LGBTQ ව්‍යාපාරය "අන්තවාදී මතවාදයක්" ලෙස නම් කරමින් රුසියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය නොවැම්බර් මාසයේදී දුන් තීන්දුවෙන් පසුව එරට

බලධාරීහු ලිංගික සාද වැටලීමේ නිරත වී සිටිති.

 

මෑත මාසවලදී රුසියාවේ විවිධ ප්‍රදේශවල පොදු සහ පෞද්ගලික ලිංගිකත්වය තේමා කර ගත් සාද ඉලක්ක කර අවම වශයෙන් අවස්ථා 6ක් පොලිස් වැටලීම් සිදු කර තිබේ.

 

ඒ අතරින් ඇතැම් සාද සමරිසි ප්‍රජාව සමග කිසිදු සම්බන්ධයක් නොමැති ඒවා ය.

 

පෙබරවාරි මාසයේදී, රුසියානු පොලිසිය විසින් යෙකටරින්බර්ග්හි රාත්‍රී සමාජ ශාලාවක් වටලනු ලැබූ අතර, එහි පවත්වමින් තිබී ඇත්තේ, අනන්‍යතාව සැඟවීම සඳහා බැලක්ලාවස් (මුහුණ ආවරණය වන පරිදි අඳින රෙදි කඩක්) ඇඳ සිටි පිරිසක් සහභාගි වූ "බ්ලූ වෙල්වට්" නමැති ලිංගිකත්වය තේමා කර ගත් සාදයකි.

 Russian Police Photo Miklmakmagnitka Dreamstime

 

සාදයේ සංවිධායකයින් බීබීසී රුසියානු සේවයට පැවසුවේ, එම වැටලීම සඳහා පොලිස් නිලධාරීන් 50 දෙනෙකු පමණ සහභාගි වී සිටි අතර, ඉන් කිහිප දෙනෙකු රුසියාවේ මූල්‍ය ස්ථාවරත්ව මණ්ඩලය නමැති විශේෂ ආරක්ෂක බළකායේ සාමාජිකයින් ලෙස පෙනී ගිය බව ය.

සාදය සංවිධානය කළ එක් පුද්ගලයෙකු වන ස්ටැනිස්ලාෆ් ස්ලොවිකොව්ස්කි පැවසුවේ, පොලිසිය සෑම පුද්ගලයෙකුගේ ම මුහුණු ආවරණ ඉවත් කරන ලෙසට බල කළ අතර, ඔවුන්ගේ පෞද්ගලික තොරතුරු ඉල්ලා සිටි බව ය.

 

"පාර්ටි එකේ සමලිංගික පිරිමියෙක් හරි ගෑනියෙක් හරි හිටියා ද? එහෙම නැත්නම් මේක සමරිසි මතවාද ප්‍රචාරණ වැඩක් ද කියලා ඒගොල්ලෝ ප්‍රශ්න කළා. ඒගොල්ලෝ මෙතන හිටිය අය මත්ද්‍රව්‍ය පාවිච්චි කළා ද කියලත් ඇහුවා. ඒත් ඒ ගැන ලොකු උනන්දුවක් තිබුණ බවක් පෙනුණෙ නෑ," ඔහු පැවසීය.

දශකයකට වැඩි කාලයක් තිස්සේ, රුසියානු බලධාරීහු සමලිංගිකත්වය නීති විරෝධී ක්‍රියාවක් බවට පත් කිරීමට සහ LGBTQ ව්‍යාපාරය අන්තවාදී දෘෂ්ටිවාදයක් බවට හඳුනා ගැනෙන නීති මාලාවක් හරහා LGBTQ ප්‍රජාවේ සාමාජිකයින්ගේ අයිතිවාසිකම් අහිමි කිරීමට උත්සහ කරති.

 

LGBTQ 2

LGBTQ මතවාද වෙනුවෙන් සහය වීම මේ වන විට රුසියාව තුළ වසර 10ක් දක්වා බන්ධනාගාරගත කිරීමේ දඬුවම් ලැබිය හැකි සාපරාධී වරදකි

 

2013 වසරේදී, පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලය "LGBT ප්‍රචාරණය" තහනම් කිරීමේ පනතක් සම්මත කළ අතර, එහි බලපෑමක් ලෙස LGBTQ අයිතිවාසිකම් සහ ඊට අදාළ ගැටලු පිළිබඳ මහජන විවාද සීමා කෙරිණි.

 

පසුගිය වසරේ ඊටත් වඩා දැඩි LGBTQ විරෝධී නීති සම්පාදනය කර තිබේ.

 

1997 වසරේ සිට නීත්‍යනුකූලව පැවති ලිංගික සංක්‍රාන්තිය පසුගිය ජූලි මාසයේදී පාර්ලිමේන්තුව විසින් තහනම් කරන ලද අතර, ස්ත්‍රී පුරුෂ භාවය තහවුරු කරන ශල්‍යකර්ම, හෝර්මෝන ප්‍රතිකාර සහ නිල ලේඛනවල ස්ත්‍රී පුරුෂ භාවය වෙනස් කිරීම තහනම් කෙරිණි. පසුගිය නොවැම්බර් මාසයේදී, රුසියානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සමරිසි ව්‍යාපාරය "අන්තවාදී මතවාදයක්" ලෙස නම් කරන ලදී.

 

සමරිසි ව්‍යාපාරය, ඉස්ලාමීය රාජ්‍යය (Islamic State) සහ යෙහෝව: සාක්ෂිකරුවන් යන සංවිධානය ඇතුළත් අන්තවාදී කණ්ඩායම් ලැයිස්තුවට ඇතුළත් කරන ලදී.

 

LGBTQ මතවාද වෙනුවෙන් සහය වීම මේ වන විට රුසියාව තුළ වසර 10ක් දක්වා බන්ධනාගාරගත කිරීමේ දඬුවම් ලැබිය හැකි සාපරාධී වරදකි.

 

'BDSM සාද වේශයෙන්'

 

පොලිසියෙන් වටලනු ලැබූ "බ්ලූ වෙල්වට්" සාදය හරහා සාපරාධී ක්‍රියාවක් සිදු නොවූ බව, ස්ටැනිස්ලාෆ් ස්ලෝවිකොව්ස්කි බීබීසී රුසියානු සේවයට පැවසීය.

 

ඔහුගේ සාදය සරාගී ප්‍රසංගවලට සත්කාරකත්වය දැක්වූ අතර ඒවායින් සමහරක් සරාගී සාදවල (BDSM) අංග, විවිධ ලිංගික භාවිතයන් හෝ භූමිකාවලින් සමන්විත වූ අතර ඒවාට සහභාගී වීමට ආරාධනා කෙරෙන බව ඔහු පැවසීය.

 

ස්ලෝවිකොව්ස්කි පැවසුවේ, ඒ අතරතුර ආරාධිතයින්ට සංසර්ගයේ යෙදීම සඳහා කිසිදු අපේක්ෂාවක් හෝ බලපෑමක් සිදු නොවූ බව ය.

 

LGBTQ 3

"Blue Velvet" නම් ලිංගික තේමා සාදයක් පෙබරවාරි මාසයේදී වටලනු ලැබූ අතර එහිදී අමුත්තන් තම අනන්‍යතාවය සැඟවීමට බැලක්ලාවස් (මුහුණ ආවරණය වන පරිදි අඳින රෙදි කඩක්) පැළඳ සිටියහ.

 

යෙකටරින්බර්ග් නාගරික පොලිසිය පසුව ප්‍රකාශයක් නිකුත් කරමින් පැවසුවේ, ආරක්ෂක හමුදා එදින රාත්‍රියේ "වැළැක්වීමේ" වැටලීමක් සිදු කරමින් සිටි බව ය.

 

"LGBT ප්‍රජාවට BDSM සාද පවත්වන වේශයෙන් ඔවුන්ගේ රැස්වීම් පැවැත්විය හැකි බව කාටවත් බැහැර කරන්න බැහැ," යනුවෙන් යෙකටරින්බර්ග් මහජන සභාවේ සාමාජිකයෙකු වන දිමිත්‍රි චෞක්‍රීෆ් තර්ක කළේ ය.

 

පසුගිය වසර කිහිපය තුළ LGBTQ ප්‍රජාවට එරෙහිව බලධාරීන්ගේ මර්දනය ඉහළ යන නමුත්, "මෙම පුද්ගලයින් අතුරුදහන් වී නැහැ," යනුවෙන් ඔහු පැවසීය.

 

"ඔවුන්ට එකතු වෙලා විනෝද වෙන්නත් ඔවුන්ගේ අදහස් සැබෑ කර ගන්නත් ඔවුන්ට තවමත් අවශ්‍ය යි. ඒ අනුව, සමහර විට ඔවුන් ඇත්තට ම මෙතෙක් තහනම් කර නැති BDSM සාද වේශයෙන් එවැනි සාද පැවැත්වි හැකි යි," ඔහු බීබීසී රුසියානු සේවයට පැවසීය.

 

1111AO6A6418

 

රුසියාවේ ලිංගික සාද පසුගිය දශකය තුළ විශාල නගරවල දක්නට ලැබුණු අතර, බොහෝ දුරට බහුජාතීන්ගෙන් සමන්විත නාගරික කලාපවලට සීමා විය.

 

ජනගහනයට සාපේක්ෂව කුඩා ප්‍රතිශතයක් ඔවුන් නියෝජනය කරන බව ඇස්තමේන්තු කර ඇති අතර, ඔවුන් නිර්මාණාත්මක කර්මාන්ත හෝ තොරතුරු තාක්ෂණ රැකියා සහිත මධ්‍යම පන්තියේ නියෝජිතයින් ආකර්ෂණය කර ගත්හ.

 

ඒවා රුසියානු සමාජය තුළ ලිබරල්වාදය සහ ඉවසීම සංකේතවත් කරනු ලැබූව ද, වැඩි වැඩියෙන් ගතානුගතික නීති අනුමත කිරීමත් සමග මෙම ප්‍රවණතා තවදුරටත් හොර රහසේ ක්‍රියාත්මක වෙයි.

 

'සම්පූර්ණයෙන් ම පාහේ නිරුවත්'

 

සමාජ මාධ්‍ය ක්‍රියාකාරිනියක සහ රූපවාහිනී නිවේදිකාවක වන ඇනස්ටේෂියා ඉව්ලීවාගේ උපන් දින සාදයෙන් පසු දෙසැම්බර් මාසයේදී රුසියානු බලධාරීන්ගේ ලිංගික සාද මැඩ පැවැත්වීම දැඩි විය, එම සාදයට සහභාගි වන්නන්ගේ ඇඳුම් " සම්පූර්ණයෙන් ම පාහේ නිරුවත්" විය යුතු බව දන්වා තිබිණි.

 

සාදය පිළිබඳව සමාජ මාධ්‍ය හරහා ප්‍රසිද්ධියක් ලබා දුන් අතර එම සාදයට සහභාගි වූ අමුත්තන් අතර රුසියානු මාධ්‍ය පෞරුෂයක් වන සේනියා සොබ්චැක්, ව්ලැඩිමීර් පුටින්ගේ දිගුකාලීන සහකරුගේ දියණිය වන ඇනටෝලි සොබ්චැක් මෙන් ම ප්‍රවීණ පොප් ගායක ෆිලිප් කර්කොෆ් ද ඇතුළු ප්‍රමුඛ පෙළේ සුප්‍රකට රුසියානුවන් රාශියක් වූහ.

 

LGBTQ 4

ඇතැම් රූපවාහිනී නාලිකා ලිංගික සාදවලට සහභාගිවන්නන්ගේ පෞද්ගලික තොරතුරු හෙළිදරව් කොට තිබේ.

 

බොහෝ ඇඳුම් වර්ග අතර සිදුරු සහිත උඩුකය ඇඳුම් සහ ලේස් සහිත යට ඇඳුම් ඇතුළත් විය. ඇතැම් ඒවා සිරුර වඩාත් නිරාවරණය කරන ඒවා විය - රැප් ගායක වාසියෝගේ (Vacio) රහසඟ පමණක් මේස් එකකින් ආවරණය කරගෙන පැමිණීම ඊට නිදසුනකි.

 

මෙම සාදයෙහි ඡායාරූප බොහෝ දෙනෙකුගේ කෝපයට හේතු විය.

 

රැප් ගායක වාසියෝ අශ්ශීල ලෙස හැසිරීමේ චෝදනා මත දින 15ක් සිරගත කරනු ලැබූ අතර ඔහුගේ රහසඟෙහි මේස් ඇඳුම සඳහා රුබල් 200,000ක දඩයක් නියම කරන ලදී.

 

සාදය සංවිධානය කිරීම වෙනුවෙන්, ඉව්ලීවාට ද රූබල් 100,000ක දඩයක් නියම විය.

 

මෙම ඡායාරූප රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ට පෙන්වීමෙන් පසු නිවේදිකාව සහ ඇයගේ අමුත්තන් ගැටලු රැසකට මුහුණ දුන් බව වාර්තා වේ.

 

මෙම අවස්ථාවට සහභාගී වූ ඇතැම් ප්‍රසිද්ධ පුද්ගලයින් පැවසුවේ, තමන් මාධ්‍ය සංදර්ශන අවලංගු කළ බවත් තමන්ට එරෙහිව අපරාධ චෝදනා යටතේ නඩු පවරන බවට තර්ජන එල්ල වූ බවත් ය.

 

2023 12 07T082039Z 42654858 RC27S4ABDFDO RTRMADP 3 RUSSIA ELECTION 1024x766

 

රුසියාවේ ජනාධිපතිවරණයෙන් පසු පුටින් "සාම්ප්‍රදායික වටිනාකම්" පිළිබඳ මතවාද දෙගුණ තෙගුණ කළේ ය, එහි ප්‍රතිඵලයක් ලෙස ඔහු සිය පස්වන ධුර කාලය ජයග්‍රහණය කළේ ය.

 

'බිය ගැන්වීම' 

 543345435vxccssa

 

ලිංගික සාද සම්බන්ධයෙන් මෑත කාලීනව සිදු කළ වැටලීම් එක ම රටාවක් අනුගමනය කළේ ය: පොලිසිය පැමිණෙයි, සෑම පුද්ගලයෙකුට ම බිම වැතිරෙන ලෙස නියෝග කරයි, සෑම කෙනෙකුගේ ම හැඳුනුම්පත් විස්තර ලබා ගනී.

 

බොහෝ වැටලීම් රුසියානු රජයට ගැති මාධ්‍ය විසින් ආවරණය කරන ලද අතර සමහර රූපවාහිනී නාලිකා සහභාගී වූවන්ගේ පෞද්ගලික තොරතුරු අනාවරණය කළේ ය.

 

මර්දනය පොදු සිදුවීම්වලට පමණක් සීමා නොවීය. අවම වශයෙන් අවස්ථා දෙකකදී පොලිසිය පෞද්ගලික සාදවලට ද කඩා පැන තිබිණි.

 

සමහර පිරිමි අමුත්තන් යුක්රේනයේ යුද්ධයට යවන බවට තර්ජනය කර ඇති බව, එවැනි සාදයකට සහභාගි වූ පුද්ගලයෙක් බීබීසී රුසියානු සේවයට පැවසීය.

 

LGBTQ 5

මොස්කව්හි දේශීය LGBTQ ප්‍රජාව අතර ප්‍රසිද්ධියට පත්ව තිබූ Popoff Kitchen සහ ලිංගික තේමා සහිත Kinky Party යන සංවිධායකයින් දෙදෙනා ම රුසියාව තුළ උත්සව පැවැත්වීම නතර කරන බවට නිවේදනය කළහ.

 

දිනෙන් දින වැඩි වන වැටලීම් සහ මහජන නින්දාව හමුවේ සාද සංවිධායකයෝ භීතියට පත්ව සිටිති.

 

පෙබරවාරි මාසයේදී, මොස්කව්හි දේශීය LGBTQ ප්‍රජාව අතර ප්‍රසිද්ධියට පත්ව තිබූ Popoff Kitchen සහ ලිංගික තේමා සහිත Kinky Party යන සංවිධායකයින් දෙදෙනා ම රුසියාව තුළ උත්සව පැවැත්වීම නතර කරන බවට නිවේදනය කළහ.

 

"ලිංගිකත්වය පිළිබඳ මාතෘකාවට අදාළ කිසිදු උත්සවයකට මින් ඉදිරියට ඉඩ නොදෙන බවට අපට අනතුරු ඇඟවීමක් ලැබුණා," Kinky Party සංවිධායකයින් ඔවුන්ගේ නිවේදනයේ සඳහන් කර තිබිණි. “ඔවුන්ට වැඩියෙන් ම ජනප්‍රිය සාදය පවා වසා දැමිය හැකි බව පෙන්වීමට අපි පරිපූර්ණ උදාහරණයක් බව මම හොඳින් දැන සිටියෙමි. [ඔබේ අමුත්තන්ගේ] ආරක්ෂාව සහතික කළ නොහැකි බව දැන දැන වැඩ කළ නොහැකියි', Popoff Kitchenහි නිකිතා එගරනොෆ්-කිරිල්ලොෆ් BBC රුසියානු සේවය වෙත පැවසීය. "ඒ සියලු වැටලීම්, බිය ගැන්වීම්, මිනිසුන්ගේ පෞද්ගලික තොරතුරු සටහන් කිරීම... මෙය එක් වරක් පමණක් සිදුවුව ද, ඔබේ සාදය නැවත සුරක්ෂිත බව අමුත්තන්ට ඒත්තු ගැන්වීමට කිසි දා නොහැකි වනු ඇත," ඇය පැවසුවා ය.

 

(ආමේලියා සටාරි සහ ඇනටේසියා ගෝලුබීවා)
බීබීසී රුසියානු සේවය

[උපුටා ගැනීම - BBC සිංහල සේවය ]
 


Follow Us

Image
Image
Image
Image
Image
Image