විශ්ව විද්‍යාල අධ්‍යයන කාර්ය මණ්ඩලය හෙවත් ආචාර්යවරුන්ගේ අධ්‍යයන දීමනා සියයට 144 සිට සියයට 209 දක්වා වැඩි කිරීමට

කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග විශ්ව විද්‍යාල උපකුලපතිවරුන්ට හා ආයතනවල අධ්‍යක්ෂවරුන්ට දැනුම් දී ඇත.

කොමිසමේ චක්‍රලේඛ 09/2024 යටතේ අප්‍රේල් 03 දින සහිතව මෙම දැනුම් දීම සිදුකර ඇති අතර ඒ අනුව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ එම අධ්‍යයන දීමනා වැඩි වීම 2024 ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වනු ඇත.

අධ්‍යයන දීමනා වැඩි කිරීම සම්බන්ධයෙන් වූ මෙම තීරණය 2024 මාර්තු 25 දින රැස් වූ කැබිනට් මණ්ඩලය විසින් ගෙන ඇති බවත්, ඒ සම්බන්ධයෙන් දැනුම් දීම මුදල්, ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ නියෝජ්‍ය ලේකම් වරයා විසින් 2024 අප්‍රේල් 03 දින තමාට දැනුම් දුන් බවත් කොමිසමේ සභාපතිවරයා සිය චක්‍ර ලේඛයේ සඳහන් කරයි.


එසේ වුවද 2024 මාර්තු 25 දිනට අදාළ කැබිනට් තීරණ දැනුම් දීමේ සටහනේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ට අධ්‍යයන දීමනා වැඩි කිරීම පිළිබඳව වන යෝජනාවකට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වූ බව සඳහන් වන්නේ නැත.


මෙම අධ්‍යයන දීමනා වැඩි වීම අනුව පරිවාස කාලය ගත කරන විශ්ව විද්‍යාල කථිකාචාර්යවරයෙකුට 1442 කින්ද, කථිකාචාර්යවරයෙකුට 1647 කින්ද, ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය දෙවන ශ්‍රේණියට 1897 කින්ද, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පළමු ශ්‍රේණියට 1897 කින්ද, සහාය මහාචාර්ය වරයෙකුට 1967 කින්ද, මහාචාර්යවරයෙකුට 2037 කින්ද, ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකුට 209% කින්ද අධ්‍යයන දීමනා වැඩි වේ.

මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු විමසීම සඳහා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළද ඔහු දුරකථන ඇමතුමට ප්‍රතිචාර දැක්වූයේ නැත.

විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ ලේකම් ආචාර්ය අතුල සිරි සමරකෝන්ගෙන් මේ පිළිබඳව කළ විමසීමේදී ඔහු පැවසුවේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් රට හැරයෑම වැළැක්වීම සඳහා දිරිමත් කිරීමක් ලෙස මෙම දීමනා වැඩි කිරීම සලකන බවත්, විශ්ව විද්‍යාල වල බිඳ වැටීම නැවැත්වීම සඳහා මීට වඩා ප්‍රයත්නයක් ගත යුතු බවත්ය.

ඔහු ප්‍රකාශ කරන්නේ විශ්ව විද්‍යාල අතහැර යෑම වැඩි වී ඇති බවත්, බඳවා ගැනීම්ද නැවතී ඇති බවත්ය. එසේම මුළු රටම අමාරුවෙන් ජීවත් වන කත්වය තුළ සෑම කෙනෙකුගේම වැටුප් වැඩි විය යුතු බවත්ය.

(anidda.lk -ලසන්ත රුහුණගේ) 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image