විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් මුහුණ පා සිටින ආර්ථික, සමාජීය ගැටළු ගණනාවක් සම්බන්ධව එක්සත් ජනරජ පෙරමුණ හා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය අතර සාකච්ඡාවක් සිදුව තිබේ.


ජනවාරි 30 වැනිදා ජනරජ පෙරමුණු මූලස්ථානයේ දී මෙම හමුව සිදුවු බවයි එම පක්ෂය නිවේදනය කරන්නේ.

“අද ඇත්තටම විශ්වවිද්‍යාලවල අපි කවුරුත් දන්න කාරණයක් තමයි, එක පැත්තකින් මේ රටේ ආර්ථික අර්බුදයේ ප්‍රතිඵලයක් හැටියට, විශ්වවිද්‍යාලවලට වෙන් කරන ප්‍රතිපාදන. විශේෂයෙන් ප්‍රාග්ධන ප්‍රතිපාදන සීමාවෙලා තියෙනවා. ඒක රටේ හැමතැනම තියෙන දෙයක්. ඒ නිසා විශ්වවිද්‍යාල ව්‍යාප්ත වෙන්න භෞතිකව තියෙන ඉඩකඩ සීමා වෙලා තියෙනවා. නමුත් අනිත් පැත්තෙන් ආණ්ඩුව එක දිගටම වැඩිපුර ශිෂ්‍යයන් විශාල වශයෙන් බඳවා ගැනීමක් කරනවා.”

එම හේතුව නිසාවෙන් ශිෂ්‍යයින්ට පහසුකම් සැපයිමේ අපහසුතා මැද ඇතැම් විශ්ව විද්‍යාල ඒකාබද්ධ කිරිමට යන බවට ආණ්ඩුවට චෝදනා එල්ල වී ඇති බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසා තිබේ.

විශ්වවිද්‍යාල ගුරුවරු පිරිසක් විදේශ ගතවීම හේතුව මත හා ශිෂ්‍ය ප්‍රජාව විශ්වවිද්‍යාලවට බඳවා ගැනීම නිසා ගුරු හිඟයක් මතු වී ඇති බව ද ඔහු පෙන්වා දී තිබේ.

“ඊළඟට අනධ්‍යන, අධ්‍යන මේ කාර්ය මණ්ඩල දෙකේම මේ ජීවන වියදමට සරිලන වැටුපක් පිළිබඳ අසහනයක් පැතිරිලා ගිහින් තියෙනවා. ඒ වගේම මේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් ඇතුළු මේ පිළිබඳව රටේ මේ සමාජ ප්‍රශ්න ගැන හඬ නගන පිරිස් මර්දනය කිරීම සඳහා බොහොම නින්දිත ආකාරයේ අණපනත් සම්මත කිරීම්, ඒ වගේම ක්‍රියාමාර්ග ගැනීම් විශේෂයෙන්ම මේ පොලිසියට අරක්ගෙන ඉන්න ත්‍රාඩ කල්ලියක් විසින් දියත් කරලා තියෙනවා.”

WhatsApp Image 2024 02 01 at 11.05.52 AM
රට ඉදිරියට ගෙන යාමට විශ්වවිද්‍යාලවලින් මෙහෙවර ඉතා වැදගත් බවයි චම්පික රණවක මන්ත්‍රීවරයා අවදාරණය කර ඇත්තේ.

පුද්ගලික අංශය විසින් විශ්වවිද්‍යාල නමින් පවත්වාගෙන යන ඇතැම් ආයතන වල ප්‍රමිතිය පිළිබඳව කිසිම සොයාබැලීමක් නොමැති විමෙන් විශාල පිරිසකගේ ධනය අහිමි වී ඇති බව ද හෙතෙම කියා සිටියේය.

 

“අපි අමතක කරන්න හොඳ නෑ පසුගිය වසරේ විතරක් ඕස්ට්‍රේලියාවට පහළොස් දහසකට අධික ලාංකික ශිෂ්‍ය පිරිසක් ගිහින් තියෙනවා. ඩොලර් මිලියන පනහකට වැඩි ධනයක් මේ රටෙන් ඕස්ට්‍රේලියාවට ඇදිලා ගිහින් තියෙනවා. ඉතින් අපි සංචාරක ව්‍යාපාරය ඒවගෙන් ලැබෙන ඩොලර් ආදායම ගැන කතා කරද්දී දරුවෝ රට දාලා යනවා. විශ්වවිද්‍යාල ආචාර්යවරු රට දාලා යනවා. වෘත්තීයවේදීන්, ඉංජිනේරුවෝ, වෛද්‍යවරු ඇතුළු පිරිස් රට දාලා යනවා. බරපතල තත්ත්වයක් තියෙනවා. දශක ගාණක් තිස්සේ නිදහස් අධ්‍යාපනය විසින් බිහිකරපු වැදගත්ම සමාජ සාරයක් රටට අහිමි වෙමින් තියෙනවා.”

 

“දේශපාලන පක්ෂ විදිහටත්, ඔවුන්ට නිශ්චිත වගකීමක් තියෙනවා”

විශ්වවිද්‍යාල පද්ධතිය, ආචාර්යවරු මෙන්ම විද්‍යාර්ථයන් මුහුණ දී ඇති ගැටලු මෙන්ම ආණ්ඩුව විසින් ගෙන යන මර්දනකාරි වැඩපිළිවෙලත් මර්දනකාරි පනත් සම්මත කර ගැනිම සම්බන්ධවාත් සිය සාකච්ඡාවේ අවධානය යොමු කළ බව මාධ්‍ය අමතමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් සඳහන් කළේය.

“අපි බලාපොරොත්තු වෙනවා දේශපාලන පක්ෂ විදිහටත්, ඔවුන්ට නිශ්චිත වගකීමක් තියෙනවා. මේ සම්බන්ධව පාර්ලිමේන්තුව ඇතුළේ වගේම, පාර්ලිමේන්තුවෙන් එළියේ පවා විශ්වවිද්‍යාලවල ප්‍රශ්න, ඒ වගේම රටේ පොදු මර්දනයට විරුද්ධව හඬක් නගන්න ඕනේ කියලා. එතකොට මෙන්න මේ සම්බන්ධව ඔවුන්ගේ අවධානය යොමු කරන්න තමයි අද දවසේ අපි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විදිහට මේ සාකච්ඡාව සිද්ධ කළේ.” යැයි ඔහු තවදුරටත් පැවසීය.

(චතුරංග මේදිස්)


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්