පසුගිය වසර දෙකක, එනම්, 2022 සහ 2023 වසර දෙක තුළ ශ්‍රී ලාංකිකයින් 2,565,365 දෙනෙකු විවිධ හේතු මත රට හැර ගොස්

ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්තුමය වාර්තාවලින් තහවුරු වී තිබේ.

එම සංඛ්‍යා ලේඛන අනුව, 2022 වසරේදී ශ්‍රී ලාංකිකයින් 1,127,758 දෙනෙකු සහ 2023 වසරේදී ශ්‍රී ලාංකිකයින් 1,437,607 දෙනෙකු විදේශ රටවලට සංක්‍රමණය වී ඇත.

'රැකියා සඳහා විදේශගත වී ඇත්තේ 24%ක් පමණයි'

සංඛ්‍යා ලේඛනවල දැක්වෙන පරිදි 2022 සහ 2023 වසරවලදී රැකියා සඳහා විදෙස්ගත වී ඇත්තේ, සමස්ත විදේශගත වූවන්ගෙන් 24%ක් පමණි. එනම්, ශ්‍රී ලාංකිකයින් 608,925 දෙනෙකි.

ඒ, 2022 වසරේදී 311,269 දෙනෙකු සහ 2023 වසරේදී 297,656 දෙනෙකු වශයෙනි.

මෙම දත්ත අනුව, 2022 වසරේදී රැකියා සඳහා විදෙස් රටවලට සංක්‍රමණය වූ ශ්‍රී ලාංකිකයින්ගේ මාසික සාමාන්‍යය 25,939 දෙනෙකි.

2023 වසරේදී එම සාමාන්‍යය මසකට 24,805 දෙනෙකි.

2023 වසරේදී විදේශ රටවලට සංක්‍රමණය වූවන්ගෙන් 70%ක් කුසලතා සහ වෘත්තීය සුදුසුකම් සහිත ශ්‍රමිකයින් බව සංඛ්‍යා ලේඛනවලින් තහවුරු වේ.

2022 සහ 2023 වසරවලදී විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් ශ්‍රී ලංකාවට ලැබුණු විදේශ විනිමය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද කාර්තුමය වාර්තා අනුව 2022 සහ 2023 වසරවලදී විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් විසින් ශ්‍රී ලංකාවට එවන ලද විදේශ විනිමය ප්‍රමාණය සැලකිය යුතු මට්ටමකින් ඉහළ ගොස් තිබේ.

ඒ අනුව, 2022 වසරේදී පමණක් විදෙස්ගත ශ්‍රමිකයින් විසින් ශ්‍රී ලංකාවට එවන ලද විදේශ විනිමය ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 3,789.4කි.

ඉන් වැඩි ම ප්‍රමාණයක් කුවේට් රාජ්‍යයේ සේවය කරන ශ්‍රී ලාංකිකයින් විසින් එවනු ලැබූ අතර, සංඛ්‍යාත්මකව එම මුදල, අමෙරිකානු ඩොලර් මිලියන 139.7කි.

කටාර් (අමෙරිකානු ඩොලර් මිලියන 131.9), සෞදි අරාබිය (අමෙරිකානු ඩොලර් මිලියන 106.8), එක්සත් අරාබි එමීර් රාජ්‍යය (අමෙරිකානු ඩොලර් මිලියන 103.6) සහ දකුණු කොරියාව (අමෙරිකානු ඩොලර් මිලියන 89) ශ්‍රී ලංකාවට 2022 වසරේදී වැඩි ම විදේශ විනිමය ප්‍රමාණයක් එවූ රටවල් වේ.

ඊට අමතරව, 2023 වසරේදී විදෙස්ගත ශ්‍රමිකයින් විසින් අමෙරිකානු ඩොලර් මිලියන 5,969.6ක් ශ්‍රී ලංකාවට එවා ති‌බේ.

එහිදී ද, වැඩි ම විදේශ විනිමය ප්‍රමාණයක් එවා ඇත්තේ, කුවේට් රාජ්‍යයේ සිට ය. 2022 වසරට සාපේක්ෂව එහි සැලකිය යුතු වර්ධනයක් දක්නට ලැබෙන අතර, සංඛ්‍යාත්මකව එම මුදල අමෙරිකානු ඩොලර් මිලියන 170.9කි.

2023 වසරේදී ශ්‍රී ලංකාවට වැඩි විදේශ විනිමය ප්‍රමාණයක් එවූ රටවල් අතර කටාර් (අමෙරිකානු ඩොලර් මිලියන 156.9), එක්සත් අරාබි එමීර් රාජ්‍යය (අමෙරිකානු ඩොලර් මිලියන 155), සෞදි අරාබිය (අමෙරිකානු ඩොලර් මිලියන 154.9) ද සිටී.

ඒ අනුව, එම වසර දෙක තුළදී විදෙස්ගත ශ්‍රමිකයින් විසින් ශ්‍රී ලංකාවට එවන ලද විදේශ විනිමය ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 9,759කි.

Sri Lankens

2023 විශේෂත්වයක්

2023 වසරේදී විදේශගත ශ්‍රමිකයින්ගෙන් ලැබුණු විදේශ විනිමය විශ්ලේෂණය කිරීමේදී සුවිශේෂී තත්ත්වයක් දක්නට ලැබේ.

එම විශේෂත්වය වන්නේ, අමෙරිකාවෙන් ඩොලර් මිලියන 132.8ක විදේශ විනිමය සහ බ්‍රිතාන්‍යයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 102.7ක විදේශ විනිමය ශ්‍රී ලංකාවට ලැබීම ය.

එම වසරේදී කුසලතා සහ වෘත්තීය සුදුසුකම් සහිත ශ්‍රමිකයින් එම රටවලට වැඩි වශයෙන් සංක්‍රමණය වීම ඊට හේතු විය හැකි ය.

මේ අතර, 2022 වසරට සාපේක්ෂව විදෙස්ගත ශ්‍රමිකයින් හරහා 2023 වසරේදී ශ්‍රී ලංකාවට ලැබී ඇති විදේශ විනිමය ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 2,180.2කින් ඉහළ ගොස් තිබීම ද විශේෂත්වයකි.


කුසලතා සහිත ශ්‍රමිකයින් විදේශගත වීමේ වාසි සහ අවාසි

කුසලතා සහිත ශ්‍රමිකයින් විදේශගත වීම හරහා ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටකට කෙටි කාලීන අවාසි ඇති වුව ද, දිගු කාලීන වාසි ඇති වන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ බීබීසී සිංහල සේවයට පැවසීය.

ඔහු ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල සුවිශේෂී සේවාවන් සඳහා විශේෂඥයින්ගේ හිඟයක් පවතින හෙයින් එවැනි විශේෂඥයින් විදේශගත වීමෙන් තාවකාලිකව අවාසි ඇති විය හැකි බව ය.

"ඒ වගේ අවස්ථාවක විශේෂඥයින් බිහි කර ගන්න සැලකිය යුතු කාලයක් ගත වෙනවා. ඒ නිසා ඒ ක්ෂේත්‍රවලට ලොකු බලපෑමක් ඇති වෙන්න පුළුවන්," මහාචාර්ය වසන්ත අතුකෝරළ සඳහන් කළේ ය.

එහෙත්, ශ්‍රමිකයින් තාවකාලිකව විදේශගත වීම හරහා දීර්ඝ කාලීනව ධනාත්මක බලපෑමක් ඇති විය හැකි බව ඔහු පෙන්වා දුන්නේ ය.

"කුසලතා සහිත ශ්‍රමිකයින් විදෙස්ගත වුණා ම ඔවුන් ඒ රටවල සේවය කරලා ලබන අත්දැකීම්, ආකල්ප සහ පළපුරුද්ද ගොඩක් වැදගත්. ඒ දැනුම, පළපුරුද්ද සහ ආකල්ප එක්ක ආයෙත් ඒගොල්ලො මේ රටට ආවා ම මේ රටේ විවිධ වෘත්තීන්වල සැලකිය යුතු වර්ධනයක් ඇති වෙන්න පුළුවන්. මේ විදෙස්ගත වන ගොඩක් අය තාවකාලිකව යන අය නිසා ඒ අය ආයෙත් මේ රටට එන්න තියෙන ඉඩකඩ වැඩියි. රට නැවත ආර්ථික වශයෙන් ගොඩ නැගුණොත් ඔවුන් අනිවාර්යයෙන් ම ආයෙත් ඒවි," මහාචාර්ය වසන්ත අතුකෝරළ පැවසීය.

(BBC සිංහල සේවය)

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්