වර්තමානයට ගැළපෙන පරිදි සංශෝධන කිහිපයක් ඇතුලත් නව ක්‍රීඩා පනතක් කෙටුම්පත් කර

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ පවසයි.

මෙරට ක්‍රීඩාවේ උන්නතිය හා නියාමනය සඳහා ජාතික රාජ්‍ය සභාව විසින් පනවන ලද “1973 අංක 25 දරන ක්‍රීඩා පනත” අවස්ථා ගණනාවක දී විවිධ සංශෝධනයන්ට ලක් කර ඇත. ඊට සමගාමීව ක්‍රීඩා පනතේ සංශෝධනය විය යුතු හා ඊට එකතු විය යුතු අලුත් නියෝග කිහිපයක් ද 2022 දෙසැම්බර් 14 දින ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යවරයා විසින් පනවා ඇත.

ඒ අනුව 14 දින පනවන ලද නව නියෝග ද ඇතුළත් අති විශේෂ ගැසට් නිවේදන තුනක් පළ කිරීම සඳහා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට යොමු කර තිබේ.

එම නව නියෝග ද ඇතුළත් “නව ක්‍රීඩා පනතේ කෙටුම්පත” ඉතා කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර, ඒ සඳහා අනුමැතිය ලබා ගැනීමට ද කටයුතු කරන බව, අද (16) දින ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පවත්වන ලද විශේෂ මාධ්‍ය සාකච්ඡාවේදී ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යවරයා අවධාරණය කළේය.

එසේම, ක්‍රීඩා ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය හා නියාමනය සඳහා ක්‍රීඩා අධිකාරියක් ඇති කිරීමට ද පියවර ගන්නා බව ද, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යවරයා එහිද වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

නව සංශෝධන යටතේ ද්විත්ව පුරවැසියන් සඳහා ක්‍රීඩා ආයතනයක කිසිදු තනතුරකට තරග කිරීම තහනම් වනු ඇත. එසේම, ක්‍රීඩා සමාජයක ප්‍රධන නිලතල දැරීමේ ධුර කාලය, උපරිම වයස් සීමාව වැනි කාරනා ද නව සංශෝධනයන්ට එකතුකර තිබේ.






වත්මන් ක්‍රීඩා පනතට වෙනස්කම් කිහිපයක් :


ධූර කාලය:

1. ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති, ලේකම් හෝ භාණ්ඩාගාරික තනතුරු තුනෙන් කුමන හෝ තනතුරක ධූර දැරිය හැකි උපරිම කාල එකතුව හෝ එකී තනතුරු දෙකක සමස්ථ සේවා කාල එකතුව  ධුර කාල දෙකක් (02) එනම් වසර අටක් (08)  විය යුතු ය.

2. අනෙකුත් සියඵම ජාතික සංගම් සදහා,

ධුර කාල දෙකක් (වසර 04ක්) සභාපති ධූරය දරා ඇත්නම්, නැවත සභාපති ධූරයට තේරී පත්වීමට නුසුදුස්සකු විය යුතු ය. එසේ වුවද, තවත් වසර හතරක (04) කාලයක් කමිටු සාමාජිකත්වය දැරීමට එය බාධාවක් නොවිය යුතු ය.

 ධුර කාල හතරක් (04)  (වසර අටක (08) ධුර කාලයක් ) ධුර දරා ඇත්නම්, නැවත තේරී පත්වීමට නුසුදුස්සකු විය යුතු අතර කමිටු සාමාජිකත්වය දැරීමට ද නුසුදුස්සකු විය යුතු ය.

එසේ වුවද, මෙම නියෝග බලාත්මක වන දින වන විට නිලවරණයෙන් තේරී පත්වී ඇති සභාපති ඇතුලු අනෙකුත් ධුරධාරීන් සම්බන්ධයෙන් ඔවුන් තේරී පත්ව ඇති ධූර කාලය අවසන් වන තෙක්, එකී ධූර දැරීමට මෙම නියෝගය බාධාවක් නොවිය යුතු ය.

එසේ වුවද, කිසියම් නිලධාරියෙකු හෝ කමිටු සාමාජිකයෙකු  ක්‍රීඩා පනත හා ඒ යටතේ පත් කරන ලද යම් පිළිගත් කමිටුවක් විසින් පවත්වන ලද විධිමත් පරීක්ෂණයක් මගින් හෝ; අදාළ ජාත්‍යන්තර සංගමය හෝ ඊට අනුබද්ධ ජාත්‍යන්තර සංගමයක් විසින් හෝ විනය හේතු මත හෝ;

ඉවත් කරනු ලැබුවේ නම් හෝ දඬුවමකට ලක් කරනු ලැබුවේ නම් හෝ තහනමකට ලක් කරනු ලැබුවේ නම් එකී ඉවත් කිරීම, දඬුවමකට ලක් කිරීම හෝ තහනමට ලක් කරන ලද අයෙකුට එකී ධුරයට හෝ කමිටු සාමාජිකත්වයට නැවත තෝරා පත් කර ගැනීමට නුසුදුස්සකු වන්නේ ය.

සභාපති, ලේකම්, භාණ්ඩාගාරික ඇතුළු ඕනෑම විධායක කමිටු සාමාජිකයකු, ක්‍රීඩා පනත, රෙගුලාසි, විධාන හා එකී ජාතික ක්‍රීඩා සංගමයේ/ සම්මේලනයේ ව්‍යවස්ථාවට පටහැනිව කටයුතු කරන අවස්ථාවක අදාළ සංගමයේ /සම්මේලනයේ ඡන්ද හිමි සාමාජිකයකු විසින් ඡන්ද හිමි සාමාජිකයින්ගේ සරල බහුතරයකින් ගෙනෙන යෝජනාවක් විශේෂ මහා සභාවක් කැඳවීමෙන් හෝ මහා සභා රැස්වීමකදී, සංගමයේ/ සම්මේලනයේ ඡන්ද හිමි සාමාජිකයින්ගේ 2/3ක බහුතරයෙන් සම්මත කර ගැනීමෙන්, අදාළ ධුර කාලය සම්පූර්ණ වීමට පෙර වුව ද ධුරයෙන් ඉවත් කිරීමට හැකිවන්නේ ය.

 
 සුවිශේෂී අවස්ථා:

අමාත්‍යවරයාගේ ලිඛිත අනුමැතිය යටතේ සමාජයට, ක්‍රීඩාවට සුවිශේෂී සේවයක් කළ හා රජයට සුවිශේෂී ආදායම් බදු ගෙවන පුද්ගලයෙකු ජාතික ක්‍රීඩා සංගමයක/ සම්මේලනයක නිලයක් දැරීමට සුදුස්සෙකු වන්නේ ය.



වයස් සීමාව:

ක්‍රීඩා සමාජයක තනතුරක් දැරීමට ඇති උපරිම වයස් සීමාව ද අවුරුදු 70ක් ලෙස සංශෝධනය වී ඇත.

ඒ  අනුව, ඕනෑම නිලධාරියෙකුගේ හෝ කමිටු සාමාජිකුගේ එකී ධුර කාලය දැරිය හැකි උපරිම වයස් සීමාව වයස අවුරුදු හැත්තෑව (70) දක්වා සීමා කරනු ලබන්නේ ය.

එසේ වුවද, මෙම නියෝග බලාත්මක වන දින වන විට නිලවරණයෙන් තේරී පත්වී ඇති සභාපති ඇතුළු අනෙකුත් ධුරධාරීන් සම්බන්ධයෙන්, ඔවුන් තේරී පත්වී ඇති ධුර කාලය අවසන් වන තෙක් එකි ධුර දැරීමට මෙම නියෝගය බධාවක් නොවිය යුතු ය.

 
 භාණ්ඩාගාරික තනතුර සදහා සුදුසුකම්:

A හා B ශ්‍රේණියේ ජාතික ක්‍රීඩා සංගමයක් සඳහා ශ්‍රී ලංකා ගණකාධිකරණ ශීල්පීය ආයතනයේ සාමාජිකයෙකු හෝ ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනය විසින් නිකුත් කරන ලද සහතික ලත් වරලත් ගණකාධිකාරී හෝ ඊට ඉහළ සහතිකයක් ලබා ඇති හෝ ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනය විසින් නිකුත් කරන ලද බැංකුකරණ හා මූල්‍ය පිළිබඳ සහතිකයක් ලබා ඇති හෝ භාණ්ඩාගාරිකවරයකු ද මූල්‍ය කළමණාකරණ ක්ෂේත්‍රයේ අවම වශයෙන් වසර තුනක පළපුරුද්දක් ඇති සහකාර භාණ්ඩාගාරිකවරයකු ද,

 C ශ්‍රේණියේ ජාතික ක්‍රීඩා සංගමයක් සඳහා 1988 අංක 30 දරන බැංකු පනතේ විධිවිධාන යටතේ බලපත්‍රලත්, බලපත්‍රලා‍භී වාණිජ බැංකුවක හෝ බලපත්‍රලාභී විශේෂ බැංකුවක හෝ 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ විධිවිධාන යටතේ බලපත්‍රලත් මුදල් සමාගමක හෝ 2000 අංක 56 දරන කල්බදු මූල්‍යකරණ පනතේ විධිවිධාන යටතේ ලියාපදිංචි වූ ලියාපදිංචි කරන ලද, කල්බදු මුල්‍යකරණ ආයතනයක හෝ 2007 අංක 07 දරන සමාගම් පනතේ විධිවිධාන යටතේ සංස්ථාපිත සමාගමක ගිණුම් කළමණාකරුවකු හෝ ගිණුම් ලිපිකරුවකු ලෙස අවම වශයෙන් වසර තුනක පළපුරුද්ද ඇති භාණ්ඩාගාරවරයකු ද මූල්‍ය කළමනාකරණ ක්ෂේත්‍රයේ අවම වශයෙන් වසර තුනක පළපුරුද්දක් ඇති සහකාර භාණ්ඩාගාරිකවරයකු.


ක්‍රීඩා සංගමයක තනතුරු දැරිමට නොහැකි නුසුදුසුකම්:

1. “ශ්‍රී  ලංකාවේ පුරවැසියකු නොවේ නම් හෝ පුරවැසියකු වීම අවසන් වුවහොත් සහ ද්විත්ව පුරවැසියෙකු වන්නේ නම්”

2. ක්‍රීඩා අමාත්‍යාංශයේ සේවයේ නියුතු හෝ ක්‍රීඩා විෂයට අදාළ රාජකාරියක නියුතු රාජ්‍ය සේවකයකු වේ නම්,

3. නාම යෝජනා භාර දීමට ආසන්න වසර තුන (03) ඇතුළත වත්කම් බැරකම් ප්‍රකාශ නිලවරණ කමිටුව වෙත ඉදිරිපත් කිරීමට අපොහොසත් වන්නේ නම්,

4. මූල්‍ය හෝ වෙනත් ආධාර අවභාවිතයකට හෝ දූෂණයට හෝ අක්‍රමිකතාවකට හෝ ක්‍රීඩාවේ විනය හෝ සංගම් ව්‍යවස්ථාවේ විනය කඩ කිරීම සම්බන්ධයෙන් තහනමකට ලක්වන ක්‍රියාවකට හෝ වෙනත් නීත්‍යානුකූල නොවන කාරණයක් සම්බන්ධයෙන් ක්‍රීඩා විෂයභාර අමාත්‍යවරයා විසින් විධිමත් පරිදි පත් කරන ලද පරීක්ෂණ මණ්ඩලයකින්, විමර්ශන කමිටුවකින්, අභියාචනා උපදේශක මණ්ඩලයකින්, ක්‍රීඩා පිලිබඳ වැරදි වැලැක්වීමේ පොලිස් විශේෂ විමර්ශන ඒකකයෙන් හෝ පාර්ලිමේන්තු කෝප් කමිටුවේ හෝ නිර්දේශයකින් එකී චෝදනා සම්බන්ධයෙන් වැරදිකරුවෙකු ලෙස හෝ ජාතික ක්‍රීඩා සංගමයක /සම්මේලනයක /කමිටුවක නිල ධූරයක් දැරීමට නුසුදුස්සෙකු බවට නිර්දේශයක් ලබා ඇති තැනැත්තෙකු වන්නේ නම්,

5. ජාතික ක්‍රීඩා සංගමයක, පළාත් ක්‍රීඩා සංගමයක, දිස්ත්‍රික් ක්‍රීඩා සංගමයක හෝ අනුබද්ධ ක්‍රීඩා සමාජයක සභාපති, ලේකම්, භාණ්ඩාගාරික, උප/නියෝජ්‍ය සභාපති, උප/නියෝජ්‍ය ලේකම්, උප/නියෝජ්‍ය භාණ්ඩාගාරික යන ධූරයක් දරන යම් තැනැත්තෙකු තම ජාතික ක්‍රීඩා සංගමයේ හෝ වෙනත් යම් ජාතික ක්‍රීඩා සංගමයක, පළාත් ක්‍රීඩා සංගමයක, දිස්ත්‍රික් ක්‍රීඩා සංගමයක ප්‍රාදේශිය ක්‍රීඩා සාමාජයක  හෝ අනුබද්ධ ක්‍රීඩා සමාජයක හෝ වෙනත් කිසිදු ජාතික ක්‍රීඩා සංගමයක කිසිදු ධූරයක් දැරීමට නුසුදුස්සකු වන්නේ ය.

6. භාණ්ඩාගාරික හෝ සහකාර භාණ්ඩාගාරික හැර, එම සංගමය විසින් ලියාපදිංචි කරන ලද, ප්‍රවර්ධනය කරන ලද, මෙහෙයවන ලද හෝ අනුමත කරන ලද යම් ප්‍රධාන ක්‍රීඩා තරගාවලියක දි හෝ තරගයක දී, ජාතික මහා ක්‍රීඩා තරගාවලියක දී හෝ තරගයක දී, එම අදාළ ක්‍රීඩාව සම්බන්ධයෙන් කණ්ඩායම් ක්‍රීඩාවක් සඳහා වාර දෙකකට වැඩි වාර ගණනක් හෝ යම් තනි ඉසව්වක් සඳහා හෝ ක්‍රීඩාවක් සඳහා එක් වාරයකට වඩා වැඩි වාර ගණනක් වෙනුවෙන් සහභාගී වී නොමැති නම් හෝ ජාතික තලයේ ක්‍රීඩකයකු ලෙස පිළිගත් ජාත්‍යන්තර තරගයක දී ශ්‍රී ලංකාව නියෝජනය කර නොමැති නම් සහ ඒ සඳහා අදාළ වන ආකාරයට නිකුත් කරන ලද සහතිකයක් සතුව නොමැති නම්; "  


‘ක්‍රීඩා සංගම් අධීක්ෂණය’

1. ජාතික ක්‍රීඩා සංගමයකට/ සම්මේලනයකට අනුබද්ධ ක්‍රීඩා සමාජ, ආයතන, දිස්ත්‍රික් ක්‍රීඩා සංගම්, පළාත් ක්‍රීඩා සංගම් හෝ දිස්ත්‍රික් හෝ පළාත් සංගමයකට අනුබද්ධ ක්‍රීඩා සමාජ හා අනුබද්ධ සාමාජික සංවිධානවල නිලවරණයන් ඇතුළු සියලු ක්‍රියාකාරීත්වයන් සම්බන්ධයෙන් තොරතුරු අදාළ ජාතික ක්‍රීඩා සංගමය/ සම්මේලනය විසින් ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත වාර්ෂිකව ඉදිරිපත් කළ යුතු ය.

2. ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉහත සඳහන් සියළු ක්‍රීඩා සංගම්, සමාජ හා අනුබද්ධ ආයතන පිළිබඳ පූර්ණ අධීක්ෂණයක් සිදු කිරීම සඳහා වැඩපිළිවෙලක් සැකසිය යුතුය.  

3. ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් දිස්ත්‍රික් ක්‍රීඩා සංගම් අධීක්ෂණය ඒ ඒ දිස්ත්‍රික්කයේ ක්‍රීඩා අධ්‍යක්ෂකවරයා මගින් සිදු කළ යුතුය.

4. ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පළාත් ක්‍රීඩා සංගම් අධීක්ෂණය ඒ ඒ පළාතේ ක්‍රීඩා අධ්‍යක්ෂකවරයා මගින් සිදු කළ යුතු අතර, එකී අධීක්ෂණ කටයුතු ජාතික ක්‍රීඩා ප්‍රතිපත්තියට අනුකූල වන සේ ඒ ඒ පළාත් සභාව විසින්  ප්‍රඥප්ති මගින් හඳුන්වා දී ඇති විධි විධාන ප්‍රකාරව සිදු කළ යුතුය.

5. ජාතික ක්‍රීඩා සංගම්වල පහළම ඒකකය වන ප්‍රාදේශීය ක්‍රීඩා සමාජවල සිට දිස්ත්‍රික් ක්‍රීඩා සංගම් සහ පළාත් ක්‍රීඩා සම්ගම්, ජාතික ක්‍රීඩා සංගමයේ අනෙකුත් සාමාජික ප්‍රධාන ක්‍රීඩා සමාජවල ද අධීක්ෂණ සහ නියාමන කටයුතු පහසුවනු පිණිස ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත වාර්තා ඉදිරිපත් කිරීම.

6. දිස්ත්‍රික් ක්‍රීඩා සංගමය විසින් සිය බල ප්‍රදේශය තුළ අදාළ ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම, වාර්ෂිකව ප්‍රාදේශීය තරගාවලි 02කට නො අඩු ප්‍රමාණයක් පැවැත්වීම, ක්‍රීඩකයින්ගේ පුහුණුව සහ ස්ථිර සංචිත පවත්වාගෙන යාම සිදු කරන්නේ ද යන්න සහ දිස්ත්‍රික් සංගමය විසින් නිසි ක්‍රමවේදයක් පරිදි ප්‍රාදේශීය ක්‍රීඩා සමාජ නියාමනය සහ අධීක්ෂණය කරනු ලබන්නේ ද  යන්න සොයා බලා ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත වාර්තා කිරීම.

7. පළාත් ක්‍රීඩා සංගමය විසින් සිය බල ප්‍රදේශ තුළ අන්තර් දිස්ත්‍රික් ක්‍රීඩා තරගාවලි 02කට නොඅඩු ප්‍රමාණයක් වාර්ෂිකව පවත්වා තිබීම, ක්‍රීඩකයින්ගේ පුහුණුව සහ ස්ථිර පළාත් ක්‍රීඩා සංචිත පවත්වාගෙන යාම, තම බල ප්‍රදේශය තුළ අදාළ ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම, පළාත් ක්‍රීඩා සංගම් විසින් දිස්ත්‍රික් ක්‍රීඩා සංගම් නියාමනය හා අධීක්ෂණය නිසි පරිදි සිදු කරන්නේ ද යන්න පිළිබඳ තොරතුරු ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් වෙත වාර්තා කිරීම.


විශේෂ අවශ්‍යතා සහිත ක්‍රීඩකයින්:

ආබාධ සහිත තැනැත්තන් සඳහා වන ජාතික ක්‍රීඩා සංගමය තම ක්‍රීඩාවට අදාළ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ගෙන් (දෘශ්‍යාබාධිත, ශ්‍රව්‍යාබාධිත, කායික ආබාධිත යනාදි) සමන්විත අනුබද්ධ ක්‍රීඩා සමාජ ඇතුළත් කර ගැනීම වගකීමක් වන්නේ ය.


ජාතික ක්‍රීඩා සංගම් / සම්මේලනවල තේරීම් කමිටුව :

ජාතික ක්‍රීඩා සංගම් / සම්මේලනවල තේරීම් කමිටුව අවුරුදු දෙකක (02) කාල සීමාවකට පත් කිරීම සඳහා, අදාළ ජාතික ක්‍රීඩා සංගමය/ සම්මේලනය තම ක්‍රීඩා සංගමයට/ සම්මේලනයට අනුබද්ධ සියලුම සාමාජික ආයතන නිසි පරිදි දැනුවත් කොට නාම යෝජනා ලබා ගෙන, විධායක කමිටු රැස්වීමක් මගින් වඩා සුදුසු සාමාජිකයන් දස දෙනෙකු (10) තෝරා ගැනීම කළ යුතු අතර, තෝරා ගන්නා ලද නාමයෝජනා ලේඛනය සහිත අයදුම්පත්‍ර ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට ද පිටපතක් සහිතව ජාතික තේරීම් කමිටුව වෙත යොමු කිරීම, ජාතික තේරීම් කමිටුව විසින් එම නාමයෝජනා පිළිබඳව තම නිර්දේශිත කමිටු නාමලේඛනය ජාතික ක්‍රීඩා සභාව වෙත යොමු කිරීම සහ ජාතික ක්‍රීඩා සභාව විසින් එම නිර්දේශ තවදුරටත් සලකා බලා සභාවේ නිර්දේශ සමඟ අමාත්‍යාංශ ලේකම් මගින් අනුමැතිය සඳහා විෂයභාර අමාත්‍යවරයා වෙත යොමු කිරීම


ජාත්‍යන්තර ගිවිසුම්, ජාත්‍යන්තර මුදල් ගණුදෙනු:

ජාතික ක්‍රීඩා සංගම් ජාත්‍යන්තර ගිවිසුම්වලට, ජාත්‍යන්තර මුදල් ගණුදෙනුවලට එළඹීමේ දී, රටේ මූල්‍ය නීතියට යටත්ව, මූල්‍ය විනයක් සහිතව, විනිවිදභාවයෙන් ක්‍රියා කළ යුතු අතර, එවැනි ගිවිසුම් විෂය භාර අමාත්‍යාංශයේ ප්‍රධාන ගණන් දීමේ නිලධාරී ලෙස අමාත්‍යාංශ ලේකම්වරයාගේ පූර්ණ නිර්දේශයට යටත්ව, විෂයභාර අමාත්‍යවරයාගේ අනුමැතියට ඉදිරිපත් කළ යුතු ය.



විදේශයක දී කරනු ලබන විනය විරෝධී හැසිරීම්:

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩාවලට සහභාගීවන ක්‍රීඩක ක්‍රීඩිකාවන්, කළමණාකරුවන් සහ අනෙකුත් නිලධාරීන් ශ්‍රී ලංකාවේ දී හෝ විදේශයක දී කරනු ලබන විනය විරෝධී හැසිරීමක් හෝ ශ්‍රී ලංකාව අපකීර්තියට පත්වන ක්‍රියාවක් හෝ තම වගකීම් හා යුතුකම් පැහැර හැරීමක් සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍යවරයා, අමාත්‍යාංශ ලේකම් හෝ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින්  පත් කරනු ලබන විධිමත් පරීක්ෂණ මණ්ඩලයක් මගින් ලබා දෙනු ලබන නිර්දේශ ප්‍රකාරව එකී ක්‍රීඩකයෙකු / ක්‍රීඩකයින්, ක්‍රීඩිකාවක /ක්‍රීඩිකාවන්, කළමනාකරුවකු/කළමනාකරුවන් හෝ අනෙකුත් නිලධාරියෙකු/නිලධාරිනියන්ට එරෙහිව හෝ ක්‍රිඩා සංගමයට එරෙහිව දඬුවමක්, තහනමක් හෝ අත්හිටුවීමක් ක්‍රියාත්මක කළ හැකි වන්නේ ය.


‘ජාතික ක්‍රීඩා සංගමය’ යනු ?

“ජාතික ක්‍රීඩා සංගමය” යන්නෙන් 1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 28වන වගන්තිය යටතේ නම් කරන ලද ක්‍රීඩාවක් නැතහොත් ක්‍රීඩා පන්තියක් පාලනය කරන සංගමයක්, ඒකාබද්ධ සංගමයක් හෝ මණ්ඩලයක් අදහස් වේ.

සෑම ජාතික ක්‍රීඩා සංගමයක් ම / සම්මේලනයක් ම, ප්‍රාදේශීය ක්‍රීඩා සාමාජ එකතුවෙන් සෑදෙන දිස්ත්‍රික් ක්‍රීඩා සංගම් ද, දිස්ත්‍රික් ක්‍රීඩා සංගම් එකතුවෙන් සෑදෙන පළාත් ක්‍රීඩා සංගම්වලින් සහ ප්‍රධාන වශයෙන් ක්‍රීඩාවට දායකත්වය ලබා දෙන අනෙකුත් විශේෂ සංගම් හෝ සංවිධානවලින් සකස් වන සංගමයක් විය යුතු ය.

ජාතික ක්‍රීඩා සංගම් විසින් ශ්‍රී ලංකාවේ පවත්නා නීති, ක්‍රීඩා පනත් සහ ඒ හා සම්බන්ධ නියෝග සහ විධි විධානවලට යටත්ව, තම සංගමයට අදාළව ව්‍යවස්ථාවක් සකස් කළ යුතු අතර, එම ව්‍යවස්ථාව  ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අනුමැතියට ඉදිරිපත් කළ යුතු ය. ප්‍රාදේශීය, දිස්ත්‍රික්, පළාත් සහ අනෙකුත් සංගම් විසින් ඉහත අනුමත කරන ලද ජාතික ක්‍රීඩා සංගම් ව්‍යවස්ථාව පරිදි ක්‍රියා කළ යුතු අතර, ඒ ඒ සංගම්වලට සීමා වූ, ප්‍රාදේශිය, දිස්ත්‍රික් හා පළාත් ව්‍යවස්ථාවක් නොතිබිය යුතු ය.

අදාළ ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම, එකී ක්‍රීඩාවට අදාළව වාර්ෂිකව, අන්තර් ප්‍රාදේශීය, අන්තර් දිස්ත්‍රික්, අන්තර් පළාත්, ක්‍රීඩා තරග දෙකකට නොඅඩු ප්‍රමාණයක් පැවැත්වීම, ක්‍රීඩකයින්ගේ පුහුණුව සහ ස්ථිර සංචිත පවත්වාගෙන යාම;


වාර්ෂික මහා සභා රැස්වීම පැවැත්වීම;

ජාතික ක්‍රීඩා සංගමයේ/ සම්මේලනයේ නිලවරණයෙන් විධායක කමිටුව පත් වූ වහාම විධායක සභාව මගින් තාක්ෂණික කමිටුවේ, මුදල් කමිටුවේ, විනය කමිටුවේ සාමාජිකයින් අවුරුදු දෙකක (02) කාලයකට තෝරා පත් කර ගැනීම සඳහා සියලු සාමාජික අනුබද්ධ ආයතන දැනුවත් කර, නාම යෝජනා ලබා ගෙන සුදුසුකම් අනුව පත්කර ගැනීම

නිලවරණ කමිටුවේ සාමාජිකයින් තෝරා පත් කර ගැනීම සඳහා විශේෂ මහා සභා රැස්වීමක් පැවැත්වීම.

“ප්‍රාදේශීය ක්‍රීඩා සමාජ” යන්නෙන් යම් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක් තුළ එම ක්‍රීඩාවට අදාළව පිහිටා ඇති ක්‍රීඩා සමාජ අදහස් වේ.

‘දිස්ත්‍රික් ක්‍රීඩා සංගම්’ යන්නෙන් ඒ ඒ දිස්ත්‍රික්කය තුළ පිහිටි සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක් ම ආවරණය වන පරිදි පිහිටුවා ඇති ප්‍රාදේශීය ක්‍රීඩා සමාජවල එකතුවක් අදහස් වේ. ප්‍රාදේශීය ක්‍රීඩා සංගම්වල වගවීම දිස්ත්‍රික් ක්‍රීඩා සංගම්වලට හා පළාත් ක්‍රීඩා සංගම්වලට විය යුතු අතර, ඒවා නියාමනය කිරීමේ වගකීම දිස්ත්‍රික්, පළාත් සහ ජාතික ක්‍රීඩා සංගම් වෙත පැවරේ.

‘පළාත් ක්‍රීඩා සංගම්’ යන්නෙන් ඒ ඒ පළාත තුළ පිහිටි සියලු දිස්ත්‍රික්කවල සියලු ම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ආවරණය වන පරිදි, ප්‍රාදේශීය ක්‍රීඩා සමාජ පිහිටුවා ඇති දිස්ත්‍රික් ක්‍රීඩා සංගම්වල එකතුවකි. දිස්ත්‍රික් සංගම්වල වගවීම පළාත් සහ ජාතික ක්‍රීඩා සංගම් වෙත වන අතර, ඒවා නියාමනය කිරීමේ වගකීම පළාත් සහ ජාතික ක්‍රීඩා සංගම් වෙත පැවරේ.

‘විශේෂ සංගම්’ යන්නෙන් ක්‍රීඩාවේ නියැලෙන රාජ්‍ය සේවා, ජනසතු සේවා, වෙළෙඳ සේවා, ආරක්ෂක සේවා සහ ඒකාබද්ධ විශ්ව විද්‍යාල ක්‍රීඩා සංගමය, මහවැලි ක්‍රීඩා සංගමය, තරුණ සේවා ක්‍රීඩා සංගමය ආදි ක්‍රීඩා සංගම් අදහස් වේ.


සංගම් සඳහා ඡන්ද හිමිකම සදහා සුදුසුකම්:

i. ප්‍රාදේශීය ක්‍රීඩා සමාජයකට එක් ඡන්දයකට හිමිකමක් ඇති අතර, එම ඡන්ද එකතුවෙන් දිස්ත්‍රික් ක්‍රීඩා සංගමය තෝරා පත් කර ගත යුතු අතර, එවන් සුදුසුකම් සපුරා ඇති දිස්ත්‍රික් ක්‍රීඩා සංගමයකට ජාතික සංගම් නිලවරණයේදි එක් ඡන්දයක් ද;

ii. ඒ ඒ පළාත තුළ පිහිටුවා ඇති දිස්ත්‍රික් ක්‍රීඩා සංගමයකට එක් ඡන්ද හිමිකමක් ඇති අතර, එම දිස්ත්‍රික් ඡන්දයෙන් පළාත් ක්‍රීඩා සංගම් පිහිටුවා ගත යුතු අතර, එවන් පළාත් ක්‍රීඩා සංගමයකට  ජාතික සංගම් නිලවරණයේ දි එක් ඡන්දයක් ද;

iii. සෑම ක්‍රීඩාවකට ම පුරෝගාමී ක්‍රීඩා සමාජ වෙතොත් එම ක්‍රීඩා සමාජ සඳහා එක් ඡන්දයක් ද,

iv. ක්‍රීඩාවේ නියැලෙන විශේෂ සංගම් ගණයේ ලා සැලකෙන රාජ්‍ය සේවා, ජනසතු සේවා, වෙළෙඳ සේවා, ආරක්ෂක සේවා සහ ඒකාබද්ධ විශ්ව විද්‍යාල ක්‍රීඩා සංගමය,  මහවැලි ක්‍රීඩා සංගමය, තරුණ සේවා ක්‍රීඩා සංගමය ආදියට අයත් ව්‍යවස්ථාවන් තුළ සාමාජිකත්වය සඳහා එක් ඡන්දයක් ද;

වශයෙන් වන පරිදි සංගම් ව්‍යවස්ථාවට ප්‍රතිපාදන ඇතුළත් කළ යුතු අතර ඒ අනුව කටයුතු කළ යුතු ය.

කෙසේ වෙතත්;

සාමාජික සංගම් සඳහා ඡන්ද හිමිකම ලැබීමට හෝ ලබා ගැනීමට පහත සඳහන් අවම අවශ්‍යතා හෝ සපුරා තිබිය යුතු ය.

i. වාර්ෂික සාමාජික මුදල් නියමිත දිනට ගෙවා තිබීම.

ii. ජාතික සංගමයේ / සම්මේලනයේ ලියාපදිංචි වී හෝ සාමාජිකත්වය ලබා වසර දෙකක කාලයක් සම්පූර්ණ කර තිබීම.

iii. අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හෝ දිසා ලේකම් කාර්යාලයේ ලියාපදිංචි කර තිබීම.

iv. සෑම සාමාජික සංගමයක්ම තම සංගමයට, සංවිධානයට අනුබද්ධ සාමාජික සංගම් නිලවරණයට අදාළ වර්ෂයේ අගෝස්තු මස 01  වන දින සිට ජනවාරි මස 01 වන දින වන විට මහා සභා රැස්වීම් පවත්වා අවසන් කළ යුතු අතර, සෑම වර්ෂයකම මැයි 31 වන දිනට පෙර මහා සභා රැස්වීම් පැවැත්විය යුතු වීම.

v. ප්‍රාදේශීය ක්‍රීඩා සමාජ තම වාර්ෂික වාර්තා, මහා සභා රැස්වීම් වාර්තා, නිලවරණ සම්බන්ධ වාර්තා සහ නිලධාරීන්ගේ සියලු විස්තර ඇතුළත් වාර්තා හා සාමාජික සාමාජිකාවන්ගේ වාර්තා, ගිණුම් වාර්තා, ප්‍රාදේශීය ක්‍රීඩා නිලධාරිවරයාට සෑම වර්ෂයකම දෙසැම්බර් මස 31 දිනට පෙර භාර දී තිබීම.

vi. ජාතික ක්‍රීඩා සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන, ක්‍රීඩා තරගාවලි අතරින් අවම වශයෙන්  තරගාවලි දෙකකට කණ්ඩායම් හෝ ක්‍රීඩකයින් සහභාගී කරවා තිබීම.

vii. පුහුණු කඳවුරු හා පුහුණු පාඨමාලා වර්ෂය තුළ අඛණ්ඩව පවත්වා තිබීම. (අවම වශයෙන් දහයක් (10) පවත්වා තිබීම)

viii. ක්‍රීඩාවේ විනය හෝ සංගම් ව්‍යවස්ථාවේ විනය කඩ කිරීම සම්බ‍න්ධයෙන් අදාළ වර්ෂය තුළ තහනමකට ලක්ව නොතිබීම.

ix. තම දිස්ත්‍රික්කය තුළ හෝ පළාත තුළ හෝ ක්‍රීඩා සමාජ මට්ටමින් පිරිමි, කාන්තා, කණිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක සංචිත හා පුහුණු පවත්වා ගෙන යාම.

x. පුරෝගාමී ක්‍රීඩා සමාජ සහ විශේෂ සංගම් සතු තම ක්‍රීඩාවට අදාළ අත්‍යවශ්‍ය යටිතල පහසුකම් සපුරා තිබීම. (ක්‍රීඩාංගණ, පිහිනුම් තටාක, ටෙනිස් පිටි ආදී)

xi. තම ක්‍රීඩාවට අදාළ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ගෙන් (දෘශ්‍යාබාධිත, ශ්‍රව්‍යාබාධිත, කායික ආබාධිත යනාදී) සමන්විත අනුබද්ධ ක්‍රීඩා සමාජයන් ඇතුළත් කර ගැනීමට කටයුතු කළ යුතු ය.

කෙසේ වෙතත් යම් සාමාජික සංගමයක් විසින් පෙර කී පහසුකම්  නිසි පරිදි සපුරා නොමැති නම්, ඡන්ද බලය හෝ සාමාජිකත්වය තාවකාලිකව හෝ පූර්ණකාලීනව අත්හිටුවීමට කටයුතු කළ යුතු ය.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ සෑම ග්‍රාමසේවා වසමක ම ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සඳහා, ප්‍රාදේශීය ක්‍රීඩා සමාජ, දිස්ත්‍රික් ක්‍රීඩා සංගම් හා පළාත් ක්‍රීඩා සංගම්  ඇති කිරීමට ක්‍රියා කළ යුතු ය. ක්‍රීඩාවට ලැදි සියලු පුරවැසියන්ට තම අභිමතය පරිදි ක්‍රීඩාවක නියැලීමේ මානුෂික අයිතිවාසිකම  ලබාදීම, එම ක්‍රීඩා සංගමයේ වගකීමකි. යම් සාමාජික සංගමයක් විසින් පෙර කී පහසුකම් සියල්ලම සපුරා නොමැත්තේ නම්;

මෙම නියෝග ක්‍රියාත්මක වන දින සිට A ශ්‍රේණියේ සංගමයක් වසර පහක (05) කාල සීමාවක් තුළ පෙර කී පහසුකම් සපුරා ගැනීමට කටයුතු කළ යුතු ය. (අවම වශයෙන් එක් වසරකට දිස්ත්‍රික්ක තුනක ප්‍රාදේශිය ක්‍රීඩා සමාජ සහ දිස්ත්‍රික් සංගම් පිහිටුවීම සහ තම සංගමයට අදාළ ක්‍රීඩාව සඳහා යටිතල පහසුකම් සපුරා ගැනීම)

මෙම  නියෝග ක්‍රියාත්මක වන දින සිට B ශ්‍රේණියේ සංගමයක්  වසර අටක (08) කාල සීමාවක් තුළ පෙර කී පහසුකම් සපුරා ගැනීමට කටයුතු කළ යුතු ය. (අවම වශයෙන් එක් වසරකට දිස්ත්‍රික්ක දෙකක ප්‍රාදේශිය ක්‍රීඩා සමාජ සහ දිස්ත්‍රික් සංගම් පිහිටුවීම සහ තම සංගමයට අදාළ ක්‍රීඩාව සඳහා යටිතල පහසුකම් සපුරා ගැනීම)

මෙම  නියෝග ක්‍රියාත්මක වන දින සිට C ශ්‍රේණියේ සංගමයක්  වසර දහයක (10  කාල සීමාවක් තුළ පෙර කී පහසුකම් සපුරා ගැනීමට කටයුතු කළ යුතුය. (අවම වශයෙන් එක් වසරකට දිස්ත්‍රික්කයක ප්‍රාදේශීය ක්‍රීඩා සමාජ සහ දිස්ත්‍රික් සංගම් පිහිටුවීම සහ තම සංගමයට අදාළ ක්‍රීඩාව සඳහා යටිතල පහසුකම් සපුරා ගැනීම)

ඉහත අවශ්‍යතා නිසි පරිදි සපුරා නොමැති සාමාජික සංගම් සඳහා ඡන්ද බලය හෝ සාමාජිකත්වය තාවකාලිකව හෝ පූර්ණකාලීනව අත්හිටුවීමට ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා කටයුතු කළ යුතු ය.

 


සබැඳි පුවත් :

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්