ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සූදානමින් සිටින දකුනේ ප්‍රධාන දේශපාලන පක්ෂ හා

සන්ධානවල නායකයන් උතුරේ ප්‍රධාන පක්ෂය වන ඉලංකෙයි තමිල් අරසු පක්ෂය හෙවත් දෙමළ ජාතික සන්ධානයේ නව නායකත්වය ජනාධිපතිවරණයේදී කෙසේ හැසිරෙනු ඇත්දැයි අවධානය යොමු කරමින් සිටින බව වාර්තාවේ.

ඊට හේතු වී ඇත්තේ ඉලංකෙයි තමිල් අරසු පක්ෂය හෙවත් දෙමළ ජාතික සන්ධානයේ නව නායකත්වයට පත් යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන්  දකුණේ දේශපාලනය හෝ දේශපාලන පක්ෂ සමග එතරම් සම්බන්ධයක් නොපැවැත්වීමත්, ඔහු උතුරේ එල්ටීටීඊ සටනට පක්ෂ ස්ථාවරයක් ගැනීමත්ය.

දෙමළ ජනයාගේ ප්‍රශ්නය සම්බන්ධයෙන් දැඩි මතයක සිටින එම පක්ෂයේ සාමාජිකයන්ගේ හා දෙමළ ඩයස්පෝරාවේ සහයෝගය පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් පැවති ඡන්දයේදී ශ්‍රීධරන්ට ලැබී තිබුණ අතර ඒ නිසාම දකුණේ දේශපාලනය සමග සම්බන්ධකම් ඇති ඔහු සමග පක්ෂ නායකත්වයට තරග කළ එම් ඒ සුමන්තිරන් ට පරාජයට පත්වන්නට සිදු විය.


ශ්‍රීධරන් පක්ෂ නායකත්ව ඡන්දය ජය ගැනීමෙන් පසු ජනවාරි 21 වැනිදා ත්‍රිකුණාමලය නගර සභා ශාලාව ඉදිරිපිටදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා තිබුණේ දෙමළ ජාතියට අහිමි වී තිබෙන මූලික අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා වගකීම හා යුතුකම ඉටු කරන බවයි. එමෙන්ම ඔහු කියා ඇත්තේ සිය භුමිකාව දෙමළ ජාතිකත්වය මත පදනම් වන බවයි. ඔහු ඒ සම්බන්ධයෙන් වැඩි දුරටත් පවසා ඇත්තේ දෙමළ ජනතාවගේ උරුමය වෙනුවෙන් දෙමළ ජාතියේ පැවැත්ම වෙනුවෙන් වගකීම හා යුතුකම සිය පක්ෂය ඉටු කරන බවයි. ඔවුන් සමග එකතු වී වැඩ කළ හැකි ජාතිකත්වය වෙනුවෙන් පෙනී සිටින පක්ෂයට බාහිරව සිටින සියල්ලන් එකතු කර දෙමළ ජනතාවගේ නිදහස වෙනුවෙන් අලුත් විමුක්ති සම්ප්‍රදායකට මුල පුරන බවද ඔහු එහිදී කියා ඇත.


දෙමළ ජාතික සන්ධානය, පසුගිය ජනාධිපතිවරණ වලදී අපේක්ෂකයෙක් ඉදිරිපත් නොකර සෘජුව හා වක්‍රාකාරයෙන් පවතින ආණ්ඩුවල අපේක්ෂකයින්ට විරුද්ධව දෙමළ ජනතාවගේ ඡන්ද මෙහෙය වූ අතර අවසන් ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාසටද, ඊට පෙර මෛත්‍රීපාල සිරිසේනටද, ඊටත් පෙර සරත් ෆොන්සේකාටද උතුරේ ඡන්ද බහුතරය ලැබුණි.

දකුනේ පොදු අපේක්ෂකයින් ලෙස ඉදිරිපත් වූ මෛත්‍රිපාල සිරිසේනට හා සරත් පොන්සේකාට සිය සහාය පළ කරන බව එම ජනාධිපතිවරණ දෙකේදී දෙමළ ජාතික සන්ධානය සෘජුව ප්‍රකාශ කළේය.

උතුරු පළාතේ හිටපු මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් උතුරෙන් දෙමළ අපේක්ෂකයෙකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීම සඳහා උතුරේ පක්ෂ හා කණ්ඩායම් කිහිපයක් සමග සාකච්ඡා පවත්වමින් සිටියද ඒ සඳහා ඉලංකෙයි තමිල් අරසු පක්ෂය සම්බන්ධ වී නැත.

(anidda.lk -ඉඳුවර බණ්ඩාර)

සබැඳි පුවත් :
දෙමළ ජාතියේ අයිතීන් වෙනුවෙන් සටන් වැදීමට ITAK නව නායකයාගෙන් ප්‍රතිඥා

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්