යෝජිත පළාත් පාලන මැතිවරණය ලබන ජූලි මාසය දක්වා මාස 4ක කාලයකට කල් දැමෙනු ඇතැයි විශ්වාස කටයුතු ඉහළ පෙළේ දේශපාලන ආරංචි මාර්ග උපුටා දක්වමින් 'දේශය' ජාතික පුවත්පත වාර්තාකර ඇත.



පළාත් පාලන මැතිවරණය සඳහා වෙන්කර ඇති මුදල් නිදහස් කිරීමේ ප්‍රායෝගික අපහසුතාව, දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් වන දිසාපතිවරුන් 7 දෙනකු විශ්‍රාම ගැනීම හෝ ස්ථාන මාරු ලැබීම, වී මිලදී ගැනීම සඳහා අවශ්‍ය මුදල් වෙන් කිරීම යන හේතු මැතිවරණය කල් දැමීම සඳහා සලකා බැලෙන ප්‍රධාන හේතු බව එම පුවත් වාර්තාවේ සඳහන් වේ.

මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සාමාජිකයන් 5 දෙනා අතර පූර්ණ එකඟතාවක් නොමැති බවට වාර්තා වන තොරතුරද ඡන්දය කල් දැමීමට හේතු වී ඇතැයි වැඩිදුරටත් දැනගන්නට තිබේ.

මැතිවරණය පැවැත්වීමේ තීන්දුව ගැනීම සඳහා පැවැත්වූ කොමිෂන් සභා රුස්වීමේදී සභාපති නිමල් පුංචිහේවා, සාමාජිකයන් වන එම්.ඒ. මොහොමඩ්, පී.එස්.එම්. චාල්ස්, කේ.පී.පී. පතිරණ හා එස්.බී. දිවාරත්න යන නිලධාරීන් අතර බෙදීමක් හටගෙන ඇතැයි පසුගියදා මාධ්‍ය මගින් ද වාර්තා කර තිබිණි

අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම තත්ත්වය ගැන මැතිවරණ කොමිසම කැඳවා සාකච්ඡාවක්ද පැවැත්වීය. ඒ ගැන නීතිපතිවරයාගේ මතයද විමසා ඇතැයි දැනගන්නට ඇත.

මේ පිළිබඳව නම් සඳහන් කිරීමට අකමැති වූ මැතිවරණ කොමිසමේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියකුගෙන් කරන ලද විමසීමේදී ඔහු ප්‍රකාශ කළේ මැතිවරණ කොමිසමේ සියලු දෙනාගේ පූර්ණ එකඟතාව මත මැතිවරණය ප්‍රකාශ කළ බවය. අවශ්‍ය නම් ඒ ගැන ඔවුන්ගෙන් විමසා බලන ලෙස ද හෙතෙම සඳහන් කළේය.

ඒ අනුව අප මැතිවරණ කොමිසමේ කොමසාරිස්වරුන් කිහිප දෙනකුම ඇමතූ නමුත් පිළිතුරු දුන්නේ කොමසාරිස් කේ.පී.පී. පතිරණ පමණි. ඔහු සඳහන් කළේ තමන් ඇතුළු කොමිසම ව්‍යවස්ථානුකූලව නීත්‍යානුකූලව කටයුතු කර ගැසට් පත්‍රය නිකුත් කළ බවය.


''සීමා නිර්ණයේ අවසන් වාර්තාව නියම දිනේට බෑ''- මහින්ද දේශප්‍රිය

 

මැතිවරණය පැවැත්වීමට බරපතල බාධාවක් - මැකෝ කියන කතාව මෙන්න

සීමා නිර්ණය කමිටුවේ සභාපති මහින්ද දේශප්‍රිය

 

මේ අතර සීමා නිර්ණය කමිටුවේ සභාපති මහින්ද දේශප්‍රිය පැවසුයේ, පළාත් පාලන මැතිවරණ කොට්ඨාස සීමා නිර්ණය කමිටුවේ අවසන් වාර්තාව නියමිත පරිදි පෙබරවාරි මස 28 දිනට රජයට ලබා දීමේ හැකියාවක් නැති බවයි. එම වාර්තාව නියමිත දිනට ලබාදීමට උපරිම උත්සාහය දරන නමුත් ප්‍රායෝගික ගැටළු රාශියක් ඊට බලපෑ ඇතැයි ද ඔහු සඳහන් කළේය.

පළාත් පාලන ආයතනවල මන්ත්‍රීන් සංඛ්‍යාව 8911 සිට 4000 දක්වා අඩු කළ යුතු යැයි රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීමෙන් පසුව ඒ සඳහා අගමැති දිනේෂ් ගුණවර්ධන විසින් පළාත් පාලන ඡන්ද බල ප්‍රදේශ  සීමා නිර්ණය කමිටුව පත් කෙරිණි. එහි අවසන් වාර්තාව ලබන පෙබරවාරි 28 දිනට ලබාදිය යුතු යැයි රජය නියම කර තිබිණි. 

 
එහෙත් පවත්නා ප්‍රායෝගික ගැටලු ගණනාවක් නිසා අදාළ වාර්තාව නියමිත දිනට හමාර කළ නොහැකි වන බව මහින්ද දේශප්‍රිය සඳහන් කළේය.

දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් 4 දෙනකු පසුගිය 01දා විශ්‍රාම ලැබීම, තවත් තේරීම් භාර නිලධාරීන් 3 දෙනකු උසස්වීම් ලබා ඉවත්ව යාම, මෙම කමිටුවට සහාය වූ සංඛ්‍යාලේඛන නිලධාරීන් 17 දෙනකු ස්ථාන මාරු කිරීම, සිතියම් සකස් කිරීම භාර ජ්‍යෙෂ්ඨ මිනින්දෝරු නිලධාරීන් 4 දෙනකු විශ්‍රාම යාම හා 3 දෙනකු ස්ථාන මාරු කිරීම, සීමා නිර්ණයේ කටයුතුවලට සහාය දුන් සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් සියලු දෙනා ඡන්ද රාජකාරි සඳහා යොමුවීම යන හේතු නිසා සීමා නිර්ණය අවසන් වාර්තාව පෙබරවාරි 28 දිනට සැපයීම කිසිසේත්ම කළ නොහැකි යැයි සභාපති මහින්ද දේශප්‍රිය වැඩිදුරටත් අවධාරණය කළේය.

භාෂා පරිවර්තන කටයුතු භාර නිලධාරීන් ප්‍රමාණවත් නොවීම ඊට බලපෑ ඇති ප්‍රධානම කාරණය බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

මෙම සියලු කරුණු සැලකිල්ලට ගෙන පළාත් පාලන මැතිවරණ පනතේ අංක 76(අ) වගන්තිය අනුව ඡන්දය මාස 4කින් පමණ කල් දැමෙනු ඇතැයි 'දේශය' පුවත් වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.


(මුලාශය - deshaya.lk)
 
JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්