දියතලාව, නරියා කන්ද හිදී පැවති "Fox Hill Supercross 2024" මෝටර් රථ ධාවන තරගය අතර වාරයේදී අප්‍රේල් මස 21 වෙනිදා සිදුවූ

අනතුරකින් පුද්ගලයින් 07 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලැබීය.

මියගිය පිරිස අතර වයස අවුරුදු 08ක පමණ දැරියක් ද සිටින බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් රසික කුමාර බීබීසී සිංහල සේවයට පැවසුවේය.

 

වීඩියෝ ශීර්ෂ වැකිය, රෝහල්ගතව සිටින මෝටර්රථ රියදුරන් දෙදෙනෙකු අත්අඩංගුවේ පසුවන බව පොලීසිය පවසයි.

 

"ෆොක්ස් හිල් ට්‍රැක් එක අයිති යුද හමුදාවට. මෙම ධාවන තරගය ශ්‍රී ලංකා ඔටෝ මොබයිල් ක්‍රීඩා සංගමය විසින් සංවිධානය කරන්නේ."

"අනතුරෙන් මිය ගිහින් ඉන්න පිරිස අතර තරගාවලියේ සේවයේ යෙදී සිටිය ට්‍රැක් මාෂල්ස්ලා සිව්දෙනකු වගේම නරඹන්නන් තිදෙනෙකුත් ඉන්නවා."

"එයින් එක් අයෙකු අවුරුදු 08 ක පමණ දැරියක්" යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

අනතුර සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට

සිදු වූ රිය අනතුර සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු මේ වන විට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ එම ෆොක්ස් හිල්-2024 මෝටර් රථ ධාවන තරගයට සහභාගි වූ රියැදුරන් දෙදෙනෙකු බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය බීබීසී සිංහල සේවයට පැවසීය.

එලෙස අත්අඩංගුවට පත්වූ රියැදුරන් දෙදෙනා දියතලාව රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටින අතර ඔවුන් දෙදෙනාව රෝහලට ගොස් පරික්ෂා කිරීමෙන් අනතුරුව බණ්ඩාරවෙල මහේස්ත්‍රාත්වරයා විසින් මෙම මස 30 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළ බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසන ලදී.

අනතුරට හේතුව කුමක්ද ?

 

nariya kandanariya kanda 2
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව පැවසුවේ ධාවන තරගයක් අතර වාරයේදී මෝටර් රථයක් ධාවන මංතීරුවෙන් ඉවතට පැනීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

"ධාවන මංතීරුවෙන් ඉවතට පැන්නා වූ එම මෝටර් රථය තරගාවලියේ සේවයේ යෙදී සිටි නිලධාරීන් සහ නරඹන්නන් පිරිසක් ගැටීමෙන් මෙම අනතුර සිද්ධ වෙලා තිබෙනවා."

"සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයින් 20 දෙනෙක් පමණ ඉන්නවා. ඒ අතරින් තිදෙනෙකුගේ තත්ත්වය බරපතලයි."

"මෙම අනතුර සම්බන්ධයෙන් මේ වන විට දියතලාව පොලිසිය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා." පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

fh 1
'මේක හරිම අවසනාවන්ත සිදුවීමක්'

ෆොක්ස් හිල් 2024 ධාවන තරගය අතර වාරයේ දී සිදුවූ මෙම අනතුර සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් ශ්‍රී ලංකා ඔටෝමොබයිල් ක්‍රීඩා සංගමයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසුවේ මෙය ඉතා අවසනාවන්ත සිදුවීමක් බවයි.

"ඇත්තටම කිව්වොත් මෙතැනදී කාටවත් චෝදනා කරන්න අවශ්‍යතාවයක් නැහැ."

"මේ සිදුවීම හරිම අවාසනාවන්ත දෙයක් කියලයි මට කියන්න තියෙන්නේ."

"එදා ෆොක්ස් හිල් ධාවන තරගයේ සමස්ථ තරග 24ක් පවත්වන්න සුදානම් කරලා තිබුණේ. මේ ධාවන පථයේ මුළු දුර කිලෝමීටර් 1.2ක් වෙනවා. සාමාන්‍යයෙන් ධාවන පථයේ එක වටයක් යන්න තත්ත්පර 55ක වගේ කාලයක් ගත වෙන්නේ."

'මේ අනතුර සිද්ධ වුණේ තරගාවලියේ 18 වන තරග ඉසව්වේදී'

"තරගය ආරම්භ කරලා පළමු වටයේ මීටර් 80 - 100ක් වගේ ගියාම එක් රථයක් අනතුරට ලක්වෙලා ධාවන පථයේ වම් කෙලවරේ තිබුණා. ( මෙම කාර් රථයේ රියැදුරු විසින් ස්ථානීය පරික්ෂාවට පැමිණි බණ්ඩාරවෙල වැඩ බලන මහේස්ත්‍රාත් හමුවේ ප්‍රකාශයක් දෙමින් පැවසුවේ ධාවන තරගය ආරම්භ වී මීටර් 300ක් පමණ දුරක් ගිය පසු තම රථය අනතුරට ලක්වූ බවය.)"

"ඒ පළවෙනි කාර් රථය අනතුරට ලක්වුණාම අපේ ධාවන පථයේ සේවයේ ඉන්න නිලධාරින් ඒ වාහනය ලඟට ගියා ඒ රියදුරුව එළියට ගන්න."

"ඒ වෙද්දීත් ධාවන තරගයට එක්වෙලා හිටිය අනෙක් මෝටර් රථ තමන්ගේ තරගයේ දෙවන ධාවන වටයට පිවිසිලා තිබුණේ."

"ඒ එක්කම අනෙක් ට්‍රැක් මාර්ෂල්ස්ලා ධාවන තරගයේ යෙදී ඉන්න අනෙක් රියැදුරන්ට අනතුරක් සිදුවෙලා කියලා සංඥා කරන ' කහ පැහැති' කොඩිය වනලා සංඥා කරන්න කටයුතු කළා. ඊට පස්සේ රතු පැහැති කොඩිය වනලා සංඥා කරනවා තරගය අත්හිටුවන්න කියලා."

"කොහොම හරි මේ අවස්ථාවේදී ධාවන පථයේ වම් අත පැත්තේ අනතුරට ලක්වී තිබු වාහනය බේරන්න අනෙක් වාහන දකුණු අත පැත්තෙන් ධාවනය කෙරෙනවාත් එක්කම එක ළඟින් පැමිණි වාහන දෙකක් ගැටිලා ලිස්සලා ගිහින් අර යොදලා තිබුණු පස් බැම්ම උඩ ඒකරාශි වෙලා හිටිය නරඹන්නන් ගේ වගේම අපේ නිලධාරීන්ගේ ගැටුණා." එම නිලධාරියා පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එම නිලධාරියා පැවසුවේ පළමු මෝටර් රථය අනතුරට ලක්වීමෙන් පසු තරගය නරඹන්නන් ඔවුන්ට රැඳී සිටීමට වෙන් කර තිබු ස්ථානයෙන් ඉදිරියට පැමිණ ධාවන පථය ආසන්නයට පැමිණීම නිසා අවාසනාවන්ත ලෙස පුද්ගලයින් ජිවිතක්ෂයට පත්වූ බවයි.

"ධාවන පථයේ ඉදලා නරඹන්නන්ට තරගය නරඹන්න අපි අඩි 30ක් දුරින් ආරක්‍ෂිත වැටක් ඉදි කරලා තිබ්බේ."

"එතන වැට ලඟට යුද්ධ හමුදාවෙන් වගේම පොලිසියේ නිලධාරින් ආරක්ෂාවට යොදවලා තිබුණා."

"මේ පළමු කාර් රථය අනතුරට ලක්වුණාට පස්සේ නරඹන්නන්ගෙන් කොටසක් ධාවන පථය ළඟ අර ඉදි කරල තිබ්බ පස් බැම්ම උඩටම ආවා."

"ඒ වෙලාවේදී අර පස් කණ්ඩිය උඩට වෙලා හිටිය අපේ ට්‍රැක් මාර්ෂල්ස්ලා පිටි පස්සෙන් ආපූ තෙරපුමත් එක්ක පස් කන්ඩියෙන් පල්ලෙහට තල්ලු වෙලා ගිහින් තිබුණා."

"ඒ එක්කම තමයි මේ අවසනාවන්ත අනතුර සිද්ධ වුණේ. අර විදිහට නරඹන්නන් එකතු වෙලා පස් කණ්ඩිය උඩට වෙලා හිටියේ නැත්නම් මේ වගේ මිනිස් ජිවිත හානි වෙන්නේ නැහැ." ඔහු පැවසුවේය.

 

fh 2
අනතුරේ දර්ශන සමාජ මාධ්‍යය දර්ශන

මේ අතර සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් ෆේස්බුක් ඔස්සේ වීඩියෝ කිහිපයක් ම පළ වී තිබේ.

එහි එක් වීඩියෝවක දැක්වෙන්නේ එක් මෝටර් රථයක් ධාවන තරගය අතරවාරයේදී ධාවන පථයේ දී අනතුරට ලක්වී තිබිය දී ධාවන තරගයේ සේවයට යොදවා සිටි නිලධාරින් පිරිසක් එහි රියැදුරු පිටතට ගැනීමට යුහුසුළුව සිටින ආකාරයයි.

එම අවස්ථාවේ දී පැවැත්වෙමින් තිබූ ධාවන තරගයට එක් වී සිටි මෝටර් රථ කිහිපයක් එම අනතුර සිදුවූ ස්ථානය පසුකර යනවාත් සමගම එක් මෝටර් රථයක් නරඹන්නන් අතරට කඩා වැදෙන අයුරු එම වීඩියෝවේ සටහන්ව ඇත.

අනතුරට ලක්වූ පළමු රථයේ රියදුරු කියූ කතාව

මේ අතර පළමුවෙන් අනතුරට ලක් වූ මෝටර් රථයේ රියැදුරු ධාවන පථයේ ස්ථානීය පරික්ෂාවට පැමිණි වැඩබලන මහේස්ත්‍රාත් හමුවේ ප්‍රකාශයක් ලබා දෙමින් මෙලෙස පවසා තිබුණි.

"තරගය පටන් අරගෙන මීටර් 300ක් වගේ දුරක් එද්දී වම් පැත්තේ වාහනේට ඉස්සරහ කරන්න යද්දී මගේ වාහනේ ඒ වාහනේ පිටි පස්සේ වැදිලා පෙරළුනා ටයර් 04ම උඩට තියෙන විදිහට."

"ඒ එක්කම අනිත් පැත්තෙන් කෙනෙක් ඇවිල්ලා මාව වාහනෙන් එළියට ගන්න උත්සාහ කළා. දොර හිරවෙලා."

"ඒ වෙද්දීත් මට ඇහෙනවා රේස් එක කන්ටිනියු වෙනවා. මට දැනුණා මොකක් හරි දෙයක් වුනොත් ඩැමේජ් එක වැඩි වෙන නිසා මම කාර් එක අනෙක් පැත්තෙන් රිංගලා එළියට එන්න හදනකොට මගෙ හෙල්මට් එක සයිඩ් එකෙන් මම දැක්කා අර හැප්පිච්ච කාර් දෙක රෝල් වී ගෙන එනවා."

"සමහර විට ඒ වාහන දෙකට ටිකක් ඈත ඉදලා මොකක් හරි දෙයක් වෙලා තියෙන්න ඕන."

"මගේ වාහනේ අනතුරට ලක්වෙලා දෙවනි ලැප් එකේ වාහන කිහිපයක් මෙතන පහුකරන් ගියත් මැද්දට වෙන්න ආපු වාහන දෙක තමයි මේ විදිහට ට්‍රැක් එකේ පෙරලිලා වගේ එනවා මම දැක්කේ." එම රියැදුරා වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවේ ප්‍රකාශයක් ලබා දෙමින් පැවසීය.

 

fh 3

නරඹන්නන්ට ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබා දුන්නාද ?

ෆොක්ස් හිල් 2024 තරගාවලිය නැරඹීමට පැමිණි නරඹන්නන් සඳහා ප්‍රමාණවත් ආරක්ෂාවක් සැපයීමට තරග සංවිධායකවරුන් අපොහොසත් වූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල වන චෝදනා සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය ශ්‍රී ලංකා ඔටෝ මොබයිල් ක්‍රීඩා සංගමයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියාගෙන් වීමසීමක් සිදු කරන ලදී.

එහිදී ඔහු පැවසුවේ පෙර පැවති ෆොක්ස් හිල් ධාවන තරගාවලිවලට සාපේක්ෂව මෙවර තරගාවලියේදී නරඹන්නන්ගේ ආරක්ෂාව වෙනුවෙන් වැඩි අවධානයක් තරග සංවිධායකයින් විසින් යොමු කර තිබූ බවයි.

" අපේ හැම ප්‍රවේශ පත්‍රයකම අපි මුද්‍රණය කරලා තිබුණා මෝටර් රථ ධාවන තරගාවලියක් කියන්නේ අනතුරක් සිදුවෙන්න පුළුවන් නිසා අවධානයෙන් ඉන්න කියලා."

"ඒ එක්කම අපි තරගය පැවැත්වෙන ධාවන පථය දෙපැත්තේ අඩි 04ක් උසට පස් බැම්මක් හදලා තිබ්බේ. ටයර් වලින් ආරක්ෂිත වැටක් හදනවට වඩා මේක ආරක්ෂිතයි."

"තරගය නරඹන්න ආපු ජනතාවට ධාවන පථයේ ඉදලා අඩි 30ක් පිටි පස්සට වෙන්න ආරක්‍ෂිත වැටක් හදලා තිබ්බේ ඔවුන්ට අනතුරක් නොවෙන්න. "

"නමුත් එතැන දී සිද්ධ වුණේ මම අර කලින් කියපු විදිහට ජනතාව ධාවන පථය ලඟට ඒකරාශී වීමයි." ඔහු පැවසුවේය.

ෆොක්ස් හිල් ධාවන තරගාවලිය යනු කුමක්ද?

 

fh 5

මෙවර පැවති ෆොක්ස් හිල් ධාවන තරගාවලියේ පුර්ව ප්‍රචාරක දැන්වීම් සඳහා සංවිධායකවරුන් "ත්‍රාසයෙන් වික්ෂිප්තයට" යන තේමා පාඨය යොදා තිබුණි. (Facebook)

 

ශ්‍රී ලංකා ඔටෝ මොබයිල් ක්‍රීඩා සංගමය විසින් සංවිධාන කරනු ලබන මෙම මෝටර් රථ ධාවන තරගය සෑම වසරකම අප්‍රේල් මාසයේදී පවත්වනු ලබන ප්‍රධාන පෙළේ ධාවන තරගාවලියක් වේ.

මෙම ධාවන තරගාවලිය පළමු වරට සංවිධානය කෙරුණේ 1993 වර්ෂයේ දීය.

මෙවර පැවති ෆොක්ස් හිල් ධාවන තරගාවලියේ පුර්ව ප්‍රචාරක දැන්වීම් සඳහා සංවිධායකවරුන් "ත්‍රාසයෙන් වික්ෂිප්තයට" යන තේමා පාඨය යොදා තිබුණි.

(BBC සිංහල සේවය)


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්