පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන

මහනගර සභා හා පළාත් පාලන ආයතන සංශෝධිත පනත් කෙටුම්පතේ අන්තර්ගත වගන්තිවලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන උල්ලංඝනය වන බව නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අද (24) දැනුම් දී තිබේ.

ඒ අනුව අදාළ පනත් කෙටුම්පත සම්මත කරන්නේ නම්, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක විශේෂ බහුතර ඡන්දයකින් අනුමත වී එය ජනමත විචාරණයකින්ද අනුමත විය යුතු බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයට දැනුම් දී ඇත.

අදාළ පනත් කෙටුම්පතේ අන්තර්ගත විධිවිධානවලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කර තිබුණු පෙත්සම් 27ක් අද (24) යළි විභාගය සඳහා කැඳවූ අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය මෙම දැනුම් දීම සිදු කළාය.


ඡන්ද විමසීම නොපැවැත්වීමට එරෙහි පෙත්සම

මේ අතර නියමිත පරිදි පසුගිය මාර්තු මස 09 වනදා පළාත් පාලන ඡන්දය විමසීම නොපැවැත්වීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ඉදිරිපත් කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම මේ මස 26 වනදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේ ය.

එම පෙත්සම් ඉදිරිපත් කර තිබුණේ ජාතික ජන බලවේගය සහ පැෆ්රල් සංවිධානය විසිනි.

මෙම පෙත්සම් බුවනෙක අලුවිහාරේ ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනීමට නියමිතව තිබිණ.

එහෙත් එම පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරුවරයෙකු වන ප්‍රියන්ත ජයවර්ධන වෙනත් නඩු විභාගයකට සහභාගි වීම හේතුවෙන් මෙම පෙත්සම් සලකා බැලීම මෙලෙස කල් තැබීමට අධිකරණය නියම කර තිබේ. 

 

 JW

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image