සෞඛ්‍ය සේවය තුල වුවමනාවෙන් අර්බුධ ඇති කරමින් සෞඛ්‍ය බලධාරීන්ගේ හොරකම් වැහීමේ සැලසුමක් පවතින බව පරිපුරක වෛද්‍ය වෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් චෝදනා කරයි.


ඒ හරහා සෞඛ්‍ය සේවයේ සමගිය බිඳින්න සැලසුම් සහගත වැඩ පිළිවෙලක් පවතින බව ඔහු 10 වැනිදා පැවති මාධ්‍ය හමුවක දී ඔහු කියා සිටියේය.

"සෞඛ්‍ය සේවයේ සමගිය බිඳින්න සැලසුම් සහගත වැඩ පිළිවෙලක් තිබෙනවා. සෞඛ්‍ය සේවයේ එක පාර්ශවයකට විතරක් විශේෂ සැලකිල්ලක් කරනකොට අරගල ඇති වෙනවා කියලා ඕනෙම කෙනෙක් දන්නවා. සෞඛ්‍ය ඇමතිවරයා වෛද්‍ය නිලධාරියෙක් වුණාම අමාත්‍යවරයාගේ මැදිහත්වීම පක්ෂහ්‍රාහී වෙනවා. එහෙම නැත්නම් මෙහෙම තීරණ ගන්න විදිහක් නෑ. සෞඛ්‍ය සේවය තුල උවමනාවෙන්ම ඇති කල මේ අර්බුදය සෞඛ්‍ය බලධාරීන්ගේ හොරකම් වැහීමේ සැලසුමක්."

විවිධ කාර්යමණ්ඩල වල ගෞරවය කෙලෙසන ප්‍රකාශන සිදු කිරීම සහ ඒවාට විශාල ප්‍රවෘත්තිමය වටිනාකමක් ලබාදීමත් මේ වැඩ පිළිවෙලේම කොටසක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

 

තනතුරුවලට ගැලපෙන්නේ නැති නිලධාරීන් සෞඛ්‍ය සේවාවේ ඉහල තනතුරුවලට පත් කර ඇතැයි චෝදනා කරන රවී කුමුදේශ්, ඔවුන් අනවශ්‍ය අර්බුද නිර්මාණය කරමින් දේශපාලන කත් ඇඳීම් සිදුකර ඉහල තනතුරුවලට යාමට උත්සාහ දරන බව ද සඳහන් කළේය.

 

සෞඛ්‍ය සේවයේ හොරකම් ගැන කථා නොකරමින් ඒවා යට ගහන්න දීපු සහයෝගය නිසාවෙන් වෛද්‍ය නිලධාරින්ගේ වැටුප් වැඩීම සිදුවුවා දැයි හෙතෙම සැක පළ කළේය.

“වෛද්‍ය නිලධාරී සංගමය පහුගිය කාලේ කරපු වැඩ නිසා රුපියල් 35000/- ක දීමනාව ලැබුණු බව එක්තරා කුප්‍රකට වෛද්‍ය අධ්‍යක්ෂක වරයෙක් කියලා තිබුණා. සෞඛ්‍ය සේවයේ හොරකම් ගැන කථා නොකරමින් ඒවා යට ගහන්න දීපු සහයෝගය ගැනද ඔහු කියන්න හදන්නේ කියන සැකය අපිට තිබෙනවා. කොහොම වුණත් දීමනාවක් වෙණුවෙන් සෞඛ්‍ය සේවාව හෝ රෝගීන් පාවා දෙන්න අපිට බැහැ. ආණ්ඩුවට ජැක් ගහන අයට දීමනා දෙන්න ආණ්ඩුව කටයුතු කරනවා වගේ එකක් කියන එක හිතා මතා කරපු බරපතල ප්‍රකාශයක්.”

ආණ්ඩුවට මුදල් නොමැති බව පැවසීම හේතුවෙන් තනියෙන් දීමනා ලබා ගැනීමට වඩා සෞඛ්‍ය සේවයේ පැවැත්ම ගැන තම සංගමය අවධානය යොමු කළ බව පවසන පරිපුරක වෛද්‍ය වෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලයේ සභාපතිවරයා “ජීවත් වෙන්න බැරිව, එදා වේල නැතුව මැරෙන මිනිස්සුන්ගෙම් එකතුකර ගත්තු සල්ලිවලින් අපි විතරක් කාලා ඇඳලා තැනකට යන්න අපිට බලය පෙන්නන්න බැරිකමක් තිබුණා, ඒක ඇත්ත. ඒත් ආණ්ඩුවට බහුතර රජයේ සේවකයෙකුගේ මූලික වැටුවපටත් වඩා වැඩි දීමනා වැඩි කිරීමක් කරන්න පුළුවන්නම්, එහෙම සල්ලි අමාරුවක් තියෙන්න විදිහක් නෑ.” යැයි පැවසීය.

වැරැද්ද නිවැරදි කිරිමට රජයට තවමත් අවස්ථාව ඇති බැවින් සෞඛ්‍ය සේවාව බරපතල අර්බුදයකට නොයවා සාකච්ඡා කර ගැටලුව විසඳන්න පියවර ගන්නා ලෙස පරිපුරක වෛද්‍ය වෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් රජයට බල කර සිටී.

ඉතිහාසය තුල තමන්ගේ හැන්දෙන්, තමන්ගේම කණ්ඩායමට බෙදලා දුන්න නරකම සෞඛ්‍ය ඇමතිවරයා නොවී, අනෙකුත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ට සාධාරණය ඉටු කරන ලෙස සුව ඇමැති රමේස් පතිරණගෙන් තවදුරටත් ඉල්ලා සිටින රවී කුමුදේශ්, එසේ නොනහොත් සෞඛ්‍ය සේවාව විශාල අරගලයකට, වෘත්තීන් අතර කුලල්කා ගන්නා අර්බුදයකට යනු ඇතැයි අනතුරු අඟවයි.


 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image