උතුරේ දෙමළ තරුණයකු අත් අඩංගුවේ මරුමුවට පත්වී මසක් ගත් වන්නටත් මත්තෙන් නැගෙනහිර පළාතේ දරුවකු පරිවාස භාරයේ මිය යාමට හේතු

වී ඇත්තේ කිසිදු වෘත්තීය පුහුණුවක් නොමැති නිලධාරීන් භාරයේ දරුවන් තැබීම නිසා බව හෙළි වී තිබේ.

 කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා සමන්මලී කුමාරසිංහ දෙසැම්බර් 04 වැනි සඳුදා පාර්ලිමේන්තුවේදී හෙලි කර තිබුනේ පරිවාස නිලධාරීන් යනු කිසිදු වෘත්තිය පුහුණුවක් නොමැති පිරිසක් බවයි.

 “පරිවාසය කියන්නේ දරුවන්ගේ ආරක්ෂාව සියල්ලම බලා ගත යුතු තැනකදී මෙවැනි අවාසනාවන්ත සිද්ධියක් වීම ගැන මම අතිශයින්ම කණගාටුවට පත් වෙනවා. මේකේ එක හේතුවක් තමයි මේ පරිවාසේ නිලධාරීන් කිසිම වෘත්තිය පුහුණුවක් නෑ. පරිවාස නිලධාරීන් කියන්නේ නිකම්ම නිකං නැනීලා නෙමෙයි. සර්වන්ට්ස්ලා නෙමෙයි. ඒ ගොල්ලන්ට මේ දරුවන්ගේ මානසික තත්වට වටහාගන්න පුළුවන් කමක් තියෙන්න ඕන. ඉතාම ඉක්මනින් මේ අපේ අමාත්‍යාංශය මගින් ඔවුන්ව පුහුණු කරන්නට මම කටයුතු කරනවා.“

  ශ්‍රී ලංකාවේ බාල වයස්කාර දැරිවියන් ළමා මව්වරුන් බවට පත්වීම සම්බන්ධයෙන්ද, පසුගිය දින වල පාර්ලිමේන්තුවේ හඩ අවදි කර තිබුණු ශ්‍රී ලංකාවේ ජනප්‍රිය චිත්‍රපට නිලියකද වන රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ, පුහුණුවක් නොමැතියවුන් පරිපාලනයට පත් කර ඇත්තේ කෙසේදැයි පැහැදිලි කළේ නැත.

 


කල්මුනේ ප්‍රදේශයේ පරිවාස ළමා නිවාසයක් තුළ රදවා සිටියදී මරණයට පත් වු දාහතර හැවිරිදි නාරායනන් ආන්දදේවන් දර්ශන්ත්ගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් 28 හැවිරිදි ප්‍රින්සි පුලේන්ද්‍රන් නැමැති සැකකාර පාලිකාව දෙසැම්බර් 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීම අධිකරණය නියෝග කර තිබේ.

 ඒ දෙසැම්බර් 04 වැනි සදුදා ඇය කල්මුනේ මහේස්ත්‍රාත් එස්.එම්. එස්. එම් සම්සුදීන් වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

 සොරකමක් සම්බන්ධයෙන් සැකපිට නොවැම්බර් 16 වැනිදා පොලිස් අත්අඩංගුවට ගෙන මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග අනුව කල්මුනේ ප්‍රදේශයේ පිහිටි පරිවාස දෙපාර්තමේන්තු ළමා නිවාසයක රඳවා සිටි නාරායනන් ආන්දදේවන් දර්ශන්ත් පසුගිය 29 වැනිදා ජීවිතයෙන් සමුගත් බව ජනමාධ්‍ය වාර්තා කර තිබේ.

 නාරායනන් ආන්දදේවන් දර්ශන්ත්ගේ පියා වන ආනන්දදෙවන් ප්‍රදේශයේ මාධ්‍යවේදීන් සමග පවසා තිබුනේ මරණයට පත් ව සිටි සිය පුතුගේ පාදයේ තුවාල ද දක්නට ලැබුන බවයි.

 “ එයා මැරෙන වෙලාවේ ඇස් දෙකම ඇරලා තිබ්බා. මට ලඟට ගිහිල්ලා බලන්න බෑ. ඊට පස්සේ නීතිඥයා ආවා. කල්මුනේ නීතිඥයා ආවා. එයා කිව්වා සැකයිද කියලා? මං කිව්වා මෙහෙමයි. සැකයිනම් මට දැන් කියන්න බෑ. පස්සේ තමයි මොනවද තියනවා කියලා බලන්න පුළුවන් කියලා. බලන වෙලාවේ වම් පැත්තේ කකුලේ තුවාල වෙලා තිබුනා අගල් දෙකට විතර දිග. ගැඹුර එක හමාරක් විතර. පොලීසිය ආවා. පොලීසිය බැලුවේ නෑ. JMO කීවා මේක මර්ඩර් කරලා තියනවා ගහලා මැරිලා තියනවා. තුවාල තියනවා කියලා කිව්වා,“ යි ආනන්දදේවන් ප්‍රදේශයේ මාධ්‍යවේදීන් සමග පවසා තිබුනි.

 කොකුවිල් පොලිස්ථානය ඉදිරිපිට ට දෙසැම්බර් 03 වැනි ඉරිදා සිය පුතුගේ මෘත කලේබරය ද ගෙනගොස් ඥාතීන් සහ ප්‍රදේශවාසීන් සමග විරෝධතා දියත් කළ පියා එහිදී පොලීසියෙන් ප්‍රශ්න කර තිබුනේ මරණයට පත් වු සිය දරුවාගේ සිරුරේ තුවාල සහ තැලුම් පහරවල් තිබු බවට නිකුත් කළ අධිකරණ වෛද්‍ය වාර්තාව අධිකරණයට ඉදිරිපත් නොකළේ මන්ද යන්නයි.

මියගිය දරැවාගේ දෙමාපියන් ඇතුළු ඥාතීන් කොකුවිල් පොලිස්ථානය ඉදිරිපිට දී විරෝධතා දියත් කරද්දී, නිලඇදුමින් එහි සිටි පොලිස් පරීක්ෂකවරයකු සදහන් කළේ පොලීසිය ඉදිරිපිට විරෝධතා දියත් කිරීමෙන් ඇති ප්‍රතිපලයක් නොමැති බවයි.

 “අපිට තියෙන්නේ ගමේ කට්ටිය අල්ලලා දුන්නට පස්සේ උසාවි දාන්න. අපිටත් කණගාටුයි මේ සිද්ධියට. ගොඩාක් කණගාටුයි පොලීසියට. අපි උසාවියට දැම්මා. උසාවියෙන් තමයි ඊට පස්සේ පරිවාසෙට දාලා තියෙන්නේ. පරිවාසෙට දාපු තැනින් එතනින් මේ ළමයට ගැහුවා කියලා දැන් ඇරස් කරලා තියනවා එක්කෙනෙක්. මෙතන උද්ඝෝෂණය කරලා වැඩක් නෑ.“

 දරුවාගේ මුරණ්ඩු කම් නතර කිරීමේ අරමුනින් ඔහුට පහර දුන් බව අත්අඩංගුවට ගත් පරිවාස ළමා නිවාසයේ පාලිකාව පාපොච්චාරණය කර ඇති බව දකුණේ සිංහල ජනමාධ්‍ය වාර්තා කර තිබේ.

 මේ අතර පසුගිය මාසයේදී අත් අඩංගුවට ගෙන අධිකරණ නියෝග මත බන්ධනාගාරගත කර සිටියදී මරුමුවට පත් යාපනය දිස්ත්‍රික්කයේ සිත්තන්කේනියේ පදිචිව සිටි නාගරාසා ඇලෙක්ස් ගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් වඩුක්කෝට්ටේ පොලිස් ස්ථානයේ උප පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු පොලිස් නිලධාරීන් සිව් දෙනා දෙසැම්බර් 8 වැනිදා පෙරවරු 9.30 ට හදුනාගෙනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කිරීමට යාපනය මහේස්ත්‍රාත් ඒ.ඒ.ආනන්දරාජා දෙසැම්බර් 04 වැනි සදුදා නියෝග කර තිබේ.


ඝාතනයට ලක් වු විසි හය හැවිරිදි නාගරාසා ඇලෙක්ස් තරුණයට යුක්තිය ඉල්ලා දෙසැම්බර් 03 වැනි ඉරිදා වඩුක්කෝට්ටේ පොලිස් ස්ථානය ආසන්නයේදී නීතිඥ කනගරත්නම් සුගාස්ගේ ප්‍රධානත්වයෙන් විරෝධයක් ද දියත් කර තිබුනි.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්