13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇති පොලිස් බලතල ඉවත් කිරීම

සඳහා 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල පවසයි.  

ඔහු එබව කියා සිටියේ, අද දින (24) පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සැබෑ දේශප්‍රේමය ජනතාව ඉදිරියේ පරීක්ෂාවට ලක් කරන අවස්ථාවක් ලෙස 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ජනාධිපතිවරයා කැඳවා තිබෙන සර්වපාක්ෂික හමුවට සහභාගි වී සර්වපාක්ෂික හමුව කියන දේශපාලනකියන නාඩලම තුල ජීවිත පුදා උදාකරගත් සාමය නැති කර දැමීමට ආණ්ඩුව ගෙන යන කුමන්ත්‍රණය හෙළිදරව් කරන වේදිකාවක් බවට මෙය පත්කර ගන්නා බවද මන්ත්‍රීවරයා පැවසිය.

මෙම මාධ්‍ය හමුව සඳහා පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් උපුල් කෝනාර, දෙහිවල ආසන සංවිධායක අජන්ත සිල්වා ද සහභාගි වූහ.

එහිදී පිවිතුරු හෙළ උරුමයේ නායකයා වැඩිදුරටත් මෙසේ ද සඳහන් කළේය.

 ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව බරපතළ අනතුරක..

gdf

'' මීළඟ ජනාධිපතිවරණයේදී දෙමළ ඡන්ද කුට්ටියට ඉව අල්ලමින් ජනාධිපතිතුමන් විසින් 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පුර්ණයෙන්ම ක්‍රියාත්මක  කිරීම සඳහා දෙමළ ජාතික සංධානය සමග සාකච්ඡා කර තිබෙනවා. එහිදී පොලිස් බලතල පසුවත් අන් සියල්ල වහාමත් ක්‍රියාත්මක කරන්න එකඟතාවයක් ඇති වූ බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්දිරන් මහතා රටට ප්‍රකාශ කර තිබෙනවා. මේ සදහා එකඟතාවයක් ඇතිකර ගැනීම සඳහා සර්ව පාක්ෂික සමුළුවක් ජනාධිපතිවරයා විසින් ලබන බදාදා දින කැඳවා තිබෙනවා.

මේ පසුබිම යටතේ ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව බරපතළ අනතුරකට පත්ව තිබෙන බවට වන අනතුරු ඇගවීම ජාතියට කළ යුතුයි. රනිල් වික්‍රමසිංහ මැතිතුමාට බලය ලැබුණු හැමදාම ජාතික ආරක්ෂාව අනතුරේ හෙළා රට අදුරෙන් අදුරට යැවූ බව ඉතිහාසයට එබී බලන ඕනෑම කෙනෙකුට පේනවා.

 

හදිසියේ ජනාධිපතිධූරය ඔළුව මත කඩා වැටුණු රනිල් වික්‍රමසිංහ මැතිතුමාට කලින් ජනාධිපති ධූරය දැරූ ජනාදිපතිවරුන් හත්දෙනාම 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින පොලිස් බලතල ක්‍රියාත්මක නොකිරීමට හේතුවක් තිබුණා. එහි ඇති අවදානම සහ බැරෑරුම්කම ගැන ඔවුන්ට අවබෝධයක් තිබුණා. අපේ රටේ ත්‍රස්තවාදය පරාජය කළත් බෙදුම්වාදය තවමත් ක්‍රියාත්මකයි. තිබ්බතයේ කලා වගේ, පලස්තීනයේ කලා වගේ රුද්‍රකුමාරන් භූමියක් නැති දෙමළ  ඊළාම් රාජ්‍යයක් හදලා එහි අගමැති ධුරයටත් පත්වෙලා ඉන්න පසුබිමකයි මේ සුමන්දිරන් මන්ත්‍රීවරයා රට තුළ බෙදුම්වාදය ව්‍යාප්ත කරමින් ඉන්නේ. ජාත්‍යන්තර වශයෙන් මෙන්ම ජාතික වශයෙන් බෙදුම්වාදය ක්‍රියාත්මක වන අවස්ථාවක, ඕනෑම මොහොතක ත්‍රස්තවාදය යළි නැගිටී මේ අවස්ථාවක් තිබියදී, උතුරු පලාතේ පුරාවස්තු  විනාශයට දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් එකහඬින් පෙනී සිටින මොහොතක, උතුරු නැගෙනහිර ත්‍රස්තවාදය යළි හිස එසවීමේ අවදානම තියෙනවා.




නැවත වරක් යුද්ධයක් ඇති වන අවස්ථාවක....

නැවත වරක් යුද්ධයක් ඇති වන අවස්ථාවක උතුරු නැගෙනහිරට පොලිස් බලතල ලබාදී තිබුණොත් යුද්ධය ඇති වන්නේ ශ්‍රී ලංකා යුද හමුදාව සහ උතුරේ පොලිස් හමුදාව අතරයි. පසුගිය අවස්ථාවල අපට ත්‍රස්තවාදය අවසන් කිරීමට පහසු වුණේ අපේ පැත්තෙ ඉන්නෙ නිල හමුදාවක්. අනික් පස හිටියේ ත්‍රස්තවාදීන්. ඒ නිසා ඔවුන්ට උදව් කරන රටවල් වලට ඔවුන්ට ආයුධ දෙන්න උනේ හොරෙන්. පුහුණුව ලබා දෙන්න වුනෙත් හොරෙන්. ත්‍රස්තවාදය වෙනුවෙන් පෙනී සිටියේ ලැජ්ඡාවෙන්. නමුත් සටන දෙපැත්තෙම ඉන්නේ නිල හමුදා දෙකක් නම් බෙදුම්වාදයට උඩ ගෙඩි දෙන ජාත්‍යන්තර බලවේගයන්ට නිර්ලජ්ජිතව බෙදුම්වාදය වෙනුවෙන් පෙනී සිටින්නත් ආයුධ සහ පුහුණුව ලබා දෙන්නත් හැකියාව ලැබෙනවා.



පළාත් සභාවලට පොලිස් බලතල ලබා දෙනවා කියන්නේ නීතිය සහ සාමය කියන විෂයය පිළිබඳ බලතල පළාත් සභාවලට ලබා දෙනවා කියන එකයි. අපරාධ නඩු විධාන සංග්‍රහය දණ්ඩනීති සංග්‍රහය සංශෝධනය කිරීමේ හැකියාවද උතුරේ පළාත් සභාවට හිමිවෙනවා. ත්‍රස්තවාදය කියන්නේ අපරාධයක් නොවේ යනුවෙන් වෙන් ප්‍රඥප්තියක් සම්මතකර ගන්නත් උතුරේ පළාත් සභාවට පුළුවන්. ත්‍රස්තවාදය දඬුවම් ලබාදිය යුතු වරදක් නොවේ යනුවෙන් දණ්ඩනීති සංග්‍රහය සංශෝධනය කර ගත්තොත් උතුරේ හමුදා කඳවුරු වලට බෝම්බ ගැසීම් අධිකරණය හමුවේ ප්‍රශ්න කළ නොහැකි තත්ත්වයක් ඇතිවෙන්න පුළුවන්.


13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව පළාත් පොලීසිය සහ ජාතික පොලිසි වසයෙන් පොලිසිය වර්ග දෙකකින් සමන්විත වෙනවා. ජාතික පොලිසියේ නිලධාරීන්ට පළාතක සිටින විට නිල ඇඳුම අඳින්නට වත් අවසර නැහැ. ඒ සදහාත් මහ ඇමතිවරයාගේ අවසර ගත යුතුයි. බෙදුම්වාදී යුද්ධයක් ඇතිවුනොත් වෙනත් පළාතක සිටින පොලිසියට හමුදාවේ සහයට බෙදුම්වාදය තියෙන තැනට යන්න නම් ඒ පලාත් සභාවේ අවසරය ගන්න ඕනෑ. 

 
වර්ධරාජා පෙරුමාල් හිටපු උතුරුපලාත් මහ ඇමතිවරයා දෙමළ ඊලාම් රාජ්‍ය ප්‍රකාශයට පත් කරලා උතුරේ තිබූ පොලිස් හමුදාව ආණ්ඩුවට එරෙහිව සටන් වදින හමුදාවක් බවට පරිවර්තනය කළ අවස්ථාවේ ඔවුන් අත්අඩංගුවට ගන්න යුද හමුදාව යන අවස්ථාවේ වෙනත් පළාතක ඉන්න පොලීසියක් හමුදාවට සහය දක්වන්න යන්න නම් වර්ධරාජා පෙරුමාල් ගෙන් අවසර ගත යුතුයි. බෙදුම්වාදියාගෙන් අහන්න ඕනි අපි ඇවිල්ලා ඔයාට ගැහුවට කමක් නැද්ද කියලා. මේ විහිළු සහගත සහ ජාතික ආරක්ෂාව බරපතළ ලෙස අනතුරේ හෙළන විධිවිධාන වලින් තමයි දහතුන්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හැදිලා තියෙන්නේ.


ජනාධිපතිවරයා දෙමළ ඡන්ද වලට තියන  තණ්හාවෙන් ඇස් අන්ධ කරගෙන මෙම පොලිස් බලතල ලබා දීමට මේ දරන වෑයම පරාජය කිරීම මේ රටට ආදරය කරන, මේ රටේ යළි යුද්ධයක්  වෙනවාට අකමැති, මේ රට යළි ලේ විලක් වෙනවට අකමැති සෑම පුරවැසියෙකුගේම යුතුකම.  



ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 256 වන සහ 257වන වගන්තිවලින් ප්‍රාන්ත ආණ්ඩුවක් ඉන්දියාවට එරෙහිව කටයුතු කරනවා නම් ඊට මැදිහත් වෙන්න මධ්‍යම ආණ්ඩුවට බලතල ලබා දී තියෙනවා. ඉන්දීය ආකෘතියට සකස් කරපු අපේ දහතුන්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සුවිශේෂී අවස්ථා දෙකක තුනක හැරුණු කොට ප්‍රාන්ත ආණ්ඩුව රටට එරෙහිව මොනවා කළත් ඊට ඇඟිලි ගහන්න මධ්‍යම ආණ්ඩුවට කිසිම බලයක් ලබා දීලා නැහැ.

පොලිස් බලතල ව්‍යවස්ථාවේ තියෙන නිසා තමයි ජනාධිපතිවරයා වරින්වර දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් කැඳවා පොලිස් බලතල පිළිබඳව පොරොන්දු ලබා දෙන්නේ. පොලිස් බලතල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඉවත් කරන විසිදෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නීතිඥවරුන් ප්‍රමුඛ නීතිඥ කමිටුවක් විසින් කෙටුම්පත් කර මට ලබා දී තිබෙනවා. මෙය ඉදිරි සතිය ඇතුලත අප පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා.

පොලිස් බලතල පළාත් සභාවට ලබා නොදිය යුතු බවට ජනාධිපතිවරු හත් දෙනෙක් විසින් ගත් ස්ථාවරය සමගින් අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හිට ගන්නවද ඩොලර් කුට්ටියට දෙමළ සන්ධානයේ ඡන්ද කුට්ටියට  කෑදරකමින් ඇස් අන්ධ කරගෙන බෙදුම්වාදී මාවතේ අපේ ආදරණීය මව්බිම දක්කගෙන යනවද කියන තීන්දුව මන්ත්‍රීවරුන්ට  ගන්න අවස්ථාව උදා වෙනවා. රටේ ජනතාවට ඔවුන්ගේ තීරණය කුමක් ද කියලා බලාගන්න පුළුවන් වේවි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සැබෑ දේශප්‍රේමය ජනතාව ඉදිරියේ පරීක්ෂාවට ලක් කරන අවස්ථාවක් විදිහට අප මේ විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා.''

 

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්