කොළඹ, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ වීසා නිකුත් කිරීමේ කටයුතු ඉන්දියානු සමාගම් භාරයට ගෙන ඇති බවට සමාජ මාධ්‍ය ඇතුළු

විවිධ මාධ්‍යයන් තුළ පළවන වාර්තා සහ අදහස් මුළුමනින්ම අසත්‍ය බව කොළඹ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

මෙම වාර්තාවලින් දැක්වෙන සමාගම් ඉන්දියාවේ පිහිටා ඇති සමාගම් හෝ ඉන්දීය සමාගම් නොවන බවත් එම සන්දර්භය තුළ ඉන්දියාව පිළිබඳ සඳහන් කිරීම පදනම් විරහිත බවත් එම නිවේදනයේ සඳහන් වේ.



VFS: කටුනායක ගුවන් තොටුපළේ ඇතිවු වීසා ගැටළුව කුමක්ද ?


ශ්‍රී ලංකාව තුළ සංචාරක කර්මාන්තය දියුණු කිරීම සඳහා පසුගිය කාලය තුලදී විවිධ ක්‍රියාමාර්ග රජය විසින් හඳුන්වා දෙනු ලැබීය.

එම පසුබිම මැද, කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී ( මැයි මස 01 වැනිදා) උණුසුම් තත්ත්වයක් ඇති විය.

ඒ කටුනායක ගුවන් තොටුපොළ තුළ වීසා නිකුත් කිරීමේ ක්‍රියාපටිපාටියේ ( මැයි මස 01 වැනිදා) සවස ඇතිවූ ගැටළු සහගත තත්ත්වයක් හේතුවෙනි.


කටුනායක ගුවන් තොටුපොළේදී සිදුවුයේ කුමක් ද?


මෙතෙක් ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සිදු කළ වීසා නිකුත් කිරීමේ ක්‍රමවේදය පෞද්ගලික සමාගමකට පැවරීමත් සමග (මැයි මස 01 වෙනිදා) සවස 05.00 සිට එම පද්ධති නිසි පරිදි ක්‍රියාත්මක කර ගැනීමට නොහැකි වී තිබුණි.

ඒ හේතුවෙන් දිගු පෝලිම් ඇති වී දෙස් විදෙස් සංචාරකයන් ඊට එරෙහිව දැඩි විරෝධයක් පළ කිරීමත් සමග ගුවන් තොටුපොළ තුළ උණුසුම්කාරී වාතාවරණයක් නිර්මාණය විය.

කෙසේ වුවද මීට පෙර ආගමන විගමන නිලධාරින් විසින් මිනිත්තු කිහිපයක් තුළදී මාර්ගගත වීසා නිකුත් කිරීමට කටයුතු කර තිබුණි.


නව නිලධාරින් ඉවත් වෙයි


කටුනායක ගුවන් තොටුපොළ තුළ වීසා නිකුත් කිරීම ( මැයි මස 01 වැනිදා) සිදු කළ පෞද්ගලික සමාගම එය නිසියාකාරව ඉටු කර ගැනීමට අපොහොසත් වීම නිසා රාත්‍රී 11.30 ට පමණ සේවයෙන් ඉවත් වී ගොස් තිබුණි.

ඉන්පසුව එම කාර්යය යළිත් පැරණි ගාස්තු ක්‍රමය යටතේ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත පවරා සිදු කර ගෙන යන ලෙස ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය නියෝග කරනු ලැබීය.

කටුනායක ගුවන් තොටුපොළ තුළ වීසා බලපත්‍ර නිකුත් කිරීමේ කාර්යය ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සිදු කර ගෙන යන බවත් ,එම කටයුතු වෙනදා මෙන් සාමාන්‍ය පරිදි සිදු වන බවත් බීබීසී සිංහල කළ විමසීමකදී ඔහු පැවසීය.


ඒක පද්ධතියේ ඇතිවූ දෝෂයක්


කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ඇතිවූ තත්ත්වය සම්බන්ධයෙන් බීබීසී සිංහල කළ විමසීමකට පිළිතුරු දෙමින් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක පැවසුවේ එය වීසා නිකුත් කිරීමේ පද්ධතියේ ඇතිවූ දෝෂයක් නිසා සිදුවූ බව ය.

"අලුත් සිස්ටම් එකක් දාන්න ගිහිල්ලා ඒ සිස්ටම් එකේ ගැටළු කිහිපයක් ඇති වෙලා මේ තත්ත්වය සිද්ධ වුනේ."

"අපි තාවකාලිකව ඒක නතර කරලා පැරණි ක්‍රමයට වීසා නිකුත් කිරීම සිදුකරන්නේ. ඉදිරියේදී නැවත තීරණය කරන දිනයක නව ක්‍රමය නැවත ක්‍රියාත්මක කරනවා."

"මේක සිස්ටම් එකේ තාක්ෂණික වශයෙන් ඇතිවූ දෙයක්. ඒ නිසා ඒක නිවැරදි කරලා ඉදිරියේදී ක්‍රියාත්මක කරනවා." අමාත්‍යාංශ ලේකම්වරයා පැවසුවේය.

මේ අතර කටුනායක ගුවන් තොටුපොළේ වීසා නිකුත් කිරීම කළ පෞද්ගලික ආයතනයේ නිලධාරින් විසින් විදේශිකයින් ගෙන් අමතර ගාස්තු අය කිරීම සහ එකතු කරගෙන තිබු මුදල් ද රැගෙන රාත්‍රියේ පිටව ගිය බවට පලව තිබු මාධ්‍ය වාර්තා සත්‍යදැයි බීබීසී සිංහල විසින් කළ විමසීමකදී මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ඊට ලබා දුන්නේ මෙවන් පිළිතුරකි.

"එහෙම කිසිම දෙයක් වෙලා නෑ. ඒ වගේම විදේශිකයින්ගෙන් ගාස්තු අය කිරීම් පිළිබඳව විධිමත් වැඩපිළිවලක් අදාළ අනුමැතීන්වලට යටත්ව තමයි සිදුකර තියෙන්නේ." ඔහු පැවසීය.


“වීසා නිකුත් කිරීම පෞද්ගලික සමාගමකට පවරලා”


වසර 12 කට ආසන්න කාලයක් පුරාවට ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් සිදුකරගෙන පැමිණි මාර්ගගත වීසා නිකුත් කිරීමේ ක්‍රමවේදය පෞද්ගලික සමාගමකට පැවරීමට රජය විසින් තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ආගමන සහ විගමන නිලධාරීන්ගේ සංගමයේ උප සභාපති ජයසිංහ බණ්ඩාර බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් සඳහන් කළේය.

"ලංකාවට සංචාරකයෙක් එන්න ඉන්නවා නම් ඒ කෙනාට සෘජුව ආගමන සහ විගමන දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කරන්න බැහැ."

"අර තියෙන පෞද්ගලික සමාගම හරහා තමයි වීසා ඉල්ලුම් කරන්න ඕන ඔවුන්ගේ වෙබ් අඩවිය හරහා."

"එතකොට ඒ ආයතනය තමයි අදාළ වීසා ඉල්ලීමට අදාල කරුණු ගොනු කරලා ආගමන සහ විගමන දෙපාර්තමේන්තුව වෙත යොමු කරන්නේ. ඊට පසුවයි අපේ දෙපාර්තමේන්තුව හරහා වීසා එක නිකුත් කිරීම සිදුවෙන්නේ."

"මේක පැරණි ක්‍රමයම තමයි, නමුත් අතරමැදියෙක් ලෙස මේ ආයතනය මේකට සම්බන්ධවෙලා ඉන්නවා."

"ඔවුන් මේ සේවාව ලබා දෙන්න එක් වීසා එකකින් ඇමෙරිකානු ඩොලර් 18.5ක් අවම අය කිරීමක් කරනවා වගේම ඊට අමතරව තවත් අමතර ගාස්තු අය කරනවා."

"ලංකා රජය සංචාරක කර්මාන්තය වැඩිදියුණු කරන්න කියලා ප්‍රතිපත්තියක් ලෙස රටවල් රැසකට වීසා සහන ලබා දුන්නා ගාස්තු වලින් නිදහස් කරලා."

"නමුත් ඒ වගේ වීසා ගාස්තු ඉවත් කරපු රටවල සංචාරකයින් මේ ආයතනය හරහා ලංකාවට එන්න වීසා ලබා ගනිද්දී අර කලින් කිව්ව ඇමෙරිකානු ඩොලර් 18.5 ගාස්තුව ඇතුළු වෙනත් ගාස්තු වලට යටත් වෙන්න වෙලා තියෙනවා."

"හැබැයි මේ අය කරන කිසිම ගාස්තුවක් රජයට අය වෙන්නේ නැහැ. එක ඒ පෞද්ගලික සමාගමටයි බැර වෙන්නේ."

"(මැයි මස 01 වැනිදා) වෙනකම් ඔන් ඇරයිවල් වීසා නිකුත් කිරීම කළේ ආගමන සහ විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරින්. "

"නමුත් එක්වරම අදාළ සමාගම විසින් ඒ ඔන් ඇරයිවල් විසා නිකුත් කිරීම ඔවුන් යටතේ සිදුකරන්න ගිහින් මේ තත්ත්වය ඇතිවුනේ. ඒක ලංකාවේ සංචාරක කර්මාන්තයට ඒතරම් හොඳ දෙයක් විදිහට දකින්නේ නැහැ." යැයි ශ්‍රී ලංකා ආගමන සහ විගමන නිලධාරීන්ගේ සංගමයේ උප සභාපතිවරයා පැවසුවේය.


වීසා නිකුත් කිරීමේ නව ක්‍රමවේදය කුමක්ද ?


ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය පසුගිය දා පැවති මාධ්‍ය හමුවකදී නව වීසා නිකුත් කිරීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් කරුණු දැක්වීමක් සිදුකරන ලදී.

එහිදී ඔහු සඳහන් කලේ 2012 වසරේදී හඳුන්වා දුන් මාර්ගගත වීසා නිකුත් කිරීමේ ක්‍රමවේදය යටතේ හඳුන්වා දුන් විද්‍යුත් සංචරණ අනුමැතිය මේ හරහා යාවත්කාලීන කිරීමට කටයුතු කළ බවයි.

ඒ සඳහා පෞද්ගලික සමාගමක් සමග ගිවිසුම් ගතව කටයුතු කරනු ලබන බව ඔහු සඳහන් කළේය.

" 2012 වසරේ දී අපි මාර්ගගත ක්‍රමය හෙවත් ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ වීසා නිකුත් කිරීම ආරම්භ කළා. ඒ ETA කියල අපි අඳුන්වපු Electronic Travel Authorization නැත්නම් විද්‍යුත් සංචරණ අනුමැතිය."

"මේ මගින් තමයි අපි ලංකාවෙ වීසා ක්‍රමවේදය ජාත්‍යන්තරයට ගෙනිච්චෙ. ඒ ක්‍රමවේදය ඔස්සේ අපි කටයුතු කරමින් ඉන්නකොට අපිට දැනුණු දේ තමයි ඒ ක්‍රමවේදය වර්තමානය වෙන විට යාවත්කාලීන වෙලා තිබුණෙ නෑ. ඉතිං ඒ නිසා තමයි අපි කල්පනා කලේ නව ක්‍රමවේදයක් ඔස්සේ සියලුම වීසා මාර්ගගත ක්‍රම ඔස්සේ ලබාගැනීමේ හැකියාව."

"ඇතැම් රටවල් වලට වීසා ගැනීම සඳහා පාවිච්චි කරන ක්‍රමවේදයන් වලදී අදාල රටට යන්නට මත්තෙන් වීසා ගැනීමේ හැකියාව හරි අඩුයි. නමුත් මේ ක්‍රමය ඔස්සේ අපි බලාපොරොත්තු වෙන්නෙ සම්පූර්ණ වීසා ක්‍රමවේදයම මාර්ගගත ක්‍රමය ඔස්සේ තමන්ගෙ රටේ ඉඳලම මේ රටට පැමිණෙන්න පෙර වීසා ලබාගෙන මෙරටට පැමිණෙන්න පහසුකම් මේ වන විට අපි හදල දීල තියෙනවා."

"අපි තව බලාපොරොත්තු වන දෙයක් තියෙනව , කෙනෙකුට රට තුලට එන කෙනෙකුට නැවත නැවත වීසා අයදුම් කිරීමට අවශ්‍ය නැතිව එක්වර වීසා අරගෙන දීර්ඝ කාලයක් ලංකාවෙ රැදී සිටින්නටත්, ඒ දීර්ඝකාලය තුල වරින් වර තමන්ගෙ රටට ගිහින් ඒමට ඉඩප්‍රස්ථාව හැදෙනව. මේ කාරණය සංචාරක කර්මාන්තයට ඉතාමත් වැදගත්."


1638cc50 087d 11ef b0b6 27d0a05c91e1
"දැනට අපේ තිබුණ ETA හරහා දින 30හේ වීසා එක දුන්නාම දින 30යි රට තුන්න ඉන්න හැකි වෙන්නෙ."

"දින තිහට පස්සෙ ආපහු වීසා අයදුම් කරන්න ඕන."

"නමුත් මේ අලුතින් අපි හඳුන්වල දීපු වීසා ක්‍රමවේදය යටතේ අයදුම්කරුට මෙවැනි සංචාරක වීසා කාණ්ඩ විශාල ප්‍රමාණයක් අපි හඳුන්වල දීල තියෙනවා."

"දින 60 වීසා, දින 90වේ වීසා, දින 180 වේ වීසා , වසර 05 සහ 10 දක්වා සංචාරක වීසා අපි මේ යටතේ හඳුන්වාදී තිබෙනවා."

"අවුරුදු 10ක වීසා එක ගන්න කෙනෙකුට නැවත වීසා ගැනීමකින් තොරව ඒ අවුරුදු දහය පුරාවට කැමති කාලයක ලංකාවට ඇවිල්ල සංචාරය කරල යන්න පුළුවන්."

"නැවත නැවත වීසා අයදුම් කරල සංචාරය කිරීමට වඩා බොහෝ දෙනෙක් මේ ක්‍රමවේදයට කැමතියි. පළවෙනි වීසා එකේම එක මාසෙ සිට මාස හයක් දක්වා වැඩි කරල රැඳී සිටීමේ කාලය දීර්ඝ කලේ සංචාරකයින්ට වීසා එක ගැන වැඩිය හිතන්නෙ නැතුව ඕන වෙලාවක එන්න හැකි වෙන්න. ඒ නිසා සංචාරක වීසා විශාල ප්‍රමානයක් මේ යටතේ හඳුන්වල දීල තියෙනවා."

"මීට කලින් අපි වීසා සඳහා ඔන්ලයි Electronic Travel Authorization (ETA) එක දින 30 හේ වීසා එක සඳහා විතරයි පාවිච්චි කලේ. නමුත් මේ නව ක්‍රමය යටතේ සියළුම වීසා කාණ්ඩ මාර්ගගත (Online) ක්‍රමය ඔස්සේ අයදුම් කර ලබාගන්න පුළුවන්."

"මේ සේවාව www.srilankaevisa.lk වෙබ් අඩවිය මගින් ලබාගන්න පුළුවන්."

"මේ වෙබ් අඩවිය හරහා ඕනම කෙනෙකුට වීසා ලබාගන්න පුළුවන්."

"වෙබ් අඩවිය නඩත්තු කිරීම සහ ඒ හරහා සංචාරකයින් ගෙන්වාගැනීමට අපි ගිවිසුම්ගත වෙලා තියෙනව VFS ආයතනයත් එක්ක, ඒ ආයතනය රටවල් 145 තුර ඒ රටවල් වල මව් භාෂා වලින් තොරතුරු ලබාගෙන වීසා අයදුම්කරුවන්ට ලංකාවට ඒමට අවශ්‍ය පහසුකම ඇති කරල තියෙනවා."

"සෑම අවස්ථාවකදීම වීසා අනුමත කිරීම, ගාස්තු තීරණය කිරීම, ගාස්තු ලබාගැනීම ගැන තීරණ ගැනීම සිදු වෙන්නෙ ආගමන හා විගමන දෙපාර්තුමේන්තුව හරහා."
"වීසා එකක් දීම හෝ ප්‍රතික්ෂේප කිරීම සිදු වෙන්නෙ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව හරහා පමණයි."

"එම නිසා නීතිමය වශයෙන් කිසිදු ගැටළුවක් නැහැ."

"වෙබ් අඩවිය නඩත්තු කිරීම සහ තොරතුරු සැපයීමේ අංශය පමණයි අපි VFS ආයතනය හරහා කරන්නේ."

"අපි බලාපොරොත්තු වෙනව අපි ඉලක්ක කර තිබෙන විදිහට මිලියන 03ක් හෝ ඊට වැඩි විශාල සංචාරක ප්‍රමාණයක් අපේ මේ අලුත් ක්‍රමවේදය හරහා ලංකාවට ගෙන්වාගන්න පුළුවන් වෙයි කියල." ආගමන විගමන පාලකවරයා එහිදී පැවසීය.

(උපුටා ගැනීම් - BBC සිංහල සේවය)


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්