එක්ක ඉන්න එක තමයි හොඳ. ඒ දෙමාපියන දූදරු බැඳීම දරුවන්ගේ පෞරුෂ වර්ධනයට වැදගත් වෙනවා. ඊට පස්සේ ඔවුන් වැඩිවියට පත්වෙද්දී වෙන ම කාමරයක් දෙන එක වරදක් නැහැ. හැබැයි, ඒ දරුවන්ගේ හැසිරීම් ගැන අවබෝධයක් ඇතිව තමයි ඒ තීරණය ගත යුත්තේ. සමහර දරුවෝ ඉන්නවා, ඉන්ටර්නෙට් හෝ පරිගණක ක්‍රීඩාවලට ඇබ්බැහිකමක් දක්වන අය. ඒ වගේ දරුවන්ට ඒවාට අදාළ මෙවලම් එක්ක කාමරයක් ලබා දීම භයානක වෙන්න පුළුවන්. මොන තත්ත්වයක් යටතේ වුණත් දරුවන්ගේ ක්‍රියාකාරකම් දිහා දෙමාපියන් විමසිල්ලෙන් බැලිය යුතුමයි," මනෝ වෛද්‍ය විශේෂඥ රූමි රූබන් බීබීසී සිංහල සේවයට පැවසීය.


'තාක්ෂණික මෙවලම් ගැන දෙමාපියන්ගේ දැනුම ගොඩක් අඩුයි'


මේ අතර, දරුවන්ට වෙන ම කාමරයක් දීමේදීත්, තාක්ෂණික මෙවලම් ලබා දීමේදීත් දෙමාපියන් සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක් ඇතැයි සයිබර් ආරක්ෂණ විශේෂඥ අසේල වෛද්‍යාලංකාර පවසයි.

"ඉන්ටර්නෙට් කියන දේ ගින්දරට සමාන කරන්න පුළුවන්. ගින්දර අපට ගොඩක් ප්‍රයෝජනවත්. ඒත් ඒකෙන් අපි ගිනි තියා ගත්තොත් වෙන්නේ විනාශයක්. ඉන්ටර්නෙට් එකත් ඒ වගේ. අවශ්‍ය ප්‍රයෝජනය නොගෙන අනවශ්‍ය දේට ඉන්ටර්නෙට් පාවිච්චි කළොත් වෙන්නේ විනාශයක්. ඒක දරුවන්ට වටහා දිය යුතුයි. මෙතන තියෙන ලොකු ම ප්‍රශ්නය තමයි දෙමාපියන්ට ඉන්ටර්නෙට් හෝ තාක්ෂණික මෙවලම් ගැන දැනුමක් නොතිබීම. ඔවුන් දන්නෙ නෑ, දරුවන් ඉන්ටර්නෙට් භාවිත කරමින් කරන්නේ මොනවා ද කියලා."


දරුවන් ඉන්ටර්නෙට් භාවිත කිරීම සම්පූර්ණයෙන් නතර කළ නොහැකි බවත්, ඉන්ටර්නෙට් හරහා දරුවන්ට හානියක් සිදු නොවීමට ගත යුතු පියවර කිහිපයක් ඇති බවත් අසේල වෛද්‍යාලංකාර පැහැදිලි කළේය.

"දරුවන් වැරදි දේට යොමු වෙන එක වළක්වන්න යම් යම් සීමා තියෙනවා. අනවශ්‍ය වෙබ් අඩවිවලට පිසිසෙන එක වළක්වන මෘදුකාංග තියෙනවා. 'Internet safety for kids' කියලා සර්ච් කළා ම ඒ මෘදුකාංග හඳුනාගන්න පුළුවන්. ඊට අමතරව, යූටියුබ් භාවිතයේදී දරුවන්ට YouTube kids භාවිත කරන්න සැලැස්වුවහොත් දරුවන්ට නුසුදුසු වීඩියෝ සජෙස්ට් වෙන්නෙ නෑ. මේ වගේ දේවල් ගැන දෙමාපියන් දැනුවත් විය යුතුයි. ඊට අමතරව, ප්‍රධාන ම දෙයක් තමයි, වෙන ම කාමරයක් භාවිත කරන දරුවන්ට එම කාමරය තුළ ජංගම දුරකතන, පරිගණක, Playstation, Xbox වගේ පරිගණක ක්‍රීඩා මෙවලම් නොතැබිය යුතුයි."


"දරුවන් වැඩිවියට පත් වෙද්දී ඔවුන්ට තමන්ගේ ම අවකාශයක්, ස්වයං ආරක්ෂාවක් අවශ්‍ය වෙනවා. ඒ නිසා වසය අවුරුදු 7 අවසන් වුණා ම ඔබ ඔබේ දරුවාට කියන්න පටන් ගත යුතුයි"


දරුවෙකුට වෙන ම කාමරයක් දීමේ ක්‍රමවේදය

දරුවෙකු දෙමාපියන්ගේ කාමරයේ සිට වෙන ම කාමරයකට යොමු කිරීමේදී අනුගමනය කළ යුතු ක්‍රමවේදය පිළිබඳව ඉන්දියාවේ බැංගලෝර්හි ජ්‍යෙෂ්ඨ මනෝ වෛද්‍ය උපදේශිකාවක වන වෛද්‍ය සුරේඛා තිවාරි පැහැදිලි කර ඇත්තේ මෙසේය.

 

"දරුවන් වැඩිවියට පත් වෙද්දී ඔවුන්ට තමන්ගේ ම අවකාශයක්, ස්වයං ආරක්ෂාවක් අවශ්‍ය වෙනවා. ඒ නිසා වසය අවුරුදු 7 අවසන් වුණා ම ඔබ ඔබේ දරුවාට කියන්න පටන් ගත යුතුයි, 'මේක ඔයාගේ කාමරය කියලා. ඔබ පැහැදිලි කළ යුතුයි, කාමරය සැකසිය යුත්තේ කොහොම ද කියලා. දරුවාට කැමති පාට, කැමති ඇඳක් සහ කාමරය තුළ තිබිය යුත්තේ මොකක් ද කියන එක දරුවාට තෝරා ගන්න ඉඩ දිය යුතුයි. දරුවා ඒ කාමරය තුළ වැඩි කාලයක් ගත කරනවා ද කියලා සොයා බැලිය යුතුයි. දරුවා ඒ අනුව තමන්ගේ අවකාශයකට හුරු පුරුදු වෙනවා. කොහොම වුණත් මේ වයස හැමෝට ම පොදු නෑ. දරුවන්ගේ පෞරුෂය අනුව ඒක වෙනස් වෙන්න පුළුවන්."


කෙසේ වෙතත්, දරුවන් වෙන ම කාමරයකට යොමු කළ යුත්තේ ඉතා ප්‍රවේශමෙන් වන අතර නිරන්තරයෙන් දරුවන් පිළිබඳව සොයා බැලීම අඛණ්ඩව කළ යුතු බව මනෝ වෛද්‍ය විශේෂඥ රූමි රූබන් වැඩිදුරටත් පැවසීය.


(BBC සිංහල සේවය)


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්