මිලියන 6කට ආසන්න අවිධිමත් අංශයේ ශ්‍රම බලකායේ ජීවන තත්වය යහපත් කරන ලෙස ඉල්ලා සිටිමින් මෙවර ලෝක කම්කරු දින සමරන බව 'ප්‍රොටෙක්ට් සංගමය' නිවේදනය කරයි.


අනෙකුත් වෘත්තීය සමිති සමග සාමූහික මැයි රැළියක් සහ නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍රකර ගනිමින් පා ගමනක් සහ රැළියක් හැටන් නගරයේදී පවත්වන බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.

“අවිධිමත් අංශයේ කම්කරුවන් සඳහා සමාජ ආරක්ෂණ වැඩපිළිවෙලක් සකස් කරනු ! ගෘහස්ථ කම්කරුවන් සඳහා කම්කරු නීති සකස් කර යහපත් රැකියා කොන්දේසි තහවුරු කරනු ! අවිධිමත් අංශයේ රැකියාවල නියුතු වූවන් සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකසනු! සංක්‍රමණික කම්කරුවන්ද කම්කරුවන්, සංක්‍රමණික කම්කරුවන්ගේ අයිතිවාසිකම් තහවුරු කරනු!”

ඉහත සටන් පාඨ ඔස්සේ මෙවර අවිධිමත් අංශයේ මැයි දිනය සමරන බවයි ප්‍රොටෙක්ට් සංගමය පවසන්නේ.

ඒ සම්බන්ධව ප්‍රොටෙක්ට් සංගමයේ කල්ප මධුරංග නිකුත් කරන ලද සම්පුර්ණ නිවේදනය පහතින්,

අමාතයවරයා ඉල්ලීම් නොදුන්නොත් ගන්නා ක්‍රියාමාර්ග සැලසුම් කරන මැයි දිනය මෙයයි...

මැයි පළමු වෙනිදා රට පුරා මැයි දින රැළි, පා ගමන් සහ විවිධ සංදර්ශන විවිධ වර්ණයන්ගෙන් දක්නට ලැබේ. රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ තමන්ගේ දේශපාලන හයිකාරකම පෙන්නන දිනයක් විනා එය කම්කරුවන්ගේ දිනයක් ලෙස හෝ එම කම්කරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් වන සටන් තීව්‍ර කරන දිනයක් ලෙස සිතමින් ක්‍රියාකරනු ඇති සිතීමම විහිළුවක් වී ඇත. 

කෙසේ වුවද මේ ආකාරයේ කම්කරු මැයි දින සැමරුම් බොහොමයක් අපට දක්නට ලැබෙන්නේ ශ්‍රම බලකායේ විධිමත් නොඑසේ නම් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති මැදිහත් වීමෙනි. 

නමුත් මේ තත්ත්වය වෙනස් කරමින් මෙරට අවිධිමත් අංශය නියෝජනය කරන ගොවියන්, ධීවරයින් සහ ගෘහ සේවකයින් ඇතුළු අවිධිමත් අංශයේ කම්කරුවන් මැයි දින රැළි පවත්වන සහ පැවැත්වෙන රැළි සමග අත්වැල් බැඳ ගන්නා ප්‍රවනතාවයක් දක්නට ඇත. මෙහිදී අමතක කළ නොහැකි කාරණය නම් ලංකාවේ කම්කරු ව්‍යාපාරයේ මුල් කාලින වර්ජන සහ සටන් බොහොමයක් සංවිධානය කරන ලද්දේ අවිධිමත් අංශය බවයි. කරත්ත කරුවන්ගේ වර්ජනය වැනි වර්ජන මින් සුවිශේෂී වේ.

ශ්‍රී ලංකාවේ කම්කරු අමාත්‍යංශය, දෙපාර්තමේන්තුව සහ ඊට අදාළ බළධාරීන් රටේ සමස්ත ශ්‍රම බලකායෙන් බහුතරය නියෝජනය කරන අවිධිමත් අංශයට  සමාජ ආරක්ෂණ වැඩපිළිවෙලක් හෝ සකස් කිරීමට අසමත් වී ඇත. මේ රටේ අවිධිමත් අංශය සමස්ත ශ්‍රම බලකායෙන්  65%ක් ඉක්මවයි. විධිමත් අංශය එනම් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ රැකියාවල නියුතු වන පිරිස් භුක්ති විඳින විධිමත් වැටුප් ක්‍රමයක් , විශ්‍රාම වැටුප් ක්‍රමයක්, රැකියාවේ අයිතිවාසිකම් හා වරප්‍රසාද, ආරක්ෂණ නීති කිසිවක් මේ අවිධිමත් අංශයට හිමි නැත.

එම නිසා ප්‍රොටෙක්ට් සංගමය විසින් මෙවර ද අවිධිමත් අංශයේ කම්කරුවන්ගේ අයිතිවාසිකම් දිනා ගැනීම උදෙසා වන සටන් පාට ඔස්සේ ජාත්‍යන්තර කම්කරු දිනය අර්ථවත් කිරීමට උත්සාහ දරයි. මෙහිදී අනෙකුත් වෘත්තීය සමිති සමග සාමූහික මයි රැළියක් සහ නුවර එළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් පා ගමනක් සහ රැළියක් හැටන් නගරයේදී පවත්වනු ඇත. එහි ප්‍රධාන සටන් පාට පහත පරිදි වේ.


* අවිධිමත් අංශයේ කම්කරුවන් සඳහා සමාජ ආරක්ෂණ වැඩපිළිවෙලක් සකස් කරනු !

* ගෘහස්ථ කම්කරුවන් සඳහා කම්කරු නීති සකස් කර යහපත් රැකියා කොන්දේසි තහවුරු කරනු !

* අවිධිමත් අංශයේ රැකියාවල නියුතු වූවන් සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකසනු!

* සංක්‍රමණික කම්කරුවන්ද කම්කරුවන්, සංක්‍රමණික කම්කරුවන්ගේ අයිතිවාසිකම් තහවුරු කරනු!

 

වසර ගණනාවක් තිස්සේ මෙම ඉල්ලීම් සඳහා රජයෙන්, අමාත්‍යවරුන්ගෙන් විසඳුම් ඉල්ලමින් සිටී. නමුත් ලැබුනේ ඇමතිවරුන්ගේ සාම්ප්‍රදායික පොරොන්දු පමණකි. එම පොරොන්දුව සඳහාද දැන් වසරකට ආසන්න කාලයක් ගත වී ඇත. 2020 වසරේදී හිටපු කම්කරු අමත්‍යවරයා නිමල් සිරිපාල ලබා දුන් බොරු පොරොන්දු පිළිබඳව සහ එම අමාත්‍යවරයාව ජනතාව විසින් ප්‍රතික්ෂේප කරනා ආකාරය පිළිබඳව අප මනුෂ නානායක්කාර අමාත්‍යවරයාට පැහැදිළි කොට ඇත. 

අවසන් වරට කම්කරු අමාත්‍ය මනුෂ නානායක්කාර ගෘහස්ථ කම්කරුවන් සඳහා කම්කරු නීති සකස් කරන බවටත්, අවිධිමත් අංශය සඳහා සමාජ ආරක්ෂණ වැඩපිළිවෙලක් සකස් කරන බවටත් පොරොන්දු විය. ඔහු ඉන් නොනැවතී මේ මොහොතේත් රට පුරා එම පොරොන්දුවම ලබා පුනරුච්චාරණය දෙමින් සිටී. අප සංගමයේ සාමාජිකයින්ද අමාත්‍යවරයාට එක් දෙයක් පුන පුනා කියා ඇත. එනම් මෙවර වෙනදා මෙන් පොරොන්දු වලට මෙරට අවිධිමත් අංශයේ කම්කරුවන් නොරැවටෙන බව කම්කරු අමාත්‍යංශයේ ශ්‍රවණාගාරයේ දීම අමාත්‍යවරයාට කම්කරුවන් විසින් පොරොන්දු විය. එම නිසා අමාත්‍යවරයා දැන් එම පොරොන්දු ඉටු කල යුතුව ඇත. 

මිලියන 6කට ආසන්න අවිධිමත් අංශයේ ශ්‍රම බලකායේ  ජීවන තත්වයක් යහපත් කරන ඉල්ලීම් අප ඉල්ලමින් සිටිමු. අපගේ ඉල්ලීම්, තවත් එක් පාලකයෙක් ගෙන ඒමට දරණ වෑයමේ දී අපට ලබා දෙන කැරට් අල බවට පත් කිරීමට අප කිසිසේත් ඉඩ දෙන්නේ නැත. මක් නිසාද මෙවර අපගේ මැයි  දිනය යනු ඉල්ලීම් නොදුනහොත් ගන්නා ක්‍රියා මාර්ග සැලසුම් කරන සහ තහවුරු කරන මැයි දිනය නිසාවෙනි.

 (ප්‍රොටෙක්ට් සංගමය) 

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්