ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (05) පෙරවරුවේ පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගි විය.



පාර්ලිමේන්තු සංකීර්ණය වෙත පැමිණි ජනාධිපතිවරයාව සභානායක දිනේෂ් ගුණවර්ධන ඇතුළු ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් පිළිගනු ලැබිණ.

පවතින ආර්ථික ගැටලුවට යෝජිත විසඳුම් සහිත මාර්ග සිතියම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරමින් සිටින අවස්ථාවේ සභා ගර්භය වෙත පිවිසි ජනාධිපතිවරයා එම කතාවට සවන් දී සිටියේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පාර්ලිමේන්තු සභා ගර්භයට පැමිණ සිටියදී සමගි ජන බලවේගයේ සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් සිය අසුන් වලින් නැගිට "ගෝ හෝම් ගෝටා"( ගෝටා ගෙදර යන්න) යනුවෙන් සඳහන් පුවරු ඔසවාගෙන එක දිගට විරෝධතාවයක යෙදීම නිසා සභාවේ දැඩි උණුසුම් තත්වයක් ඇතිවිය.

මේ උණුසුම්කාරී තත්වය හේතුවෙන්  සභාවේ කටයුතු පාලනය කරගත නොහැකිවීමෙන් කතානායක මහින්ද යාපා අබේවර්ධන විසින් සභාව විනාඩි දහයකට කල් තබනු ලැබීය.

විපක්ෂයේ මේ විරෝධය ඇතිවූයේ අගමැති රනිල් වික්‍රමසිංහ රටේ ආර්ථික තත්වය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් සිටියදීය.

 

සමගි ජන බලවේගයේ සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් මෙලෙස විරෝධතාවයේ යෙදී සිටියදී  ජනාධිපතිවරයා ඒ දෙස සිනාසෙමින් බලා සිටිනු දැකගත හැකිවිය.

 

එම  මන්ත්‍රීවරුන් මෙලෙස විරෝධතාවයේ යෙදී සිටියදී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු "වී වෝන්ට් ගෝටා" ( ගෝටා අපිට අවශ්‍යයි ) යනුවෙන් කෑ ගැසූහ.

හිටපු අමාත්‍ය එස් බී දිසානායක  ජනාධිපතිවරයා අසලටම පැමිණ එක් අතක් උස් පහත් කරමින් "වී වෝන්ට් ගෝටා" යනුවෙන් එක දිගටම කෑගසන අයුරු දැකගත හැකිවිය.

මේ විරෝධය පැවැත්වෙද්දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතක් ඔසවා ජනාධිපතිවරයාට යමක් පැවසුවේය.

උද්ඝෝෂණය මෙසේ පැවැත්වෙන අතරේදී ජනාධිපතිවරයා පෙරවරු  10:30 ට පමණ සභා ගැබෙන් පිටව යන අයුරු දැකගත හැකිවිය.

මන්ත්‍රීවරු පිරිසක් සහ වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු ද ජනාධිපතිවරයා සමග ගමන් ගත්හ.

ජනාධිපතිවරයාට එරෙහිව විරෝධතා පුවරුව රැගෙන මුලින්ම ඉදිරියට  පැමිණියේ සමගි ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ය.

ජනාධිපතිවරයා ඉවත්ව ගිය පසු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අදහස් දැක්වීම ආරම්භ කළ අතර ඒ අවස්ථාවේදී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු ඔහුගේ කතාවට එක දිගට බාධා කළහ.

මේ අවස්ථාවේදීද සභාවේ උණුසුම් තත්වයක් ඇතිවිය.

"බල්ලා" "බූරුවා" "මෝඩයා"  යන වචනද මේ අවස්ථාවේදී හුවමාරු වනු දැකගත හැකිවිය.


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්