ඉදිරි මැතිවරණවලින් සමගි ජන බලවේගය ජය ගන්නවාට බිය ජනාධිපතිවරයා ජනතා විමුක්ති පෙරමුණ දිනනවාට

කැමැත්තක් දක්වන බව විපක්ෂ මන්ත්‍රීවරයකු පවසා තිබේ.

ඒ හරහා යළි රට කඩා වැටී ඔහුට රට පාලනයට යළිත් අවස්ථාවක් ලැබෙන ඇති බවට ජනාධිපතිවරයා සිතනවා ඇතැයි එස්. එම් මරික්කාර් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

“ජනාධිපතිතුමා සමගි ජන බලවේගය දිනනවාට බයයි. සමගි ජන බලවේගයට වඩා එතුමා කැමති ජනතා විමුක්ති පෙරමුණ දිනනවා නම්. මොකද ජනතා විමුක්ති පෙරමුණ දිනුවොත් ආයෙමත් ගෝඨාභය නම්බර් 2 වගේ ආණ්ඩුවක් තමයි හැදෙන්නේ. එතකොට ආයෙමත් මේ රටේ ආර්ථිකය සිස්ටම් එක සම්පූර්ණයෙන්ම කඩන් වැටෙනවා. එතකොට ආයෙ පාරක් චාන්ස් එකක් තියෙනවා කියලා හිතනවද දන්නෑ.”

සමගි ජන බලවේගය සතුව දක්ෂතම කණ්ඩායම සිටින බව මෙන්ම ඔවුන්ට ජාත්‍යන්තරය එක්ක ගනුදෙනු කිරිමේ හැකියාව ඇති බව ද මන්ත්‍රීවරයා අද (22) පැවති මාධ්‍ය හමුවක දී කියා සිටියේය.

“මේ කණ්ඩායම රටේ ආර්ථිකයයි සමාජ වටාපිටාවයි යථා තත්ත්වයට පත් කළහම එතුමාට දේශපාලන අනාගතයක් නැහැ කියන බයට සමගි ජන බලවේගය වෙනුවට ජේවීපී එකට එන්න පාර කපනවද දන්නේ නැහැ.” යැයි මරික්කාර් මන්ත්‍රීවරයා පැවසීය.

ගිය වසරේ ජවිපෙට දුන් එක සජබෙට බෑ කියලා

ගිය වසරේ කොළඹ නගර සභාව ඉදිරිපිට මැයි දින රැළිය පැවැත්වීමට ජනතා විමුක්ති පෙරමුණට අවස්ථාව ලබා දුන්නද මෙවර සජබ මැයි රැළිය පැවැත්වීමට කොළඹ මහ නගර සභාවෙන්  F R. සේනානායක පරිශ්‍රය ඉල්ලා සිටිය ද එයට ලබා නොදීමට කටයුතු කර ඇතැයි මන්ත්‍රීවරයා පැවසිය.

"ගිය වසරේ කොළඹ නගර සභාව ඉදිරිපිට මැයි දින රැලිය පවත්වන්න ජනතා විමුක්ති පෙරමුණට අවස්ථාව ලබා දුන්නා. මෙවර අපි 2024.02.26 වෙනිදා මම ලිඛිත ඉල්ලීමක් කළා කොළඹ මහ නගර සභාවෙන්  F R. සේනානායක පරිශ්‍රය අපට ලබා දෙන්න කියලා,  සමගි ජන බලවේගයේ ප්‍රධාන මැයි රැළිය පවත්වන්න. ඒ අනුව ඔවුන් පොලිසියෙන් නිර්දේශ ඉල්ලලා තිබුණා. ඒ අනුව පොලිසිය තුන්වෙනි මාසයේ 27 වැනිදා නිර්දේශ කර ලබාදීලා තියෙනවා. ඊට පස්සේ මේ අවුරුද්ද සතියේදී කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස්තුමිය කියනවා නගර සභා අවට පරිශ්‍රය කාටවත් දෙන්නේ නැහැ. ඒ නිසා ඔබතුමන්ලාට දෙන්න බැහැ කියලා.”

කෙසේ වෙතත් ඒ අසල ඇති වෙනත් තැනක මැයි රැළිය පැවැත්වීමට ජනතා විමුක්ති පෙරමුණට ලබා දී ඇති බව ද එස්. එම් මරික්කාර් පැවසීය.

“ජනතා විමුක්ති පෙරමුණයි ආණ්ඩුවයි අතර තියෙන ඩීල් එකකින්ද මෙහෙම වෙන්නේ? සමගි ජන බලවේගයට බයවෙලා ඉන්නේ ඇයි?” මන්ත්‍රීවරයා ප්‍රශ්න කරයි.

මේ ආකාරයට කෘතිමව බාධා කරන්නේ සමගි ජන බලවේගයේ ශක්තිය, ග්‍රාමීය ජනතාව සමගි ජන බලවේගය කෙරෙහි තියෙන උනන්දුව, මැයි දිනයේදී වැඩිම ජනතාවක් ගෙනාවහම ඒක ජනතාව දකියි කියන බය නිසා යැයි ද ඔහු කියා සිටියේය.

“ඒගොල්ලෝ දැන් මෙහෙම කඩාකප්පල් කරාට මැතිවරණය කැඳවන්න තව සුමාන දහයක් විතර තමයි තියෙන්නෙ, එදාට මැතිවරණයේදී ජනතාව ඡන්ද පොළට යන එක නවත්තන්න කාටවත් බැහැ. ජනතාව කතිරය ගහන එක නවත්තන්න කාටවත් බැහැ. ඒ හරහා ප්‍රජාතන්ත්‍රවාදය ලබාගන්නා ජයග්‍රහණය නවත්වන්න කාටවත් බැහැ.” යි එස්. එම් මරික්කාර් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
 

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්