මාර්ග සංඥා අසල මාර්ගයේ සිඟමනේ යෙදෙන පුද්ගලයන්ට මුදල් හෝ උපකාර ලබා දීමෙන් වළකින ලෙස රථවාහන සහ මාර්ග ආරක්ෂාව සම්බන්ධ

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ ඉල්ලා සිටියි.

මෙම ස්ථානවල සිඟමනේ යෙදෙන පිරිස් පාදඩ ආඥාපනතේ තුන්වැනි වගන්තියට අනුව අත්අඩංගුවට ගන්නා බවත්, මෙම ස්ථානවල සිටින ඇතැම් පිරිස් පැමිණෙන වාහනවල හැප්පී තුවාල සිදුකර රියදුරන්ට වරද පැටවීමට කටයුතු කරන බවත් හෙතෙම සඳහන් කළේය.

නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ එබව කියා සිටියේ, පෙරේදා (අප්‍රේල් 29දා) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේදීය.

මංසන්ධි සහ අලෝක සංඥා පුවරු අසල රථවාහන ගමනාගමනයට බාධාවක්, හිරිහැරයක් වන ආකාරයට කටයුතු කරන යාචකයන් ඉවත් කිරීමට පොලිස් නිලධාරීන් යෙදවීමට කටයුතු කරන බවත් ඔහු සඳහන් කළේය.

සිඟමනේ යෙදෙන සමහර පිරිස් හොඳ ජීවිත ගත කරන බවත්, සමහර පිරිස් වාහනවලින් හෝ යතුරු පැදිවලින් පැමිණ පසුව සිඟමන් යැදීමට අවශ්‍ය ඇඳුම් පැලඳ සිඟමන්වල යෙදෙන බවත්, සමහර පිරිස් ව්‍යාපාරයක් වශයෙන් මෙම කටයුතු සිදුකරන බවත් රථවාහන සහ මාර්ග ආරක්ෂාව සම්බන්ධ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ කියා සිටියේය.


මෙවැනි ස්ථානවල සිඟමන් යදින පිරිස්වලට මුදල් හෝ වෙනත් උපකාර කිරීමෙන් වැළකී සිටිය හොත් සිඟමන් යැදීමට අදාළ ස්ථානවලට පිරිස් නොපැමිණෙන බවද ඉන්දික හපුගොඩ පැවසීය.

මහා මාර්ගවල සිඟමන් යදින පිරිස් පවා සමහර අවස්ථාවල රිය අනතුරුවලට ලක්වන බවත්, මෙම ස්ථානවල සිටින පිරිස් ප්‍රවාහන අමාත්‍යාංශය සමග එක්ව පුනරුත්ථාපනය කර ස්වයං රැකියා සඳහා යෙදවීම පිළිබඳව අවධානය යොමු වී තිබෙන බවත් හෙතෙම කියා සිටියේය.

මෙම පිරිස් කම්කරුවෙකු දෛනිකව උපයන මුදල මෙන් විශාල මුදලක් උපයා ගන්නා බවත්, රජයේ රැකියා කරන දරුවන් සිටින පිරිස් පවා සිඟමන් යදින බවට හෙළි වී තිබෙන බවත්, සමහර පිරිස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී තිබෙන බවත් ඔහු පවසා සිටියේය.

මහජනතාවට බාධාවකින් හා කරදරයකින් තොරව ගමන් කිරීමේ අවස්ථාව සලසා දීම සඳහා යාචකයන් මෙම ස්ථානවලින් ඉවත් කිරීමට හා අත්අඩංගුව ගැනිමට කටයුතු කරන බවත්, පොලිස් නිලධාරීන්ට විශාල රාජකාරි ප්‍රමාණයක් සිදුකිරීමට සිදුව තිබෙන බවත්, එවැනි තත්වයක් තුළ මෙම කටයුතු සිදුකරන බවත් හෙතෙම පැවසීය.

පසුගිය සතියේ සිට ක්‍රියාත්මක කර ඇති මෙම මෙහෙයුම මගින් මේ වනවිට යාචකයන් 94 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර කර තිබෙන බවද නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ පැවසිය.

කොළඹ මහනගර සභාව තුළ සංඥා ලාම්පු 180ක පවතින බවත්, පොදුවේ දිවයින පුරා මෙවැනි ස්ථාන 350 ක සංඥා ලාම්පු සවිකර තිබෙන බවත්, සංඥා ලාම්පු අසල ගැවසෙන සිඟමනේ යෙදෙන පුද්ගලයන් විසින් සිදුකරන ක්‍රියා නිසා රියදුරන් ද දැඩි අපහසුතාවට පත්වන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්