බොරු කතා කිය කිය කට්ටි පැන නොයන ලෙසත් ඕනෑම විවාදයකට තමා සූදානම් බැවින් බොරු රැස්වීම් ජනතාවට පෙන්වා ජනතාව ඇන්දවීම සිදු නොකරණ ලෙසත් විපක්ෂ නායකවරයා පවසයි.


සමගි ජනබලවේගයේ ආර්ථික කමිටුව සහ ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටුවත් තමා සහ අනුර කුමාර දිසානායක අතරත් වන විවාදයට සූදානම් බවත් ඒ සදහා නීතීඥ මණ්ඩලයට මැදිහත් වී එම විවාද දෙක මැයි මාසයේ පවත්වන ලෙසයි සජිත් ප්‍රේමදාස ඉල්ලා සිටින්නේ.

රටට වෙනසක් අවශ්‍ය බැවින් බංකොලොත් රටේ දැන්වත් මුසාවට මුලාවට කයිවාරුවට සෝබනයට විජ්ඡාවට නොරැවටිය යුතු බව අවධාරණය කරන සජබ නායකයා වාදවිවාද කරනවා සේම රටට වැඩ කළ යුතු යැයි පවසයි.

 

විවාදය දිනුවත් පැරදුනත් සමසමව සිටියත් අවසානයේ එමගින් නිර්මාණය වන හරාත්මක ගුණාත්මක අදහස් මහපොළොවේ යථාර්ථයක් විය යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.

 

එය නියමිත කාලයකට අනුව සිදුවිය යුතු බවත් රටේ ගැටලුවලට විසදුම් අවශ්‍ය බැවින් වාදවිවාද මෙන්ම ජනතාවට විසදුම් අවශ්‍ය නිසාවෙන් වාදවිවාදවලින් පැන නොයා යුතු බවයි විපක්ෂ නායක පවසන්නේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේ 'සක්වල සුහුරු පන්ති' කාමර ලබා දීමේ වැඩසටහනේ 165 වැනි අදියර යටතේ ඊයේ (27)  ගම්පහ අත්තනගල්ල උඩුගහ වල්පොළ ඒකාබද්ධ විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙම පාසලේ අමතර වියදම් වෙනුවෙන් පාසල් සංවර්ධන සමිතියට රුපියල් ලක්ෂයක මුදලක් ද පරිත්‍යාග කළේය.

ජනාධිපතිවරයාගේ මස්සිනාගේ පුවත්පත් හරහා බොරු කියනවා

මාධ්‍ය නිදහස කොන්දේසි විරහිතව රැකිය යුතුය පවසන විපක්ෂ නායකවරයා මාධ්‍ය නිදහස් භාවිත කර විවිධ කණ්ඩායම් බොරු ප්‍රවෘත්ති නිර්මාණය කරන බව කියා සිටියේය.

ජනාධිපතිවරයාගේ මස්සිනාගේ පුවත්පත් හරහා තමා ඉරාන ජනාධිපති හමුව තමා ප්‍රතික්ෂේප කළ බවට බොරු කියන බවත් තමා ඔහුව හමුවන්න සූදානම් බවට කිව්වත් ඔහු කාර්යබහුල නිසා හමුවීමට නොහැකි වු බව පැවසීය.

 

තමා ඉරාන ජනාධිපතිවරයාගේ භෝජන සංග්‍රහය ප්‍රතික්ෂේප කළේ එහි ඡායාරූප උපයෝගී කරගෙන සජිත් සහ රනිල් ඩීල් කියා බොරු පුවත් මවන නිසා බව පවසන සජබ නායකයා, ඉරාන ජනාධිපති හමුව නොව වත්මන් ජනාධිපතිවරයා ඉදිරියේ ඔහු හමුවීම පමණක් ප්‍රතික්ෂේප කළ බව සඳහන් කළේය.

 

කොරෝනා සමයේ ආදාහනයද භූමදානයද කියන ගැටලුව මතුවු අවස්ථාවේ පාරට බැස්සේ සමගි ජන බලවේගය බවත් ඒ වකවානුවේ බොරු රූකඩ නායකයන් සිටියත් ඔවුන් එය ගනන් නොගෙන සිටි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් කියා සිටියේය.

 (චතුරංග මේදිස්)

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්