යුද්ධයේදී මියගිය ශ්‍රී ලංකා යුද හමුදා භටයන්ගේ සිරුරු සිය ගණනක් රජය විසින් භාර නොගන්නා ලද බව ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා විසින් හෙළි කොට තිබේ.


මහින්ද රාජපක්ෂ පාලනයේ මුල් සමයේ යුද හමුදාව විසින් ලබන ලද බරපතල පරාජයක් සේ සැලකෙන 2006 මුහමාලෙයි සටනේදී මියගිය 130 කට ආසන්න භටයන්ගේ සිරුරු භාර නොගත් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හෙළිදරව් කළේ මාධ්‍ය ආයතන කර්තෘවරුන්, ප්‍රවෘත්ති සංස්කාරකවරු සහ අධ්‍යක්ෂවරු සමඟ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකදීය.

එම සෙබළුන්ගේ දෙමාපියන් විශ්වාස කරන පරිදි ඔවුන් සැමදෙනාම අතුරුදහන් වුවන් බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ යුද්ධය මුල් කරගනිමින් සිදු වු අතුරුදහන් සම්බන්ධයෙන් කතා කිරීමේදී තමාට “ඉතා හොද අත්දැකීම්” ඇති බව කියා සිටිමිනි.

අතුරුදහන් වීම් පිළිබඳ හුදෙකලා සිද්ධි යොදා ගනිමින් ඒවා “සාමාන්‍යකරණය” කරන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ චෝදනාවක්ද කළේය.

ජනාධිපතිවරයා සිය ප්‍රකාශය කළේ, යුද සමයේ අතුරුදහන් වීම් සම්බන්ධයෙන් ප්‍රශ්න කරන ලද අවස්ථාවේ සෘජු උත්තරයක් දෙනු වෙනුවට ප්‍රශ්නයක් මතු කරමිනි.

දෙමළ මාධ්‍යවේදියාට ප්‍රශ්න

අතුරුදහන් වුවන්ගේ පවුල් වල සාමාජිකයන්ට වන්දි ගෙවීම සම්බන්ධයෙන් දෙමළ මාධ්‍යවේදියකු ජනාධිපතිවරයාගෙන් සිදු කළ විමසීමකදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පෙරලා විමසා ඇත්තේ “අතුරුදහන් වුවන් කීවම මොකකද ඔයා හිතන්නේ, අතුරුදහන් වීම කියන එක පිළිබදව ඔයාගේ විග්‍රහය මොකක්ද ? ” යනුවෙනි.

කෙසේ නමුත් යුද සමයේ ආරක්ෂක බලධාරියා වූ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත හැනා සිංගර් සමග පසුගියදා ප්‍රකාශ කර තිබුනේ සිය සොහොයුරු මහින්ද රාජපක්ෂගේ පාලන සමයේ උතුරේ දියත් කළ  යුද්ධයේදී  අතුරුදහන් වූ පුද්ගලයන් මරණයට පත්ව ඇති බවයි.

අතුරුදහන් වූ පිරිස් හඳුනාගැනීමෙන් පසු ඔවුනට මරණ සහතික නිකුත් කළ හැකි බව ජනාධිපතිවරයා එහිදී වැඩි දුරටත් පවසා තිබේ.

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්