මෙම යුවළ 2015 වසරේ සිට එක්ව වාසය කරති


මායා ගුරුං සහ සුරේන්ද්‍ර පාණ්ඩේ සිටියේ ඉතිහාසගතවීමට සූදානමෙනි.

මායා සංක්‍රාන්ති ලිංගික කාන්තාවක වන නමුත් ඇය රජයේ නිල ලේඛනවල ඇගේ ලිංගිකත්වය වෙනස්කර නැත. ඇගේ සහකරු සුරේන්ද්‍ර සමලිංගිකයෙකි.

මේ යුවළ නේපාලය තුළ නීත්‍යනුකූලව විවාහ වන පළමු සමලිංගික යුවළ බවට පත්වීමට නියමිතව තිබිණි. ඒ, එරට පවතින නීති වෙනස් කිරීම සඳහා නීති සම්පාදනය කරන තෙක් එවැනි විවාහ ලියාපදිංචි කරන ලෙස රජයට නියෝග කරමින් එරට ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු නියෝගයකට අනුව ය.

2017 වසරේ දී යුවළ කෝවිලක මංගල උත්සවයක් පවත්වා විවාපත් වූ නමුත් ඔවුන්ගේ විවාහයට නීත්‍යනුකූල පිළිගැනීමක් අවශ්‍ය විය.

අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය ප්‍රගතිශීලීන් විසින් ප්‍රශංසාවට ලක් කරනු ලැබුවේ, නේපාලයේ සමලිංගික යුවළවලට සහනයක් ගෙන දෙන ඓතිහාසික නියෝගයක් ලෙසිනි.

නමුත් මෙම යුවළගේ සිහින සැබෑ නොවීය.


ජූලි 13 වන දින නේපාලයේ කත්මණ්ඩු අගනුවර දිසා අධිකරණය ඔවුන්ගේ විවාහය ලියාපදිංචි කිරීම ප්‍රතික්ෂේප කළේ, එම නියෝගය රජයට පමණක් යොමුකර ඇති බැවින් අතුරු නියෝගය අනුගමනය කිරීමට පහළ අධිකරණ බැඳී නොසිටින බවට තර්ක කරමිනි.

"අපිට ගොඩක් හීන තිබුණා, ඒත් දැන් ඒවා සුනුවිසුණු වෙලා ගිහින්," ගුරුං බීබීසීය වෙත පැවසුවා ය. "ඒක අපිට අපි මේ රටේ පුරවැසියෝ නෙවෙයි කියලා දැනෙන්න සැලැස්සුවා."

මෙම යුවළ පටාන් නගරයේ මහාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර ඇති නමුත් නඩු විභාගය දැනට ම ත් පස් වරක් කල් ගොස් ඇත.

දිසා අධිකරණය විවාහය ලියාපදිංචි කිරීම ප්‍රතික්ෂේප කිරීම, ලිංගිකත්වය මත පදනම් වූ සුළුතර ප්‍රජාවගේ නීතිමය ආරක්ෂාව සහ සමාජ පිළිගැනීම ඉහළ නැංවීම සඳහා නේපාලය දශක ගණනාවක් පුරා අත්කර ගත් ප්‍රගතියට සිදුවූ නැවුම් පසුබෑමක් ලෙස සැලකේ.

LGBTQ ප්‍රජාවේ හිමිකම් වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායමක් වන Blue Diamond Societyහි නායකත්වය දරන පින්කි ගුරුං පවසන්නේ, විවාහ සමානාත්මතාව සාක්ෂාත් කර ගැනීම සඳහා තම ප්‍රජාවට තව ම ත් "දිගු සටනක්" කිරීමට ඇති බව ය.

"අපට බොහෝ වාරයක් පිහිට වුණු එක ම ආයතනය අධිකරණය, විශේෂයෙන් ම ශ්‍රේෂ්ඨාධිකරණය විතර යි."

නේපාලයේ ප්‍රථම වරට තමන් සමලිංගික බවට විවෘතව පිළිගත් මන්ත්‍රීවරයා වූ ද, Blue Diamond Societyහි නිර්මාතෘවරයා වූ ද සුනිල් බාබු පන්ත් "දිගට ඇදෙමින්" සිදුවන මෙම ක්‍රියාවලිය "ලිංගිකත්වය සහ ස්ත්‍රී පුරුෂභාවය සබැඳි සමස්ත සුළුතර ප්‍රජාවට අසාධාරණයක්" ලෙස හඳුන්වා තිබේ.

"අපි මායාගෙයි සුරේන්ද්‍රගෙයි නඩුව ඉදිරියට අරගෙන යන්නේ ටෙස්ට් එකක් විදිහට. එයාල දෙන්නගේ කසාදෙ ලියාපදිංචි වුණාට පස්සේ, බලාපොරොත්තුවෙන් ඉන්න අනෙකුත් ජෝඩුවලටත් එයාලගේ කසාද ලියාපදිංචි කරන්න පුළුවන් වෙනවා."

a2ba1f50 41ca 11ee 9b58 cb80889117a8
මෙම යුවළ වසර හයකට පෙර විවාහ උත්සවයක් පැවැත්වූ නමුත් එය නිත්‍යානුකූල පිළිගැනීමක් ඇති විවාහයක් නොවේ.


පාණ්ඩේ සහ ගුරුං ඔවුන්ගේ විවාහය ලියාපදිංචිකර ගැනීමේ දී මුහුණ දුන් කරදර හේතුවෙන්, පහළ අධිකරණයේ තීන්දුව නිසා ඔවුන්ට ඇතිවූ කලකිරීම උත්සන්න වී තිබේ.

අධිකරණයට පැමිණීමට ප්‍රථමයෙන්, අගනුවර සිට කිලෝමීටර් 150ක් පමණ දුරින් නවල්පරාසිහි පිහිටි පාණ්ඩේගේ ගමට ගොස් පළාත් පාලන ආයතනයෙන් නිර්දේශ ලිපියක් ලබා ගැනීමට ඔවුන්ට සිදු විය.

එගමන සඳහා ගතවන්නේ පැය හතරක් පහක් පමණක් වන නමුත් මෝසම් වැසි හා ඒ සමග ඇති වූ නායයෑම් නිසා පැය 12ක කාලයක් මහමඟ ගත කිරීමට ඔවුන්ට සිදුවිය. "බස් එක ඇතුළේ අපි දාඩියෙන් පෙඟිලා පැය හතරක් විතර වගේ හිටියා," ගුරුං පැවසුවා ය.

කත්මණ්ඩු වෙත ආපසු පැමිණි පසු, යුවළට ඔවුන්ගේ අසල්වැසි ග්‍රාම නිලධාරී කාර්යාලයෙන් තව ත් ලිපියක් ලබා ගන්නා ලෙස දන්වා ඇත. යුවළගේ පදිංචිය සනාථ කිරීම සඳහා ඔවුන්ගේ නිවෙස්හිමියා සහ තවත් අසල්වාසීන් දෙදෙනෙකු අත්සන් කළ ලියවිල්ලක් රැගෙන එන ලෙස පසුව නිලධාරීන් ඔවුන්ට පවසා ඇත.

මීට පෙර කාන්තාවක සමග විවාහ වී සිටි ගුරුංට 2013 වසරේ දී ඇගේ පළමු විවාහය අවලංගු කර ඇති බව සනාථ කරන ලියකියවිලි ඉදිරිපත් කරන ලෙසට ද අධිකරණය නියෝග කළේ ය. "මම ගොඩක් විඳවලා තියෙන්නේ," ගුරුං පවසයි.

ඇගේ ලිංගය ඇයට නොගැලපෙන බව ඉතා කුඩා අවධියේ දී සිටම ඇය දැන සිටිමුත්, පියා ගම් ප්‍රධානියෙකු වූ බැවින් එය ඇගේ පවුලට ලැජ්ජාවක් ගෙන දේයැ යි කනස්සල්ලට පත්ව සිටි බව ඇය පවසයි.

වයස අවුරුදු 13 දී ඇය කත්මණ්ඩු වෙත පදිංචියට ගිය අතර එහිදී ඇයට සංක්‍රාන්ති ලිංගික කාන්තාවක ලෙස විවෘතව ජීවත් වීමට හැකි විය.

නමුත් ඉන් වසර දෙකකට පසු ඇගේ පවුලේ සාමාජිකයෝ කාන්තාවක සමග විවාහවන ලෙස ඇයට බල කළහ. ඔවුහු දරුවන් දෙදෙනෙකු ලැබූහ. විවාහය හේතුවෙන් ඇය විෂාදයෙන් පීඩා විඳි බව ත්, ඇය ඇගේ දරුවන් සමග සබඳතාවක් නොපවත්වන බව ත් ඇය සඳහන් කළා ය. 2013 වසරේ දී ඇය දික්කසාදය ඉල්ලා තිබුණි.

එම වසරේදී ම නේපාලය, වසර හයකට පෙර ලබා දුන් ඓතිහාසික නඩු තීන්දුවක ප්‍රතිඵලයක් වශයෙන් පුරවැසිභාවය තහවුරු කිරීමේ ලියකියවිලිවල තෙවැනි ලිංගයක් සටහන් කිරීමට විකල්පයක් හඳුන්වා දුන්නේ ය.

2bdb4160 41cb 11ee 9b58 cb80889117a8
යුවළ ඔවුන්ගේ හුරතලා වන සුරූ සමග කත්මණ්ඩු නුවර දිවි ගෙවයි.


2015 වසරේදී ගුරුංට පාණ්ඩේ මුණගැසුණේ නවල්පරාසිහි දී ය. ඇගේ සහෝදරියට අයත් අවන්හලක් ඊට ආසන්නයේ පිහිටා තිබුණි.

සෑම විට ම පාහේ පිරිමින්ට ආකර්ෂණය වුණු පාණ්ඩේ, මායා මුණගැසුණු සැණින් ඇය හා ආදරයෙන් බැඳුණි. ඔහු දැන් පවසන්නේ ඔහුගේ ලිංගික දිශානතිය වර්ගීකරණය කරන්නේ කෙසේදැ යි ඔහුට අවබෝධයක් නොමැති බව ය.

ඔහුගේ දෙමාපියන් ටයිපොයිඩ් රෝගයෙන් මියගිය දා පටන්, වයස අවුරුදු හයේ සිට ඔහු ඇතිදැඩි කළ ඔහුගේ වැඩිමහල් සහෝදරියට සත්‍යය හෙළි කිරීමට මෙම සම්බන්ධය ඔහුට ධෛර්යය ලබා දුන්නේ ය.

"මුලදී අක්කා ඒක අනුමත කළේ නැහැ. එයා මං ගැන, මගේ අනාගතේ ගැන කනස්සල්ලෙන්, හිත් කරදරෙන් හිටියේ. ඒත් මම වෙනස් බව එයා ටිකෙන් ටික පිළිගත්තා."

පාණ්ඩේ ගුරුං හා කත්මණ්ඩු වෙත ගිය අතර, ඔවුහු ක්‍රමයෙන් පවුල්වල අනුමැතිය දිනා ගැනීමට සමත් වූහ.

වසර දෙකක පෙම් සබඳතාවකින් පසු 2017 වසරේ දී යුවළ කත්මණ්ඩු නුවර පිහිටි හින්දු කෝවිලක විවාහ උත්සවයක් පැවැත්වූහ. පවුලේ සාමාජිකයින් සහ මිතුරන් විශාල ගණනක් ඊට සහභාගි විය. ඔවුහු 'පංචේ බජා' නම් සම්ප්‍රදායික සංගීත භාණ්ඩ පහකින් නැගුණු සංගීතයට නැටුම් ගැයුම්වල යෙදුණහ.

එතැන් සිට ඔවුහු තම සුරතලා වන සුරූ සුනඛයා සමග ජීවත් වෙති. "අපි ගෙදර සුද්ද කරන්නේ එකට, උයන්නේ එකට, මම මායාගේ කුකුළු මස් කරියට හරි ම කැමතියි," පාණ්ඩේ පවසයි.

ඔවුන්, විවාහය ලියාපදිංචි කෙරෙනු ඇතැ යි අපේක්ෂාවෙන් පසුවන අතර අවශ්‍ය නම් ඊට අදාළ නඩු කටයුත්ත නැවත ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගෙන ඒමට සූදානම් බව ඔහු පවසයි.

විවාහයට පිළිගැනීමක් ලැබුණු පසු, හවුල් බැංකු ගිණුමක් ආරම්භ කිරීමේ සහ එක්ව මිල දී ගත් ඉඩමේ අයිතිය බෙදා ගැනීමේ අවශ්‍යතාවෙන් ඔවුහු පසුවෙති. නමුත් ඔවුන්ගේ විශාලතම සිහිනය වන්නේ, ඔවුන්ගේ ආර්ථිකය වඩාත් ස්ථාවර වූ පසු දරුවෙකු කුලවද්දා ගැනීම යි.

අනෙක් ජෝඩු මෙන් ම, ඔවුන් ද ඇතැම් අවස්ථාවල වාද විවාද කර ගන්නා නමුත් ඉක්මනින් යාළු වන බව පවසයි.

"අපිට රණ්ඩු කරන්න කාලය වියදම් කරන්න බෑ. අපිට හොඳින් ඉන්නයි ඕනේ, මොකද අපට තවත් දිග කාලයක් ජීවත් වෙන්න තියෙන නිසා," පාණ්ඩේ පවසයි.


(BBC සිංහල සේවය)


සබැඳි පුවත් :
සිංගප්පූරුව සමලිංගිකත්ව තහනම අවසන් කිරීමේ තීරණයක

සමරිසි ප්‍රජාවට එරෙහි නීති සංශෝධන පනත් කෙටුම්පත ජනපතිට

JW

Follow Us

Image
Image
Image
Image
Image
Image