රට අද මුහුණ පා සිටින අර්බුදයෙන් ගොඩගත හැක්කේ අත්දැකීම් ඇති පරිණත නායකයෙකුට පමණක් බැවින් අත්දැකීම් නොමැති අලුත් අයට රට

භාර දෙන්න හිතන්නවත් එපා යැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග ජනතාවගෙන් ඉල්ලයි.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට පක්ෂය සුදානම් වනවිට තමන් ඊට විරුද්ධ වූ බවත් එහෙත් පොහොට්ටුව ඊට කන්නොදුන් බවත් රණතුංග කියා සිටියි.

රනිල් ජනාධිපති කළේ පොහොට්ටුවේ නායකයින් මිස තමන් ඇතුළු පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් නොවන බව පෙන්වා දුන් ඇමතිවරයා තමන් ඇතුළු පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් කළේ ඊට සහාය ලබා දීම බවද කියයි.

තමන් රනිල්ට කඩේ නොයන බවත් තමන් කඩේ යන්නේ මේ රටේ ජනතාවට පමණක් බවද ඇමතිවරයා වැඩිදුරටත් අවධාරණය කරයි.

ඔහු එබව කියා සිටියේ, උඩුගම්පලදී අද (30) පැවැති රැස්වීමකට සහභාගී වෙමිනි.

පවතින දේශපාලන තත්ත්වය පැහැදිලි කිරීම සඳහා රැස්වීම කැඳවා තිබු එම රැස්වීමේ දී ඇමතිවරයා වැඩිදුරටත් මෙසේද පැවසිය.

අත්දැකීම් නැති ජවිපෙ රට විනාශ කළා....

“71 සිරිමාවෝ මැතිණිය ආණ්ඩුව ලබා ගත්තට පස්සේ වාමාංශික දේශපාලන පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුණ කැරලි ගහලා එදා ආණ්ඩුව වට්ටන්නත් කටයුතු කළා. එදා ඔවුන් ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා එක්ක එකතු වුණා. එකතු වෙලා ජේ.ආර්. ජයවර්ධනගේ ආණ්ඩුවක් පිහිටුවන්න කටයුතු කළා. ජේ.ආර්. ජයවර්ධනගේ ආණ්ඩුව කාලේ ඉන්දිය හමුදාව ගෙන්නපුවම ජේ.ආර්. ට විරුද්ධ වෙලා ඒක නිදහසට කාරණාවක් කරගෙන ප්‍රේමදාස මහත්තයාව දිනවන්න උදව් කළා. ප්‍රේමදාස මහත්තයා එක්ක ඩීල් එක කරලා ඉවර වෙලා. 88/89 මැතිවරණ කාලය වනවිට මේ රටේ ඇති වූ භීෂණය ගැන මේ රටේ මිනිස්සු දන්නවා. ඊට පස්සේ මැතිවරණයේදී චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය දිනවන්න කටයුතු කළා. ඔවුන් ඒ ආණ්ඩුවේ ඇමතිකම් පවා අරගෙන කටයුතු කළා. ඊට පස්සේ මහින්ද මහත්තයා දිනවන්නත් කටයුතු කළා. එහෙම කරපු අයගේ ඉතිහාසය දිහා බලපුවාම 71 කැරැල්ල, 83 කළු ජූලිය, 88/89 කාලයේ රටේ ඇතිවූ භීෂණ යුගය වැනි කාල වලදී රාජ්‍ය දේපල විනාශ කරලා, මිනිස්සු ඝාතනය කලා, ඔවුන්ගේ ක්‍රියාකලාපය රටේ ආර්ථිකය කඩා වැටීමට හේතුවක් වුණා.

ඊට පස්සේ සුනාමිය, කොවිඩ් වසංගතය එක්ක අපේ රටේ ආර්ථිකය මේ තත්ත්වයට වැටෙන්න හේතු වුණා. කොවිඩ් වසංගතය කාලයේ එන්නත් ටික දෙන්න යනකොට මොකද කිව්වේ. කට කතාවක් යැව්වා පිරිමි අය එන්නත විද ගත්තොත් පුරුෂ ශක්තිය නැති වෙයි ළමයි හදන්න බැරි වෙයි කියලා. ඔවුන්ට ඕනේ වුණේ මේ රටේ මිනිස්සු දහස් ගාණක් මැරෙනවා බලන් ඉන්න. පළාත් පාලන මන්ත්‍රීවරු එක්ක එකතු වෙලා එන්නත් ටික ජනතාවට විදලා රට අරිනකොට සමහර වෘත්තිය සමිති කිව්වා තාම රට සුරක්ෂිත නෑ රට අරින්න දෙන්න එපා කියලා. රට ආර්ථික වශයෙන් කඩා වැටෙනකොට මේ රටේ ආර්ථිකය ගොඩ ගන්න පුළුවන් කෙනෙක් ඇවිල්ලා මේ රට භාර ගන්න කියලා අපි කිව්වා. ඒ වෙලාවේ කයිවාරු ගහපු හැමෝම මේක භාර ගන්න බය වුණා.

ඒ වෙනකොට කැරලිකාරයෝ ජනාධිපති මන්දිරය, අග්‍රාමාත්‍ය කාර්යාල අත්පත් කරගෙන ඉවරයි. පාර්ලිමේන්තුව වට කරලා මිනිස්සු මරලා මේ රටේ පාලන බලය අතට ගන්න පිරිසක් උත්සාහ කළා. ඒ වෙලාවෙදී රනිල් වික්‍රමසිංහ මහත්තයා විතරයි කිව්වේ මම මේ රට භාර ගන්නම් පොහොට්ටුවේ සහයෝගය මට ඕනි කියලා. මම ගන්නේ දේශපාලන තීන්දු නෙමෙයි රට ගොඩගන්න පුළුවන් තීන්දු පමණයි ඒවාට උදව් කරන්න පුළුවන් නම් කරන්න කියලා. අපි ඒකට එකඟ වුණා. අපි අවුරුදු එක හමාරක කාලයක තුළ ගත්ත තීන්දු ජනප්‍රිය තීන්දු නෙමෙයි. ආර්ථිකය හදන්න ගත්ත ඇතැම් තීන්දු අද සමහරු විවේචනය කළත් ඒකට විකල්ප කියන්න කාටවත් පුළුවන් කමක් නෑ. මේක කරන්න බැරිනම් මෙන්න මේක කරන්න කියලා යෝජනා කරන්න දේශපාලන නායකයින්ට අත්දැකීම් නෑ.


''ගෝඨාභය ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට තීරණය කරනකොට මම ඒකට විරුද්ධ වුණා - පොහොට්ටුව ඇහුවේ නෑ..''



ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ගේන කොට මම විරුද්ධ වුණ කෙනෙක්. මම කිව්වා අත්දැකීම් නැති අයට රටක් භාර දෙන්න එපා කියලා. අපේ පක්ෂය ඒ ගැන ඇහුවේ නෑ. රනිල් වික්‍රමසිංහ මහත්තයා අත්දැකීම් තියෙන නායකයෙක් විදියට වගකීම භාර ගත්තම අපි උදව් කළා. රනිල් වික්‍රමසිංහ මහත්තයව නායකත්වයට ගෙනාවේ අපේ පක්ෂයේ නායකයෝ අපි නෙමෙයි. එතුමට උදව් කරන්න අපි කණ්ඩායම මෙහෙයෙව්වා.


2022 වසරේ මැයි මාසය වන විට රටේ තිබුණ තත්ත්වය කල්පනා කරන්න. අද රට තිබෙන තත්ත්වය ගැනත් බලන්න. අපිට කලින් ආර්ථික වශයෙන් කඩා වැටුන ග්‍රීසිය වගේ රටවල් අදටත් ගොඩගන්න බැරි තත්ත්වයට පත්වෙලා තිබෙනවා. රට මේ තැනට ගේන්න පුළුවන් වුණේ අපි කණ්ඩායමක් ලෙස කටයුතු කරපු නිසයි. රනිල් වික්‍රමසිංහ මහතා බලයට ආපු ගමන් සියළු දෙනාට ආරාධනා කළා දේශපාලනය දෙවනුව කරමු පළමුව අපි එකතු වෙලා රට හදමු කියලා. කිසිවකු එකතු වුණේ නෑ විවේචනය කළා විතරයි.


රනිල් වික්‍රමසිංහ මහත්තයට ඕනේ වුණේ එකතු වෙලා වැඩ කරලා ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගන්නයි. ඒකට ඇතැමුන් කැමැති වුනේ නෑ. එතුමට පාර්ලිමේන්තුවේ බහුතරයක් තිබ්බේ නෑ. ඔහු තනි කෙනෙක් විදියට හිටියේ. බහුතරය ඉන්නේ අපිට. එතුමා අපගේ සහයෝගය ගෙන රටේ ජනතාවගේ ප්‍රශ්න විසදන්න කටයුතු කළේ අත්දැකීම් සහිත පරිණත නායකයෙක් නිසයි. මම රනිල් වික්‍රමසිංහ මහත්තයාට කඩේ යන්නේ නෑ. මම මේ රටේ ජනතාවට කඩේ යන මිනිහෙක්. මම තරම් රනිල් වික්‍රමසිංහ මහත්තයාව විවේචනය කරපු කෙනෙකුත් නෑ. යහපාලන ආණ්ඩුව කාලේ එතුමාට විරුද්ධව කටයුතු කරපු කෙනෙක් මම.

රටේ මිනිස්සු දුක් විදිනකොට නැවත රට යථා තත්ත්වයට පත් කරපු නායකයෙක් ඉන්නවා නම් අපිට මොන දේශපාලන මති මතාන්තර තිබ්බත් ඒ පුද්ගලයට උදව් කරන්න ඕනේ. ඒ නිසයි අපි කණ්ඩායමක් විදියට එකතු වෙලා රනිල් වික්‍රමසිංහ මහත්තයට උදව් කරන්න කටයුතු කළේ. ජනතාව වෙනුවෙන් පෙනී සිටින අය විදියට අපි රනිල් වික්‍රමසිංහ මහත්තයාට උදව් කරනවා.

මහින්ද මහත්තයා යුද්ධය දින්න කියලා. අද මහින්ද මහත්තයට කියන්නේ නාකියා, නාකි මයිනා කියලා. ඊළඟට චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියට මේ ගෑනි නිසා තමයි රටේ ආර්ථිකය කඩා වැටුනේ කියලා ගහනවා ෆේස් බුක් එකේ. කොවිඩ් වසංගතයෙන් රට බේර ගත්ත නායකයාගේ ෆොටෝ එකක් දාලා ගහනවා. නාකින්ගෙන් රට ගලවා ගන්න තරුණයින්ට රටක් භාර දෙන්න කියලා. අත්දැකීම් නැති තරුණයෝ කරපු දේවල් 88/89 කාලයේ ඉදන්ම අපි දන්නවනේ.

නාකියෝ කියද්දි මේ රටේ වැඩිහිටි සියල්ල අයිති වෙනවා. අපි අලුත් අවුරුද්දට පවා දෙමාපියෝ බලන්න ගිහින් බුලත් අතක් දිලා වැදලා නේද එන්නේ. ඒ සංස්කෘතිය නේද මේ නැති කරන්න හදන්නේ" යනුවෙන්ද පැවසීය.

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්