මන්ත්‍රීවරයා පොදු ප්‍රවාහනයෙන් තොර බෙන්ස් රථයෙන් මැති සභයට එන්නේ නම්, එය රට දුප්පත් බවට සාක්ෂියක් යයි

සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න පවසයි.

''අධික පොලියට ණයට අරන් ප්‍රතිලාභයක් නැති ව්‍යාපෘතිවලට වැය කිරීම රට බංකොලොත්වීමට ප්‍රධාන හේතුවක් බවද ඔහු කියා සිටියි.

ආර්ථික අවශ්‍යතාවය නොසලකා දේශපාලන වාසි තකා තීරණ ගන්නා බැවින් අද වන විට රටේ දේශපාලනය දිනුම්..,ආර්ථිකය පරාදයි. පුරවැසියයි -රටයි බංකොලොත් '' යැයි ද ඉරාන් වික්‍රමරත්න පෙන්වාදෙයි.

ඉරාන් වික්‍රරමරත්න මන්ත්‍රීවරයා එබව කියා සිටියේ, අද (29) පාර්ලිමේන්තුවේ දී ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශයේ වැය ශීර්ෂය අවස්ථාවේ දී අදහස් දක්වමිනි.

කඩිනම් ප්‍රතිලාභ නොදෙන මාර්ග සංවර්ධනය වැනි ව්‍යාපෘතිවලට ණයට අරන් ප්‍රාග්ධනය යොදවන්නේ දූෂණයට පාර කපන නිසා හෝ රටක් සංවර්ධනය කිරීම බිළිබඳව අවබෝධයක් නැති, නොදන්නාකම නිසා විය යුතු යැයි ඉරාන් වික්‍රරමරත්න එහිදී පැවසිය.

''දියුණු සංවර්ධිත රටවල් සමඟ සසඳන විට මෙහි යථාර්ථය පැහදිලි වෙනවා. රටක පාර්ලිමේන්තු මන්ත්‍රී තුමා පොදු ප්‍රවාහනයෙන් ඇවිත් බැස පාර්ලිමේන්තුවට පැමිණෙන්නේ නම් රටක් සංවර්ධිතයි කියන්න පුළුවනි, පාර්ලිමේන්තු මන්ත්‍රී තුමා එයාගේ සුඛෝපභෝගී රථයෙන් පාර්ලිමේන්තුවට පැමිණෙන්නේ නම් අනිවාර්යයෙන්ම එවැනි රටවල් දුප්පත් රටවල් බව කිව හැකියි.  රටක සංවර්ධනය පොදු ප්‍රවාහනයේ දියුණුව මත තීරණය කළ හැකියි..''


ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශයට 2024 වසරට ප්‍රාග්ධන වශයෙන් රු බිලියන 354 වෙන් කර තිබෙන්නේ රටට ප්‍රතිලාභ නොදුන් ව්‍යාපෘතිවලට වැය කර රට බංකොලොත් කළ ක්‍රියාව අඛණ්ඩව 2024 දීත් ඉදිරියට ගෙන යන්න දැයි වික්‍රමරත්න මන්ත්‍රීවරයා මෙහිදී රජයෙන් ප්‍රශ්න කළේය.


මෙයින් 85 % ක්ම වෙන් කර තිබෙන්නේ මහා මාර්ග සඳහා. දුම්රිය හා මගී පොදු ප්‍රවාහනයට වෙන් කරන්න තිබෙන්නේ 15 %  වැනි සොච්චමක්.. මෙපණ ප්‍රමාණයක් මහා මාර්ග සඳහා වැය කරන ලොව එකම රට ශ්‍රී ලංකාව විය යුතුයි.

'' මහා මාර්ග සංවර්ධනයට අය වැයෙන් මුදල් වෙන් කළ ද අවසානයට මේවා සිදු කරන්නේ අධික පොළියට වානිජ ණය ලබාගෙනයි. පුද්ගලයෙක් නිවසක් හදන්න වෙන් කරගෙන තිබෙන රු මිලියනයට වඩා මිලියන පහකට ඇස්තමේන්තු කර බැංකු ණයක් අරගෙන නිවස හදාගෙන යන අවස්ථා තිබෙනවා. භාගයක් දුර ඉදිකිරීම් කර ගෙන යන විට ණය ගෙවන්න බැරුව භාගෙට නිමා කළ නිවස පමණක් නොව තමන්ට අයත්ව තිබූ ඉඩම ද විකිණීමට සිදුවන අවස්ථා බොහෝ යි.  අද වන විට මේ රට මුහුණ දෙන්නේ ද එවැනිම ගැටලුවකට. මුදල් ණයට අරගෙන මේ මහා මාර්ග වැනි දේවල් හදපු එක රට බංකොලොත් වීමට එක ප්‍රධාන හේතුවක්. දැන් අධිකරණය මගින් රටේ ආර්ථික අර්බුදයට හේතු වූ පුද්ගලයන් කවුරුන් දැයි ඔප්පු කර තිබෙනවා.''



තමා කලක් මහා මාර්ග පිළිබඳව නියෝජ්‍ය ඇමතිවරයා ලෙස කටයුතු කළ බව සිහිපත් කළ මන්ත්‍රීවරයා, මෙවැනි ආර්ථික තීරණ නොවන දේශපාලන තීරණවලට විරුද්ධවූ බව කීය. එසේ ණයට අරන් ප්‍රතිලාභ නොදෙන ව්‍යාපෘතිවලට විරුද්ධ වූ දා සිට කිසිදූ සාකච්ඡාවකට තමාට ආරාධනා කළේ නැතැයි කී මන්ත්‍රීවරයා, මහා මාර්ගවලට මුල් ගල තබන උත්සවයේ සාකච්ඡාවලට පමණක් ආරධනා කළ බැව් කීය.


'' කුමන ආණ්ඩුවකින් වූවද වැරදි ප්‍රතිපත්ති අනුගමනය කළහොත් වරදිනවා වරදිනවාමයි. රටේ ආර්ථික අවශ්‍යතාවය පසෙකලා දේශපාලන තීරණ ගැනීමේ වරද හේතුවෙන් රට බංකොලොත් වී තිබීම පිළිබඳව පාලකයන් පාඩමක් ඉගෙන තිබෙන බවක් පෙනෙන්නට නැ. මේ රජය යටතේ අර්බුදය ඇතිවුනාට පස්සේ තවත් රු බි. 300 ක් ලබන වසරට මහ මාර්ග සඳහා වියදම් කරන්නට සැලසුම් කළ ද පොදු ප්‍රවාහනයට වෙන් කර ඇත්තේ රු බි 54 ක් පමණයි.''

'' මේ නිසා පුද්ගල වාහන ප්‍රමාණය වැඩිවෙමින් තිබෙනවා. ඛනිජ තෙල් භාවිතය වැඩි වෙනවා. ආනයන වියදම් හේතුවෙන් ඩොලරය වැඩි වෙනවා. කාබන් විමෝචනය වැඩි වෙනවා. විදුලියට කාබන් විමෝචනය 45 % යි, කර්මාන්තවලට 21%, ගමනා ගමනයට 21 %.  ''



'' විශේෂඥ උපදෙස් අනුව මහා මාර්ග වියදම් වැඩි කිරීම වෙනුවට පොදු ප්‍රවාහනය දියුණු කිරීම රට දියුණු කරන්න රුකුලක් වනවා. අපේ රටේ මහා මාර්ග කිලෝ මීටරයකට යන වියදම ජාත්‍යන්තර වියදමට වඩා තුන් ගුණයට වඩා වැඩි වන්නේ දූෂණය හේතුවෙන් බව අද වන විට ප්‍රසිද්ධ රහසක් '' යැයි ද ඉරාන් වික්‍රමරත්න  තවදුරටත් ප්‍රකාශ කළේය.

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්