හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට පක්ෂය තවදුරටත් ඉදිරියට ගෙනයා හැකි බවට විශ්වාසයක් පක්ෂයේ සාමාජිකයන් තුළ නොමැති බවත් ඔහු

කෙරෙහි පක්ෂයේ සාමාජිකයන් තුළ තිබූ විශ්වාසය ඔහු විසින්ම මේ වනවිට මුළුමනින්ම අහිමි කරගෙන ඇති බවත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් සහ ශ්‍රී  ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති  තිලංග සුමතිපාල පැවසීය.

අධිකරණ අමාත්‍යවරයාට අධිකරණයෙන්ම වාරණ නියෝගයක් පැනවීම දෛවයේ සරදමක් බවත්, අධිකරණ අමාත්‍යවරයා පිළිබඳව රටේ ජනතාව තුළ දැඩි අවිශ්වාසයක් ඊයේ (24) දිනයේ ගොඩනැගුණු බවත් ඔහු කියා සිටියේය.

තමන්ගේ බලය සහ ශක්තිය අයුතු ලෙස යොදාගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති ධුරයට නීත්‍යානුකූල නොවන අයුරින් පත්වීම හේතුවෙන් විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයාට අධිකරණයෙන්ම වාරණ නියෝගයක් නිකුත්වීම එතුමාගේ තනතුරටත්, දේශපාලනයටත් කැළලක් බවද තිලංග සුමතිපාල පැවසිය.

 අධිකරණ ඇමතිවරයා නීති විරෝධී ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති ධුරයට පත්වීමට එරෙහිව වාරණ නියෝගයක් නිකුත් කිරීමත්, ඔහු මේ වනවිට ඉබි යතුරු දමා තිබෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට බලෙන් ඇතුළුවීමට උත්සාහ කිරීම පොලීසිය විසින් වැළැක්වීමත්, රටේ නීතියේ ආධිපත්‍යය සුරකින අධිකරණයේ සහ නීතිය ක්‍රියාත්මක කරන පොලිසියේ ස්වාධීනත්වය රට හමුවේ තහවුරු කළ සුවිශේෂී අවස්ථාවක් බවත් ප්‍රධාන ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

තිලංග සුමතිපාල මේබව කියා සිටියේ, කොළඹ 10, ඩාර්ලි පාරේ පිහිටි එක්සත් ජනතා නිදහස් සන්ධාන ප්‍රධාන කාර්යාලයේදී ඊයේ (අප්‍රේල් 24) විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමිනි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නීතිය පිළිබඳ නිසි හැඟීමක් නොමැතිව හිතුමතේ තීරණ ගනිමින් අද වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විශාල වශයෙන් පහතට ඇදදමා ඇති බවත්, ඔහු එවැනි අත්තනෝමතික තීරණ ගැනීම පිළිබඳ තමන් ඇතුළුව පක්ෂයට ආදරය කරන සියලු දෙනා දැඩි ලෙස කනගාටුවටත් කම්පනයටත් පත්ව සිටින බවද තිලංග සුමතිපාල මෙහිදී සඳහන් කළේය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ට පක්ෂය තවදුරටත් ඉදිරියට ගෙනයා හැකි බවට විශ්වාසයක් පක්ෂයේ සාමාජිකයන් තුළ නොමැති බවත් ඔහු කෙරෙහි පක්ෂයේ සාමාජිකයන් තුළ තිබූ විශ්වාසය ඔහු විසින්ම මේ වනවිට මුළුමනින්ම අහිමි කරගෙන ඇති බවද ප්‍රධාන ලේකම්වරයා සඳහන් කළේය.


ආරවුල විසඳාගන්න අද විශේෂ හමුවක්


පක්ෂය වර්තමානයේ පත්ව සිටින තත්ත්වයෙන් මුදවා ගැනීමට සදහා ගත යුතු  ඉදිරි ක්‍රියාමාර්ග පිළිබද සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, පළාත් සභා මන්ත්‍රීවරු, ආසන සංවිධායකවරු ඇතුළු පක්ෂයට ආදරය කරන සියලුදෙනාට 2024 අප්‍රේල් 25 වැනි දින එක්සත් ජනතා නිදහස් සන්ධාන ප්‍රධාන කාර්යාලය වෙත ඇරයුම් කර ඇති බවත්, සියලු වාද භේද අමතක කර පක්ෂයේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් සියලුදෙනා ඒ සදහා එක්වනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවත් තිලංග සුමතිපාල මෙහිදී පැවසිය.

මෙම විශේෂ හමුව අද (25) පස්වරු 3.00ට කොළඹ 10  ටී බී ජයා මාවතේ පිහිටි එක්සත් ජනතා නිදහස් සන්ධාන  ප්‍රධාන කාර්යාලයේ  දී පැවැත්වෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් තිලංග සුමතිපාල වැඩිදුරටත් කියා සිටියේය.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්