leader s

"අම්මේ මට පන්තියේ ළමයි ඔක්කොම ඉස්සරහ විද්‍යාව සර් කිව්වා, 'black monkey go out of the class' කියලා" 7 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන යසිඳු පැවසීය.

 

යසිඳු (සැබෑ නම නොවේ) යනු පානදුර ප්‍රදේශයේ පාසලක 7 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙකි.

ක්‍රීඩා කටයුතුවල නිරත වන ඔහු තරමක් අඳුරු පැහැයෙන් යුතු සමක් සහිත දරුවෙකි.

පාසලේ පැවති දෙමාපිය රැස්වීමකට ගිය අවස්ථාවේ ඔහුගේ මව කම්පනයට පත් කළ සිදුවීමක් පිළිබඳව අසන්නට ලැබුණේ, පාසලේ විනය කටයුතු අධීක්ෂණය කරන ප්‍රොටෝකෝල් නිලධාරිණියකගෙනි.

"ඔයාගේ පුතාට මේ ළඟදි සර් කෙනෙක් 'black monkey' කියලා බැනලා තියෙනවා," යනුවෙන් අදාළ නිලධාරිණිය යසිඳුගේ මවට පවසා තිබිණි.

එදින රාත්‍රියේ එම සිද්ධිය පිළිබඳව යසිඳුගේ සිත නොරිදෙන පරිදි විමසීමට ඔහුගේ මව පියවර ගෙන තිබිණි.

"ඔව් අම්මේ මට පන්තියේ ළමයි ඔක්කොම ඉස්සරහ විද්‍යාව සර් කිව්වා, 'black monkey go out of the class' කියලා. දැන් සති දෙකක් විතර ඇති අම්මේ ඒක වෙලා," යසිඳු සිය මව සමග පැවසුවේ ය.

"මාව පන්තියෙන් එළියට දැම්මේ මම කරපු වරදකට නෙවෙයි. මගේ පෑන ළඟ හිටිය යාළුවෙක් අරගෙන තිබුණ නිසා මම ඒක අර ගන්න නැගිට්ටා. ඒක දැකපු සර් මට ඒ විදිහට බැනලා පන්තියෙන් එළියට දැම්මා."

"ඇයි පුතා මට ඒක එදා ම නොකිව්වේ?" මව ඇසුවා ය.

මවගේ එම ප්‍රශ්නයට යසිඳු දුන් පිළිතුරෙන් පාසල් පද්ධතිය තුළ දරුවන් අනාරක්ෂිත බවට වන සාක්ෂියක් ලැබිණි.

"මම පන්තියෙන් එළියෙ ඉන්නකොට සෙක්ෂනල් හෙඩ් ඇවිත් ඇහුවා ඇයි එළියෙ ඉන්නෙ කියලා. මම කිව්වා වෙච්ච දේ. ඊට පස්සේ මිස් මට කිව්වා ඒ ගැන ගෙදර ගිහින් කියන්න එපා කියලා. ඒකයි මම නොකිව්වේ," යසිඳු සියල්ල හෙළි කළේ ය.

 

Strong mother protects her child from danger. Stop violence against children. A big fist threatens a woman and her baby. Vector illustration

වාචික හිංසනයකට ලක්ව තමාට සිදුවූ හිත්රිදීම ගැන දෙමාපියන්ට දැනුම් දීමට පවා නොහැකිව අසරණ වූ එම දරුවාට සිදුවූ අසාධාරණය පිළිබඳව ක්‍රියාමාර්ග ගැනීමට යසිඳුගේ මව මැලිකමක් දැක්වූයේ, ඉන් ඇයගේ දරුවාට යළිත් හිංසනයකට මුහුණ පෑමට සිදුවනු ඇතැයි යන බිය නිසා ය.

 

'Black monkey' යනුවෙන් ආමන්ත්‍රණය කිරීම හිංසනයක් වන්නේ කෙසේ ද?

අදාළ ගුරුවරයා යසිඳුට 'Black monkey' යනුවෙන් ආමන්ත්‍රණය කළේ, ඔහුගේ අඳුරු පැහැති සම නිසා විය හැකි බව යසිඳුගේ මව සිතයි.

ශරීරයේ පැහැය, ශරීරයේ අවයව ආදිය මත යමෙකුට නම් පටබැඳීම, ලජ්ජාවට පත් කිරීම, නින්දා කිරීම වාචික හිංසනයක් ලෙස නීතිය අනුව සැලකේ.

යටිගිරියෙන් කෑ ගැසීම, තර්ජනය කිරීම, නිරන්තරයෙන් විවේචනය කිරීම සහ සරදම් කිරීම ද වාචික අපයෝජනය හෙවත් වාචික හිංසනය සිදුවන අවස්ථා ලෙස පිළිගැනේ.

ප්ලෑන් ජාත්‍යන්තර සංවිධානය පවසන්නේ, එවැනි වාචික අපයෝජනයකට ලක්වන දරුවෙකුට ප්‍රකෘති තත්ත්වයට පත්වීම සඳහා දීර්ඝ කාලයක් ගත වන බව ය.


වාචික හිංසනවල භයානක ප්‍රතිවිපාක

"වාචික හිංසනයට ලක්වෙන දරුවන් සියදිවි හානි කර ගැනීමක් දක්වා යොමුවීමේ අවදානමක් තියෙනවා. ඒ නිසා වාචික හිංසන කියන්නේ ඉතා බරපතළ අපයෝජනයක්," ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් අනෝමා සිරිවර්ධන බීබීසී සිංහල සේවයට පැවසීය.

ඇය පෙන්වා දුන්නේ, ළමා හිංසනවලට එරෙහිව කටයුතු කිරීමට යාමේදී යළිත් දරුවා අපයෝජනයට ලක්වන බව ය.

"ගුරුවරුන් අතින් වාචික අපයෝජනවලට ලක්වුණ දරුවන් ගැන පැමිණිලි ගොඩක් අපට ලැබෙනවා. ඒ පැමිණිලි විභාග කරද්දී අපි දැකල තියෙන දෙයක් තමයි, බොහෝ විට පාසල් කළමනාකාරීත්වය ගන්නේ ගුරුවරයාගේ පැත්ත. එතනදි ළමයාව පාසලෙන් අස් කිරීම දක්වා කනගාටුදායක සිද්ධි වෙන්න පුළුවන්. ඒ සියල්ලෙන් දරුවා නැවත නැවතත් මානසිකව අපයෝජනයට ලක්වෙනවා," ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ප්‍රකාශ කළා ය.

මේ අතර, ළමුන්ගේ පෞරුෂත්ව වර්ධනය හීන වීමට ද මෙවැනි හිංසන ඍජුව බලපාන බව ඇය පෙන්වා දුන්නා ය.

'දියුණු රටවල ළමයින් පීඩාවට පත් කරන්නෙ නෑ'

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින්
පාසල් තුළ ගුරුවරුන් විසින් දරුවන්ට වාචික හෝ ශාරීරික හිංසන සිදු කරනු ලැබීම "දැඩි පිළිකුළෙන් යුතුව හෙළා දකින" බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් පවසයි.

අප කළ විමසුමකදී ඔහු පෙන්වා දුන්නේ, ගුරුවරුන් ළමා හිමිකම් පිළිබඳව යාවත්කාලීන කිරීම සඳහා පියවර ගත යුතු බව ය.

"ලෝකෙ දියුණු රටවල ළමයි පීඩාවට පත් කරන්නෙ නෑ. ගුරු සංගමයක් හැටියට අපි විරුද්ධ යි ළමයි පීඩාවට පත් කරන එකට. ළමයින්ව මානසික හිංසාවට ලක්කිරීම දැඩි ලෙස පිළිකුළෙන් යුතුව හෙළා දකිනවා. මේවා වෙනස් වෙන්න ඕනෙ. අධ්‍යාපන අමාත්‍යංශය පැත්තෙනුත් ගුරුවරුන්ව යාවත්කාලීන කරන්න ඕනෙ ළමා හිමිකම් සම්බන්ධයෙන්," ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම්වරයා සඳහන් කළේ ය.

දරුවෙකු වාචික අපයෝජනයකට ගොදුරු වූ විට දෙමාපියන් කළ යුත්තේ කුමක් ද?

 

හමුදා පාලනයක් ඔස්සේ රට මියන්මාරයක් කිරීමේ සැලසුම් ගැන චෝදනානීතිඥ අචලා සෙනෙවිරත්න

"සමේ වර්ණය, ජන වර්ගය හෝ වෙනත් කිසිදු සාධකයක් මත ළමයෙකුට වෙනස් කොට සලකන්න බැහැ. අනිත් අතට ද්වේශසහගතව වචන පාවිච්චි කරන්න බැහැ. ළමා ආරක්ෂණ පනතේ ම තියෙනවා ළමයින්ට ගැලපෙන භාෂාවෙන් කතා කරන්න ඕනෙ," නීතිඥ අචලා සෙනෙවිරත්න ප්‍රකාශ කළා ය.

ඇය පෙන්වා දුන්නේ, දරුවෙකු වාචික හිංසනයකට ලක්වුවහොත් ඊට එරෙහිව දෙමාපියන්ට හෝ භාරකරුවන්ට ගත හැකි ක්‍රියාමාර්ග කිහිපයක් ඇති බව ය.

* මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කිරීම.

* පොලිස් ළමා හා කාන්තා කාර්යංශයට පැමිණිලි කිරීම.

* ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිලි කිරීම.

* අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීම.


ඔබේ දරුවා දැනුවත් කළ යුත්තේ කෙසේ ද?

 

angry mother screaming at her child vector 37550723
බොහෝ දරුවන්ට වාචික හිංසන පිළිබඳව දැනුවත්භාවක් නොමැති අතර, වාචික හිංසනයක් තේරුම් ගැනීමට දරුවන්ට අවබෝධය ලබා දිය යුතු බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් අනෝමා සිරිවර්ධන ප්‍රකාශ කළේ, තමන්ගේ බාහිර පෙනුම මත හෝ වෙනත් සාධක මත මානසික පීඩනයක් සිදුවුවහොත් ඒ පිළිබඳව 1929 දුරකතන අංකය ඔස්සේ ජාතික ළමා ආරක්ෂක අධිකාරියට දැනුම් දිය හැකි බව ය.

"මේ වගේ සිද්ධියක් වුණා ම ඒක ඔප්පු කර ගන්න සාක්ෂි අවශ්‍ය යි. අදාළ වරද කරපු ගුරුවරයා කියන්න පුළුවන් තමන් එවැනි හිංසනයක් නොකළ බව. හැබැයි අපට පැමිණිලි කරල තිබුණොත් ඒක සාක්ෂියක් විදිහට අපට යොදා ගන්න පුළුවන්."

මේ අතර, මෙවැනි හිංසනයක් සිදුවූ විට දෙමාපියන්ට ඒ පිළිබඳව දැනුම් දෙන ලෙස දරුවාට අවබෝධ කළ යුතු බව ද ඇය පැවසීය.

සිවිල් සහ අපරාධ යන නීති ඔස්සේ නඩු පැවරිය හැකි බව ඔබ දන්නවා ද?

 

depositphotos 634506130 stock illustration stressed child being bullied school
ළමා හිංසන සම්බන්ධයෙන් සිවිල් සහ අපරාධ යන නීති දෙඅංශය ඔස්සේ ම අධිකරණමය ක්‍රියාමාර්ග ගත හැකි බව නීතිඥ අචලා සෙනෙවිරත්න පවසයි.

"ළමයෙකුට මානසික පීඩනයක් හෝ අපයෝජනයක් කළොත් අපරාධ නීතිය අනුව අදාළ පුද්ගලයාට එරෙහිව අපරාධ නීතිය අනුව දඬුවම් ලබා දෙන්න පුළුවන්. අදාළ පුද්ගලයා වැරදිකරු වුණොත් අවුරුදු 5ක් දක්වා සිරදඬුවම් නියම කරන්න පුළුවන්. අනික් අතට අදාළ හිංසනය හරහා දරුවාට මානසික පීඩාවක් ඇති වෙලා නම් ඒ පීඩාවේ ස්වභාවය අනුව සිවිල් නඩුවක් ගොනු කරලා වන්දි ලබා ගන්නත් පුළුවන්," නීතිඥවරිය පැහැදිලි කළා ය.

වාචික හිංසනය සිදුවන්නේ ගුරුවරුන්ගෙන් පමණ ද?

Conflict with parents, father and mother scolding a teenage girl. Adolescent girl under stress, depression. Children's misunderstanding with their families. Vector characters.
දරුවන්ට වාචික හිංසනවලට ලක්වීමට සිදුවන අවස්ථා පාසල් තුළදී විශාල වශයෙන් වාර්තා වුව ද එවැනි හිංසන සිදුවන්නේ පාසල් තුළ පමණක් නොවේ.

සම වයස් කණ්ඩායම්, අසල්වැසියන්, පාසල පමණක් නොව තමන්ගේ ම පවුලේ සාමාජිකයින්ගෙන් ද වාචික අපයෝජනයන්ට ලක්වන අවස්ථා බහුලව සිදුවෙයි.

"සමහර අම්මලා තාත්තලා ළමයින්ට ලෝකෙ ඉන්න හැම සතෙකුගෙ ම නම් කියලා බනිනවා. සැරවැර කරනවා. තමන්ගේ ම දරුවන් පහත් කරලා කතා කරනවා. සරදමට ලක් කරනවා. ඒ සියලු දේ වාචික අපයෝජන. ඒ නිසා මේ පීඩාවන් දරුවන්ට ඇති නොකරන්න සියලු දෙනා ම වගබලා ගත යුතු යි," ළමා ආරක්ෂක අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් අනෝමා සිරිවර්ධන වැඩිදුරටත් පැවසීය.

| BBC සිංහල සේවය


 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්