මෙරට මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදය මිලදී ගන්නා වෙළඳපොළක් බවට පත්වි ඇතැයි ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා චෝදනා කරයි.


1978 න් පසුව ආ සමානුපාතික ක්‍රමය ඇතුලේ ජාවාරම්කාරයින් හා නීති විරෝධී ක්‍රම හරහා මුදල් රැස් කර ගත් දූෂිතයින් ඒවා වියදම් කොට මහජන නියෝජිතයින් ලෙස පත් වීමට ඉනිමඟක් සදාගත් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

''අපේ රටේ මැතිවරණ කියන්නෙ ප්‍රජාතන්ත්‍රවාදය මිලදී ගන්නා වෙළඳපොළක්. විශේෂයෙන්, 1978 න් පසුව ආ සමානුපාතික ක්‍රමය ඇතුලේ ජාවාරම්කාරයින් හා නීති විරෝධී ක්‍රම හරහා මුදල් රැස් කර ගත් දූෂිතයින් ඒවා වියදම් කොට මහජන නියෝජිතයින් ලෙස පත් වීමට ඉනිමඟක් හදා ගත්තා. දැන් මහජන මතය ලෙස ප්‍රකාශයට පත් වන්නේ මේ වංචාකාරයින් බහුතරයකගේ මතයයි. මෙය වෙනස් නොකලොත් "පරමාධිපත්‍ය" කියන එකට වෙනත් නමක් හොයා ගන්නට සිදු වේවි.''

 

මුදල් හරහා රාජ්‍ය බලය අත්පත් කර ගැනීමේ මෙම ක්‍රියාදාමය නතර කර ගැනීම උදෙසා මැතිවරණ කොමිසමේ හා මැතිවරණ නිරීක්ෂකයන්ගේ ඉල්ලීමක් අනූව සම්මත වූ 2024 අංක 03 දරණ මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනතට විශාල හැකියාවක් ඇති බැවින් ඒ පිළිබඳව විශාල සංවාදයක් මහජනතාව තුළ ඇති කරන ලෙස මන්ත්‍රීවරයා මාධ්‍යයෙන් ඉල්ලා සිටියේය.

 

මහජන නියෝජිතයා දූෂිතයාගේ රූකඩයක් බව පත් වීම ඛේදවාචකයක් ලෙස විග්‍රහ කිරීමෙන් පමණක් ඵලක් නොවන බව පෙන්වා දුන් ඩලස් අලහප්පෙරුම පනතේ ඇති අඩු ලුහුඩුකම් හදා ගනිමින් එය මීළඟ ජනාධිපතිවරණයේ සිට බලාත්මක කරමු යැයි මහජතාවට ආරාධනා කළේය.

මැතිවරණ පවත්වා දින 21 ක් ඇතුලත සමස්ථ වියදමේ සහතික කරන ලද ලේඛනයක්, සෑම අපේක්ෂකයෙකු විසින්ම කොමිසමට ලබා දිය යුතුව ඇති බවත් ඉන් අනතුරුව, දින 10 ක් ඇතුළත එකී සියලු ලේඛන මහජනතාවට විවෘත වන බව කී මන්ත්‍රීවරයා එම තොරතුර සාවද්‍ය නම් දින 42 ක් ඇතුළත අධිකරණයට යා හැකි බව පෙන්වා දුන්නේය.

එක් ඡන්ද දායකයෙකු වෙනුවෙන් අපේක්ෂකයෙකුට වෙන් කළ හැක්කේ රු.20 ක් පමණයි.

පසුගිය ජනාධිපතිවරණයේ දී ප්‍රධාන පක්ෂ දෙකම පිළිවෙළින් රුපියල් මිලියන 1800ක් හා රුපියල් මිලියන 1700 ක් මාධ්‍ය දැන්වීම සඳහා පමණක් වියදම් කොට ඇතැයි ඔහු කියා සිටියේය.

නව නීතිය යටතේ ඕනෑම අපේක්ෂකයෙකුට දැරිය හැකි උපරිම මුදල රුපියල් මිලියන 329 කට පමණ සීමා වන බවත් නව නීතියේ බරපතලකම තේරුම් ගැනීමට මේ උදාහරණය පමණක් ප්‍රමාණවත් බව ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.

 
(චතුරංග මේදිස්)
 

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්