ඉදිරියේදී වැඩි වැඩියෙන් වානීජ ණය ගැනීම, රාජ්‍ය දේපළ විකිණීම, සල්ලි අච්චු ගැසීම, ඊළඟ අයවැයෙන් සහන අකුලා ගැනීම අනිවාර්යෙන් සිදුකිරීමට නියමිත බවත්,  මෙම මූල්‍ය අර්බුදය ඉදිරියේදී විශාල ආර්ථික අර්බුදයක් වීමට නියමිතව තිබෙන බවත් එක්සත් ජාතික පෙරමුණේ නායකයකු වන හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.

ඔහු මේ අදහස් පළකර සිටියේ පසුගියදා ‘අර්බුදයේ අභියෝගය’ නමින්,  ජාතික මඟ සංවිධානය විසින් කෝට්ටේ සෝලීස් හෝටලයේ සංවිධාන කර තිබූ වැඩසටහනකට එක්වෙමිනි.

ලංකා ඉතිහාසයේ නිදහසින් පසු ණය, පොලිය සහ වැටුප් ගෙවීමෙන් පසු රාජ්‍ය ආදායම අහිමි වෙච්ච එකම පාලනය බවට වත්මන් ආණ්ඩු පාලනය පත්ව තිබෙන බවත් ඊට ප්‍රධානම හේතුව කිසිම සොයාබැලීමකින් තොරව කරන ලද මේ බදු සහන ලබාදීමේ ක්‍රියාවලිය බවත් හිටපු ඇමතිවරයා එහිදී පැවසිය.

යහපාලන ආණ්ඩුව විසින් ගොඩනගාගත් ආර්ථිකයේ සරල ස්ථාවරත්වය සම්පූර්ණයෙන්ම  වත්මන් ආණ්ඩුව විසින් බිඳදමාගෙන තිබෙන බවත්, 2/3 නැමති දේශපාලන සූදුව කෙලීමට වත්මන් ආණ්ඩුව ජාතික ආර්ථිකය ඔට්ටුවට තැබීමේ භයානක ප්‍රතිඵල අසරණ පාරිභෝගිකයාත්, ව්‍යාපාරිකයාත්, මධ්‍යම පන්තිය ඇතුළු සියලුදෙනාම දැන් භුක්ති විඳිමින් සිටින බව හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක අවධාරණය කර සිටීයේය.

champika 01 05වර්තමානයේ රට මුහුණ දී තිබෙන ආර්ථික හා ණය අර්බුදය ගැන අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,

ආර්ථික හා රාජ්‍ය මූල්‍ය අභියෝගය පිළිබඳව පැති දෙකක් තිබේ. රටේ ආර්ථික වර්ධන වේගය ඇණහිටීම ඉන් එකකි. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වියත්මගේ ප්‍රධාන තේමාවක් වූයේ, යහපාලන ආණ්ඩුව පැමිණි පසු ආර්ථික වර්ධනය කඩා වැටුණු බවයි. 

වියත්මඟ අමතක කරපු කරුණක් වන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලයේ අවසාන අවුරුදු දෙකේ (2013/14) මෙම ආර්ථික වර්ධනයේ ඇණහිටිල්ල ආරම්භ වී තිබුණු බවයි. එය මා විසින් රචනා කරන ලද ආලපාලු ආර්ථිකය නැමති කෘතියේ පෙන්වා දී තිබේ. 

රාජපක්ෂ ආණ්ඩුව විසින් 2010 වර්ෂයේ ආර්ථික බැලුමක් පිම්බූ අතර එය වැඩිකල් පවත්වාගෙන යාමට නොහැකි බව මා විසින් 2014 වර්ෂයේදී පෙන්වා දුනි. ඉන් ඇතිවූ අර්බුදයට අපගේ යහපාලන ආණ්ඩුවට මුහුණදීමට සිදුවිය.

ආර්ථික වර්ධන වේගය ඇණහිටීමට එක් ප්‍රධාන හේතුවක් වන්නේ ගෝලීය වශයෙන් ඇතිවී තිබෙන වර්ධනය අඩුවීමයි. අති විශාල වර්ධනයක් පෙන්වූ ඉන්දියාවේ වර්ධනය අඩකින් අඩුව තිබේ. චීනයේ, ඇමරිකා එක්සත් ජනපදයේ, යුරෝපා සංගමයේ ද වර්ධන වේගය අඩුවී ඇත. ඇතැම් රටවල සෘණ වර්ධනයක් ඇතිවී තිබේ. 

කොරෝනා වෛරසය වැනි දේවලින් චීනය කිසියම් ආකාරයට හුදෙකලා වුවහොත් මෙම ගෝලීය වර්ධනය ආර්ථික කඩාවැටීමකට මඟ පෑදීමට හැකිය. එවැනි දේවල් ලෝකයේ සිදුවී තිබේ. එහෙයින් ගෝලීය වශයෙන් ඇති වූ ප්‍රශ්නය අපට ද අනාගතයේදී බලපානු ඇත.

Champika text 2. 05
අපේ රටේ ආර්ථිකය මෙහෙයවන සියල්ලන්ම වැඩිහිටියන්ය. එමෙන්ම ඒ සඳහා තවමත් යොදාගනුයේ පැරණි උපක්‍රමයි. අපේ යහපාලන ආණ්ඩුවේත්, වත්මන් ආණ්ඩුවේත් එය එලෙසම ක්‍රියාත්මක වේ. පැරණි අය තමන්ගෙ ජීවිත කාලෙ එක්තරා අවස්ථාවක සාර්ථක වෙච්ච උපක්‍රම හැමදාම වලංගු බව සිතති. එහෙයින් එම උපක්‍රමම නැවත ක්‍රියාවේ යොදවති. නමුත් තත්ත්වයන් වෙනස් වී ඇති නිසා ඉන් ප්‍රතිඵල ලැබෙන්නෙ නැත. පරණ බේත් අලුත් ලෙඩවලට ගැලපෙන්නේ නැත.

පසුගිය කාලයේ ඇතිවූ බරපතල නියං තත්ත්වය, දේශපාලන අස්ථාවරත්වය (ජනපති හා අගමැති අතර ගැටුම) හා පාස්කු ප්‍රහාරය රටේ ආර්ථිකය අස්ථාවරත්වයට, ආයෝජකයන් නොපැමිණීමට හේතු විය. මෙම කාරණා නිසා අපේ ආර්ථික වර්ධන වේගය 3% මට්ටමට වැටී තිබුණි. 

2019 ඩොලර් වලින් ඒක පුද්ගල ආදායම බැලුවම අපේ ඒක පුද්ගල ආදායම අඩුවී තිබේ. එහෙයින් මේ වර්ධනයේ ඇණ හිටීම මේ වසරෙත්, ඉදිරි වසරවලත් බලාපොරොත්තු විය යුතුය.

ණය අර්බුදය:

අපේ රටේ රාජ්‍ය ආදායම ණයයි පොලියයි ගෙවීම සඳහාවත් ප්‍රමාණවත් නොවේ. එමගින් ඇතිවූ ගැටළුව අද වෙනස් තත්ත්වයට පත්ව තිබේ. විදේශ ණය නිසි දවසට පියවීමට නොහැකි වුවහොත් රට බංකොලොත්භාවයට පත්වේ. 

ජාත්‍යන්තර මූල්‍ය බලවේග අපේ රටේ මූල්‍ය ස්වරූපය ගැන යම් යම් ඇගයීම්, ප්‍රමිතීන් කරනු ලබයි. දැනටමත් අපේ මූල්‍ය ඇගයීම සෘණ කර ඇත. එමඟින් සිදුවන්නේ විදේශ රටවලින් ණය ගැනීමේදී ඒවායේ පොලී අනුපාතය තවත් වැඩිවීමයි. ඒ නිසා අපේ රට ඉදිරියට ගෙනියන්න තිබෙන ඉතාම බරපතල අර්බුදයක් වන්නේ මෙම ණය අර්බුදයයි.


Champika text 03. 05 මේ ණය අර්බුදය ඇති කළේ කවුද ? 

දැන් මෙම අර්බුදය යහපාලන ආණ්ඩුව මත පැටවීමට උත්සහ කරමින් සිටී. මේ ණය අර්බුදය ඇති කළේ කවුද ? මෙම ණය අර්බුදයේ මූලිකයා වන්නේ, වානීජ ණය මත දුවන්න ගිය රාජපක්ෂ පාලනයයි. විදේශීය ණයවල හිමිකාරීත්වය කාලෙකට ඉහත තිබුණෙ සහන ණය. 0.1% පොලියට ගත්ත සහන ණය. අවුරුදු 30/40 ක් ගෙවන්න නියමිත ණය. 

ඒ වෙනුවෙට 3%, 4% සමහර වෙලාවට 8% කෙටිකාලීන ණය, වසර තුනකින් ගෙවන ණය ගන්න පුරුදු වුණා. ඒව අරගෙන කිසිම ආදායමක් එන්නෙ නැති තැන්වල ආයෝජනය කළා. අන්න එහි ප්‍රතිඵලයක් ලෙස තමයි විදේශ ණය බර අධික වී තිබෙන්නෙ.

මෙය රාජපක්ෂ පාලන සමයේ, ඒ ආණ්ඩුවෙම සිටි අය විවේචනය කළා. එහෙත් එම ආර්ථික ඝාතකයො අදටත් මුල් පුටුවෙ ඉඳගෙන වැඩ කරමින් රට නැවත පරණ පාරෙම රැගෙන යමින් සිටිනවා.

''බදු සහන ගැසට් එක පාර්ලිමේන්තුවට ගේන්න, අපි සහය දෙනවා'' 

වත්මන් ආණ්ඩුව ජනාධිපතිවරණෙදි බදු අඩු කරනබවට සහතික වුණා. වැට් බදු අඩු කරනව, ඒ වගේම තවත් බදු විශාල ප්‍රමාණයක් අඩුකරන බව සඳහන් කළා. නියෝගයක් මගින් දෙසැම්බර් 01 වෙනිද ඉඳල බදු අඩුකළා. නමුත් තාම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරල නෑ. පාර්ලිමේන්තුව තමයි රාජ්‍ය මූල්‍ය පිළිබඳ ප්‍රධාන වගකිවයුත්තා. පාර්ලිමේන්තුවේ  අනුමත වෙනකන් ඒක නීත්‍යානුකූල නෑ. 

ඒ නිසා ඒ බදු නොගෙව්වයි කියල දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට කිසිවෙකුටත් නඩු පවරන්න බෑ. මොකද මේක තාම නීත්‍යානුකූල වුණේ නෑ. මාස දෙකක් කල් ගතවෙලා තියෙනව. අපි අභියෝග කරනව වත්මන් ආණ්ඩුවට, අපි අත් උස්සනව, අපි ලෑස්තියි අනුමත කරල දෙන්න, ඔය බදු සහන ගැසට් එක ගේන්න කියල.

Champika text 04. 05
මෙම බදු සහනය ලබාදීමෙන් බලාපොරොත්තු වුනේ, බදු අඩු කරල මුදල් සංසරණය වැඩි කරල බලනව ආර්ථිකය ඉස්සරහට යනවද කියල. මේක ජයසුන්දර මහත්තය ඉස්සරත් කරගෙන ගිය දෙයක්. පුද්ගලික අංශයේ බදු අඩුකරනකොට කිව්ව පුද්ගලික අංශයේ සේවකයන්ගේ වැටුප් වැඩි කරනව කියල. එත් ඒක එහෙම වෙලා තියෙනවද ? භාණ්ඩ මිළ අඩු වුණාද ? අත්‍යාවශ්‍ය ආහාර අධික ලෙස මිළ වැඩිවීම පමණයි සිදු වුණෙ.

ඊනියා බදු සහනය නිසා රජයට ලැබෙන ආදායමෙන් 30% ක් අහිමිවෙලා :


රජයට ලැබෙන ආදායමෙන් හරියටම 30% ක් මේ ඊනියා බදු සහනය නිසා රජයට මේ 2020 දි අහිමි වෙනවා.

යහපාලනය එනකොට ආණ්ඩුවේ ආදායම රුපියල් බිලියන 1,050 යි. අපේ ආණ්ඩුව යටතේ අවුරුදු 05 ක් ඇතුළත මේ ආදායම දෙගුණ කළා. බිලියන 2,100 දක්වා ආණ්ඩුවේ ආදායම වැඩි වුණා. ඒකෙන් තමයි බංකොලොත් නොවී ආණ්ඩුව ගමන් කළේ. 

ආණ්ඩුවට පුළුවන් වුණා ආණ්ඩුවේ වැටුප් ගෙවල, සංවර්ධනයට වියදම් කරල, සහනාධාර දීල, සමෘද්ධිය දීල..... තව මුදලක් ඉතුරු කරගෙන ණයයි පොලියයි ගෙවන්න පුලුවන් තත්ත්වයක් අවුරුදු 40 කට 50 කට පස්සෙ ඇති කරන්න.

මේ වසරේ ආණ්ඩුවේ ආදායම බිලියන 1,500 යි. වැටුප් බිල බිලියන 800 යි. ණය පොලිය බිලියන 1,000 යි. මේ දෙක ගෙවපු ගමන් ආණ්ඩුවේ ආදායම සෘණ වෙනවා. 

බිලියන 200 ක විශ්‍රාම වැටුප් බිලක් තියෙනව. බිලියන 800 ක බිලක් තියෙනව ණයවල වාරික ගෙවන්න. ආණ්ඩුවේ ගෙවල් කුලී ගෙවන්න, වාහන ‍නඩත්තුවට හා තෙල් වියදමට තව බිලියන 400/500 ක් යනව. සහනාධාර වලට තවත් බිලියන 400 ක් වැය වෙනව. සංවර්ධන වියදම රටපුරාම බිලියන 800 ක් පමණ වෙනව. මේව ඔක්කොම එකතු කළාම බිලියන 4500 ක් වෙනව.

කර්මාන්තකරුවන් මුලා කලා :

ඒ වගේම සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට සහනයක් ලෙස සියලුම ණය කපාහරින බව කීවත් අවස්ථා හතරකදී චක්‍රලේඛය වෙනස් කරමින් කර්මාන්තකරුවන් මුලා කලා. රටේ ආර්ථිකය ගැන කිසිදු අවබෝධයක් නොමැතිව තමයි මෙම නියෝග ලබාදෙන්නෙ. 

එම නියෝග දීල ක්‍රියාත්මක කරද්දි ප්‍රශ්න මතුවෙනකොට ආපස්සට යන්න වෙනව. රාජ්‍ය පාලනය ගැනවත් මූල්‍ය පාලනය ගැනවත් කිසිම අවබෝධයකින් තොරව තමයි මේ තීරණ අරගෙන තියෙන්නෙ.

මොකක්ද මෙහි සමස්ථ ක්‍රියාවලිය? මේ තමයි ඊළඟ මැතිවරණයේදී 2/3 ලබාගැනීම වෙනුවෙන් කරන ක්‍රියාදාමය. මේ වැරදි ආර්ථික උපාය මාර්ගයේ අරමුණ තමයි පාර්ලිමේන්තුවේ 2/3 ලබාගැනීම සඳහා ජාතික ආර්ථිකය සූදුවට/ඔට්ටුවට තැබීම. මේක භයානක ප්‍රතිවිපාක ගෙනදෙන දෙයක්.

Champika text 05. 05මේක කරන්න ගියාම ඉදිරියේදී මොකද වෙන්නෙ? ආණ්ඩුවේ වියදම් අනිවාර්යෙනම කපා හරින්න වෙනව. දැනටමත් අතිකාල දීමනා කපා හැරල තියෙනවා. වැටුප් වර්ධක, විශ්‍රාම වැටුප් වර්ධකය කපා හැරල තියෙනව. ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘති අගෝස්තු මාසය දක්වා කල්දාල තියෙනව.

ඉදිරියේදී වැඩි වැඩියෙන් වානීජ ණය ගැනීම, රාජ්‍ය දේපළ විකිණීම, සල්ලි අච්චු ගැසීම, ඊළඟ අයවැයෙන් සහන අකුලා ගැනීම අනිවාර්යෙන් සිදුකිරීමට නියමිතයි. මෙම මූල්‍ය අර්බුදය ඉදිරියේදී විශාල ආර්ථික අර්බුදයක් වීමට නියමිතව තිබේ. එමෙන්ම බලශක්ති හා දේශගුණ අර්බුද ද ඉදිරියේදී පැනනැගීමට නියමිතය.

රාජ්‍ය මූල්‍ය කළමණාකරනයට දක්වන අසමත්කම, කිසිම රාජ්‍ය ආයතනයක් ලාභ උපයන තැනක් බවට පත්කිරීමට දක්වන ලද නොහැකියාව සහ වියදම් කිරීමට පමණක් දක්ෂ වීම වත්මන් ආණ්ඩුවේ ප්‍රධාන දුර්වලතාවයයි. මෙම නොහැකියාවේ අර්බුදයට රට මුහුණ දී තිබේ.''

 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්