වැඩි පොලියක් ලබා දෙන බවට පවසමින් රජරට හුරුළු ව්‍යාපාරය ගොවි ජනතාව රවටා
"ට්‍රෙරෙඩ්වින් "නමින් පිරමීඩ මූල්‍ය ව්‍යාපාරයක් පවත්වාගෙන ගොස් රුපියල් කෝටී පන්සීයකට අධික මුදලක් ජාවාරම් කළේ යැයි කියන උපාධිධාරී බස්නායක නිලමේවරයා සහ සැකකරු පිළිමතලාව ප්‍රදේශයේ සැඟවාගෙන සිටියේ යැයි කියන ටෙලි නිලියක ලබන 05 දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි කහටගස්දිගිලිය වැඩ බලන මහේස්ත්‍රාත් නීතිඥ දිමුතු නියෝග කළේය.

අත්අඩංගුවට ගත් වීරසේකර මුදියන්සේලාගේ තරිඳු ඉරෝස් වීරසේකර සහ චිත්‍රපට හා රූපවාහිනී ටෙලි නාට්‍ය රංගන ශිල්පිනියක වූ එගොඩ ගෙදර චමිලා පියදර්ශනී රාජරත්න නමැති සැකකාරිය ද එදින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළේය.

පෙරේදා දින අත්අඩංගුවට ගත් සැකකරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජාලගත විමර්ශන ඒකකය මගින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

එම ඒකකයේ උප පොලිස් පරීක්ෂක තිවංක දසානායක සහ පොලිස් කොස්තාපල් ජයරත්න ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව වැඩ බලන මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් කියා සිටියේ සැකකරු වසර දෙකක් තිස්සේ පොලිස් විමර්ශන වලට සහාය නොදී සැඟව සිටි පුද්ගලයෙකු බවය.

සැකකරු උපයාගත් ආකාරය හෙළි කළ නොහැකි දේපළ රැසක් මිලදී ගෙන ඇති පුද්ගලයෙකු බවද, විමර්ශන රැසක් සිදු කරන බැවින් එම දේපළ පිළිබඳ කරුණු මෙම අවස්ථාවේදී අධිකරණයට ඉදිරිපත් කළ නොහැකි බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උප පොලිස් පරීක්ෂක තිවංක දසානායක සඳහන් කර සිටියේය.

සිද්ධිය සම්බන්ධයෙන් ගොවීන් 180කට අධික පිරිසක් මේ වන විට පැමිණිලි කර ඇති බවත්, පසුගිය ජූලි මාසයේදී කහට ගස් දිගිලියප්‍රදේශයේ විරෝධතා ව්‍යාපාරයක් ඔවුන් සංවිධානය කර තිබූ බවත් සඳහන් කළ පොලිස් නිලධාරියා, මොහුට ඇප ලබා දුනහොත් මහජන කැළඹීමක් ඇතිවිය හැකි බැවින් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට ඉල්ලා සිටියේය.

මිනිසුන් බෝඩ් ලෑල්ලක් අල්ලා සිටි පමණින් එය මහජන කැළඹීමක් නොවන බැවින් සැකකරුට ඇප ලබා දෙන්නැයි සැකකරුවන් වෙනුවෙන් නීතිඥ සුරාජ් වල්ගම හා ඉන්දික විජයවර්ධන අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

නඩු කටයුතු වලට ඕනෑම අවස්ථාවක සහය දීමට අධිකරණයට ඉදිරිපත් වන බවත් ඇප ලබා දෙන ලෙසත් ඔවුන් වැඩිදුරටත් ඉල්ලා සිටියේය.


(lankadeepa.lk -රෝෂන් තුෂාර)

සබැඳි පුවත් :
තවත් පිරමීඩ ලොක්කෙක් මාට්ටු

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්