ප්‍රශ්නගත ඉමියුනෝග්ලොබියුලින් ප්‍රතිදේහ එන්නත් සිද්ධියට සම්බන්ධ සැබෑ මහමොළකරුවන් වහාම නීතිය ඉදිරියට රැගෙන ආ යුතු බව රජයේ

වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

පසුගිය වසරේදී පමණක් රුපියල් බිලියන 30කට අධික මුදලක් හදිසි ඖෂධ මිලදී ගැනීම් සඳහා ගෙවා දමා ඇතැයි ද එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය චමිල් විජේසිංහ පැවසීය.

වෛද්‍ය සැපයුම් අංශයේ වෙබ් අඩවියට අනුව ඖෂධ වර්ග 120කට ආසන්න ප්‍රමාණයක් මේ වසරේදී පමණක් ප්‍රමිතිය අසමත්ව පද්ධතියෙන් ඉවත් කර ඇතැයි පැවසූ හෙතෙම, ඖෂධ මාෆියාවේ ආධිපත්‍ය සෞඛ්‍යයේ ඉහළම තැන්වල සිට පැමිණෙන බව මෙම ඉමියොනෝග්ලොබියුලින් වංචාවෙන් පැහැදිලි වී ඇතැයි කියා සිටියේය. 

ඉමියුනෝග්ලොබියුලින් සිද්ධියට සම්බන්ධ සමාගම හරහාම කූට ලේඛන සකසා පිළිකා රෝගීන්ට ලබාදෙන ඖෂධ ද ගෙන්වා ඇති බව හෙළිදරව් වී ඇතැයි පැවසූ වෛද්‍ය චමිල් විජේසිංහ, මෙම ඉමියුනෝග්ලොබියුලින් ඖෂධය ප්‍රමිතියෙන් තොර බව තහවුරු වී ඇති බව වැඩිදුරටත් සඳහන් කළේය.

 

වෛද්‍ය සැපයිම් අංශයට නව නිලධාරීන්....

මේ අතර වෛද්‍ය සැපයිම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් සහ අධ්‍යක්ෂක ධූරය සඳහා වැඩ බැලීමට වහාම ක්‍රියාත්මකවන පරිදි නව නිලධාරීන් පත් කර ඇත. 


වෛද්‍ය සැපයුම් අංශයෙහි අධ්‍යක්ෂකවරයා කූට ලෙස සැපයූ ඉමියුනෝග්ලොබියුලින් ගණුදෙණුවට අදාලව සැක පිට රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමත්, එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම වලක්වන ලෙස අධිකරණයෙන් සිදුකරන ලද ඉල්ලීම ප්‍රතික්ෂේප වීමෙන් අනතුරුව රෝහල් ගත වීමත් හේතුවෙන්, වෛද්‍ය සැපයුම් අංශය විසින් ඖෂධ ඇතුලු විශාල වෛද්‍ය සැපයුම් අයිතම ප්‍රමාණයක් බාර නොගනිමින් හරවා යැවීම හේතුවෙන්, ඉදිරියේ දී සෞඛ්‍ය සේවාව තුළ ඇතිවිය හැකි බරපතළ අර්බුධය වලක්වා ගැනීමට කටයුතු කරන ලෙස, පරිපූරක වෛද්‍ය වෘත්තිය වේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය  පසුගිය සතියේ දී සෞඛ්‍ය ලේකම් වෙත ලිඛිත පැමිණිල්ලක් සිදු කර තිබිණ.

ඒ අනුව, වෛද්‍ය  සැපයුම් අංශය සඳහා වැඩබලන පදනම මත නව නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් සහ නව අධ්‍යක්ෂක වරයෙක් පත් කිරීමට සෞඛ්‍ය ලේකම්වරයා පියවර ගෙන තිබේ. 

වෛද්‍ය සැපයුම් අංශයේ නව වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස  සුදත් ධර්මරත්න ත්, එහි වැඩ බලන අධ්‍යක්ෂකවරයා ලෙස, වෛද්‍ය දේදුනු ඩයස්  පත් කිරීමටත් සෞඛ්‍ය ලේකම්වරයා විසින් පියවර ගෙන තිබේ. 

සුදත් ධර්මරත්න මේ වන විට රසායනාගාර නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ජනරාල්වරයා ලෙස කටයුතු කරමින් සිටින අතර තීරණ ගැනීමේ කාර්යක්ෂතාවය සහ සාමූහිකව තිරණ නොගැනීම පිළිබඳව රසායනාගාර වෘත්තීයවේදීන්ගේ බරපතල විවේචනයට ලක් වූ අයෙකි. 

ඖෂධ නියාමන  අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කරමින් සිටියදී, ඉන් ඉවත් කල විජිත් ගුණසේකර, වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂක තනතුරට පත් කිරීම හේතුවෙන් තනතුර අහිමි වූ දේදුණු ඩයස්, ඖෂධ ආසාත්මිකතා පිළිබඳ සොයා බැලීමට පත් කල කමිටුවේ සභාපති වරයා ලෙස කටයුතු කල, වෛද්‍ය පර්යේෂණ ආයතනයේ හිටපු අධ්‍යක්ෂකවරයාය.

 

මේ වන විටත් බාර නොගනිමින් හරවා යැවූ ඖෂධ ඇතුළු සෞඛ්‍ය සැපයුම් 150කට අධික ප්‍රමාණයක් පවතින අතර, එම සැපයුම් කඩිනමින් ගබඩා කර ගැනීම සඳහා එම නිළධාරීන් කටයුතු නොකලහොත්, ඉදිරියේදී සෞඛ්‍ය සේවාව තුල බරපතල කඩා වැටීමක් සිදුවීම නොවැලැක්විය හැකිය. දෙසැම්බර් මුල් සතිය තුල වෛද්‍ය සැපයිම් අංශයේ සාමාන්‍ය තොග විඝණනය සඳහා නව තොග බාර ගැනීම අත්හිටුවීමට පෙර අත්‍යවශ්‍ය අතිරික්ත තොග ගබඩාකර ගැනීමට කටයුතු කල යුතු බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය සභාපති රවී කුමුදේශ් අවධාරණය කර සිටියි.


 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්