ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හෙට (01) මැයි දින රැළි දෙකකට එක්වීමට නියමිතය.

ලංකා කම්කරු කොංග්‍රසය සංවිධානය කරන මැයි දින රැළිය හෙට (01) පෙ.ව 10.00ට කොටගල මහජන ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිත අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රථමයෙන් ඊට එක්වීමට නියමිතය.

ලංකා කම්කරු කොංග්‍රසයේ ආරාධනය පරිදි ජනාධිපතිවරයා මේ සඳහා එක්වන අතර වතුකරයේ ජනතාව විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් එම මැයි දින රැළිය සහ පෙළපාලිය පැවැත්වෙනු ඇත. කඳුකර ප්‍රජාව නියෝජනය කරන විශාලතම වෘත්තීය සමිතිය සහ දේශපාලන පක්ෂය වනුයේ ද ‍ලංකා කම්කරු කොංග්‍රසයයි.

මේ අතර එක්සත් ජාතික පක්ෂ මැයි දින රැළිය හෙට (01) ප.ව 2.00ට කොළඹ මාළිගාවත්ත පොලිසිය ඉදිරිපිට දි ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වෙයි.


මැයි රැලිවලට සියල්ල සූදානමින්


ලෝක කම්කරු දිනය සමරමින් ශ්‍රී ලංකාවේ සියලුම දේශපාලන පක්ෂ මෙවර මැයි දිනය හෙට (1) උත්කර්ෂවත් අයුරින් සැමරීම සඳහා සූදානම් වෙයි.

ඉදිරියේ එන ජනාධිපතිවරණය ඇතුළු  මැතිවරණ සඳහා ජන බලය පෙන්වීමට මැයි දිනය ඉතා හොඳ අවස්ථාවක් වන හෙයින් එකිනෙකාට නොදෙවෙනි අයුරින් මැයි දින සැමරුම් පැවැත්වීමට දේශපාලන පක්ෂ සූදානම් වෙමින් සිටී.

රට පුරාම මැයි රැළි 40ක් පැවැත්වෙන අතර කොළඹ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් මැයි රැලි 14ක් පමණ පැවැත්වෙයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ නායකත්වය දරන එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැළිය කොළඹ මාලිගාවත්ත පොලිසිය අසල මාර්ගයේදී පැවැත්වෙන අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නායකත්වය දරන සමගි ජන බලවේගයේ මැයි දින රැළිය කොළඹ චැතම් වීදියේ දී පැවැත්වේ.

ජාතික ජන බලවේගය මෙවර මැයි දින රැළි හතරක් පවත්වන අතර එහි නායක අනුර දිසානායක ගේ ප්‍රධානත්වයෙන් කොළඹ කන්නන්ගර මාවතේදී ජාජබ කොළඹ මැයි රැලිය පැවැත්වේ. මාතර, අනුරාධපුර සහ යාපනයේදී ජාතික ජන බලවේගයේ සෙසු මැයි රැලි පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි දින රැළිය ගම්පහ මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර එක්සත් සමාජවාදී පක්ෂය ග්‍රෑන්ඩ්පාස් හිදී මැයි රැලිය පවත්වයි.

MF මර උගුල - ඉන්දියානු විජිතකරණය පරදවමු!" තේමාවෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂස්යේ ජාත්‍යන්තර කම්කරු දින  රැළිය පැවැත්වෙන්නේ කොළඹ හයිඩ් පිටියේදීය. පෙලපාලිය දවල් 1.00ට මාලිගාකන්ද වයිට් පිටියෙන් ආරම්භ වන අතර එය මාලිගාකන්දෙන් ආරම්භ වී ආනන්ද විද්‍යාලය අසලින් මරදාන හන්දියට පැමිණ, ගාමිණී හෝල් වටරවුමෙන් ඩාලි පාරට පිවිසේ. රැලිය සහ සංස්කෘතික ප්‍රසංගය සවස 3.00ට හයිඩ් පිටියේදී පැවැත්වේ. කම්කරු අරගල මධ්‍යස්ථානය, ගොවි අරගල ව්‍යාපාරය, වෙනසක තාරුණ්‍යය, නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය, විප්ලවවාදී ශිෂ්‍ය සංගමය පෙලපාලිය සහ රැලිය නියෝජනය කිරීමට නියමිතය.

ස්වාධීන ඒකාබද්ධ වෘත්තීය සමිති කොළඹ විහාර මහා දේවී උද්‍යානය ආශ්‍රිත භූමියේදී මැයි රැලිය පවත්වයි.

මැයි දිනයට දින තුනකට පමණ කලින් සිට බොහෝ දේශපාලන පක්ෂ මාර්ග හරස් කොට දැවැන්ත වේදික ඉදිකරන අයුරු දැකගන්නට හැකි අතර ඇතැම් දේශපාලන පක්ෂ ලක්ෂයකට ආසන්න සෙනඟක් කොළඹට ගෙන්වන බවට නිවේදනය කර ඇත.


(lankadeepa.lk -අංජුල මහික වීරරත්න)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්