එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන ලේකම් ධූරයට තමන්ව පත් කිරීමට එරෙහිව මහින්ද අමරවීර ඇමැතිවරයා ගොණු කර ඇති නඩුව

ඉල්ලා අස් කර ගතහොත් තම ධුරයෙන් ඉවත් වීමට සුදානම් බව තිලංග සුමතිපාල පවසයි. 

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායක මෛත්‍රීපාල සිරිසේන වෙත ජනවාරි 31 වැනිදා යනව ලද ලිපියකින් ඔහු මේ බව දැනුම් දී තිබේ.

“එකී නීති කෘත්‍යය අධිකරණය ඉදිරියේ විවාදයට තුඩු දී ඇති කරුණක් බැවින් ගරු අධිකරණයේ කටයුතුවලට බාධාවක් නොවන පරිදි එකී පැමිණිල්ල ඉල්ලා අස්කර ගැනීමට ඉහත අංක දරණ නඩුවේ මහින්ද අමරවීර මහතා හා අනෙකුත් වග උත්තරකාර පාර්ශ්වයන්ද එකඟ විය යුතුය.”

“ඉහතින් සඳහන් කරන ලද කරුණු වලට යටත්ව ගරු අධිකරණයේ අවසරය මත නීති කෘත්‍යය ඉල්ලා අස්කර ගැනීමෙන් පසු, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ යෝජනා ස්ථිරත්වයෙන් පත්කරන ලද එක්සත් ජනතා නිදහස් සන්ධාන ප්‍රධාන ලේකම්ධුරයෙන් ඉල්ලා අස්වීමට මා කටයුතු කරන බව ඔබතුමා වෙත කාරුණිකව දැනුම් දෙමි.” යැයි තිලංග සුමතිපාල කියා සිටි.

මහින්ද අමරවීර විසින් වත්මන් රජයේ අමාත්‍ය ධුරයක් ලබා ගැනීම හේතු කරගෙන පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීම සහ ඔහු පක්ෂයේ දැරූ තනතුරු වලින් නෙරපීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීන්දු කළේය.

එම තීන්දුව අභියෝගයට ලක් කරමින් මහින්ද අමරවීර ඇමැතිවරයා කොළඹ දිසා අධිකරණ නඩුවක් ගොණු කළ අතර ඔහුව තනතුරුවලින් ඉවත් කිරිමෙන් පසුව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන ලේකම් ධූරයට පත් තිලංග සුමතිපාල ද එම නඩුවේ වග උත්තරකරුවෙකු ලෙස නම් කර තිබේ.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් ධුරයෙන් තමා ඉල්ලා අස්වී ඇතිබවට පලවන වාර්තා අසත්‍ය බවද ඔහු කියා සිටියි. 

තිලංග සුමතිපාල විසින් තම තීරණය දැනුම් දෙමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායක මෛත්‍රීපාල සිරිසේන වෙත යවා ඇති ලිපිය පහතින් කියවන්න.

(චතුරංග මේදිස්)

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන ලේකම් ධූරය සම්බන්ධවයි

කොළඹ දිසා අධිකරණ අංක DSP 497/2022 දරණ නඩුවේ පැමිණිලිකරු වන මහින්ද අමරවීර මහතා විසින් පළමුවන විත්තිකරු ලෙස ශ්‍රී.ල.නි.ප සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතා, දෙවන විත්තිකරු ලෙස ශ්‍රී.ල.නි.ප ප්‍රධාන ලේකම් දයාසිරි ජයසේකර මහතා, නවවන විත්තිකරු ලෙස එ.ජ.නි.ස නායක මෛත්‍රීපාල සිරිසේන මහතා සහ දහවන විත්තිකරු ලෙස මා ද නම් කර නඩුවක් පවරන ලදී.

ඉහත අංක දරණ නඩුවේ පැමිණිල්ලේ සඳහන් කරුණු තහවුරු කරමින් 2022 ක්වූ දෙසැම්බර් මස 08 වන දින එකී නඩුවේ පැමිණිලිකරු වන මහින්ද අමරවීර මහතා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා කරුණු දක්වමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකයා ලෙස සන්ධාන ව්‍යවස්ථාවේ 9(3) වගන්තිය ප්‍රකාරව ඔබතුමා විසින් 2022.11.30 වන දින කැඳවන ලද එකී සන්ධානයේ විධායක සභාව නීති විරෝධී බවත්, එසේ සන්ධාන නායක ලෙස ඔබතුමාට එහි විධායක සභාව කැඳවීමට කිසිදු බලයක් නොමැති බවත් සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන ලේකම් ධූරයට පත්වූ මාගේ පත්වීම අභියෝගයට ලක්කරමින් එකී පත්වීම වාරණය කරන ලෙස අයදිමින් ඉල්ලීමක් කරනු ලැබීය.

අදාළ වාරණ නියෝගය නිකුත් කිරීමට විරෝධය දක්වමින් විත්ති පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා 2022.11.30 දින පැවති එ.ජ.නි.ස විධායක සභා රැස්වීම එ.ජ.නි.ස ව්‍යවස්ථා ප්‍රතිපාදනයන්ට එනම් 9 (3) වගන්තියට අනුකූලව එ.ජ.නි.ස නායකයා විසින් කැඳවන ලද්දක් බවත්, සහ එ.ජ.නි.ස ප්‍රධාන ලේකම් ධූරයෙන් මහින්ද අමරවීර මහතා ඉවත් කිරීමේ හා එ.ජ.නි.ස ප්‍රධාන ලේකම් ධූරයට තිලංග සුමතිපාල මහතා පත්කිරීම ආදී ක්‍රියාවන් නිත්‍යානුකූල බවත්, යථෝක්ත නඩුව අවනිදේශනයක් බවත්, පවත්වාගෙන යා නොහැකි බවත් අධිකරණය වෙත කරුණු  සැලකර සිටින ලදී.එකී තත්ත්වය මත මහින්ද අමරවීර මහතා විසින් අයැද සිටි වාරණ නියෝග ප්‍රදානය කිරීම කොළඹ දිසා අධිකරණයේ උගත් විනිසුරුවරයා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය.

ඒ අනුව ඒ සම්බන්ධයෙන් වගඋත්තරකාර පාර්ශ්වය විසින් විරෝධතා ගොනුකර ඇති අතර අතුරු තහනම් නියෝගය පිළිබඳ විමසීම ලිඛිත දේශන මගින් තීරණය කිරීමට ගරු අධිකරණය තීන්දු කරන ලදී.

එකී අධිකරණ තීන්දුව ප්‍රකාරව ඉහත අංක දරණ නඩුවේ ලිඛිත දේශන ගොනු කිරීමට 2024 ක්වූ මැයි මස 15 වන දිනට නියම කර ඇත.

 

ඔබතුමා හොඳින්ම දන්නා පරිදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මූලික කොට ගත් එක්සත් ජනතා නිදහස් සන්ධානය මැතිවරණ ගණනාවක් තරග කර සාර්ථක වූ දේශපාලන ව්‍යාපාරයකි. නමුත් පෙර සදහන් කළ පරිදි  සන්ධානයට එරෙහිව මහින්ද අමරවීර මහතා විසින් ගොනුකරන ලද නඩුව හේතුවෙන් පසුගිය පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරග කිරීමට තිබූ අවස්ථාව අපට අහිමි විය. මේ හේතුව නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ වාමාංශික දේශපාලන ව්‍යාපාර වලට වෙනත් දේශපාලන සන්ධානයක් පිහිටුවා ගැනීමට සිදුවූ අතර නිදහස් ජනතා සන්ධානයෙන් හෙලිකොප්ටරය ලකුණ යටතේ ඒකරාශී වීමට සිදුවිය. මේ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ වාමාංශික බලවේගයන්ගේ ශක්තිය දුර්වල වීමට හේතු විය. මෙසේ වීමට හේතු වුයේ බුලත් කොළයට එරෙහිව මහින්ද අමරවීර මහතා විසින් පවරන ලද නඩුව නිසා බව මතක් කර දීමට කැමැත්තෙමි.

 

මහින්ද අමරවීර මහතා ඇතුළු කණ්ඩායම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතයට විරුද්ධව යමින් රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ අමාත්‍ය තනතුරු ලබාගැනීම නිසා මහින්ද අමරවීර මහතාගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීම සහ ඔහු පක්ෂයේ දැරූ තනතුරු වලින් නෙරපීම නිසා පුරප්පාඩු වූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන ලේකම් ධූරයට, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ යෝජනා ස්ථිරත්වයෙන් මා පත්කරන ලදි. එලෙස පත් කරන ලද මාගේ පත්වීම සහ ඔබතුමා සන්ධාන විධායක සභාව කැදවීම අභියෝගයට ලක් කරමින් මහින්ද අමරවීර  මහතා මෙම නඩුව ගොනුකර ඇත.

එකී නීති කෘත්‍යය අධිකරණය ඉදිරියේ විවාදයට තුඩු දී ඇති කරුණක් බැවින් ගරු අධිකරණයේ කටයුතුවලට බාධාවක් නොවන පරිදි එකී පැමිණිල්ල ඉල්ලා අස්කර ගැනීමට ඉහත අංක දරණ නඩුවේ මහින්ද අමරවීර මහතා හා අනෙකුත් වග උත්තරකාර පාර්ශ්වයන්ද එකඟ විය යුතුය.

 

ඉහතින් සඳහන් කරන ලද කරුණු වලට යටත්ව ගරු අධිකරණයේ අවසරය මත නීති කෘත්‍යය ඉල්ලා අස්කර ගැනීමෙන් පසු , ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ යෝජනා ස්ථිරත්වයෙන් පත්කරන ලද එක්සත් ජනතා නිදහස් සන්ධාන ප්‍රධාන ලේකම්ධුරයෙන් ඉල්ලා අස්වීමට මා කටයුතු කරන බව  ඔබතුමා වෙත කාරුණිකව දැනුම් දෙමි.

 

තවද ජනපීඩිත රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව විසින් ගෙන එනු ලබන අයවැය, වැට්බදු වැඩි කිරීම ආදී ජනතාව මත බර පටවන රටට අහිතකර ඇතැම් අණ පනත් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගනු ලබන තීරණයන්ට විරුද්ධව කටයුතු කරන ආණ්ඩුවේ තනතුරු දරන මෙම කණ්ඩායම සම්බන්ධයෙන් අපගේ පාක්ෂිකයා තුළ ඇත්තේ විශාල පිළිකුලක් බව ඔබතුමාට පෙන්වාදීමට කැමැත්තෙමි. 

 

මේ නිසා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තින් ආරක්ෂා කරන සැබෑ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන්නේ කුමන කණ්ඩායම දැයි රටේ ජනතාවට ප්‍රශ්නයක් වී ඇත. මේ පිළිබඳ දිගින් දිගටම පසුගිය මධ්‍යම කාරක සභා රැස්වීම් ගණනාවකදීම මා පෙන්වා දුන් අතර ඒ පිළිබඳ නැවත වරක් ඔබතුමාගේ අවධානයට යොමු කරවමි.

 

දශක ගණනාවක් අප පක්ෂයේ අභිවෘද්ධිය වෙනුවෙන් විශාල ශ්‍රමයක් මහන්සියක් කැපවීමක් කළ අයෙකු වශයෙන් ඔබතුමා විසින් රජය නියෝජනය කරන පාර්ශවයන් සමග ඇති කරගන්නා ලද එකඟතාවයන් මා තරයේ හෙලා දකින අතර එයට එකග නොවන බව ද දක්වනු කැමැත්තෙමි.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්රධාන ලේකම් ධූරය සම්බන්ධවයි page 0001එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්රධාන ලේකම් ධූරය සම්බන්ධවයි page 0002

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්