ජොනතන් මාෂ් 999 ඇමතුමකට ප්‍රතිචාර දැක්වූ අතර එහිදී ඔහු සාමාන්‍ය පුද්ගලයෙකු අපරාධකරුවෙකු ලෙස වරදවා වටහා ගත්තේ ය

 

අපරාධකරුවෙකු යැයි සිතා ශ්‍රී ලාංකික වින්දිතයෙකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙට්‍රොපොලිටන් පොලිස් නිලධාරියෙකුට සති 12ක අත්හිටවූ සිර දඬුවමක් නියම කර තිබේ.

2022 නොවැම්බර් මාසයේදී නැගෙනහිර ලන්ඩනයේ රොම්ෆෝර්ඩ්හි සායනයක නාම පුවරුවකට හානි කළ පුද්ගලයෙකු පිළිබඳව ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයෙකු වන ජොනතන් මාෂ් ක්‍රියාත්මක වී තිබිණි.

ඔහු 999 හදිසි දුරකතන අංකය ඇමතූ රසික අත්තනායකට පහර දී අත්අඩංගුවට ගත්තේ ය.

දැනට සේවය අත්හිටුවා සිටින මාෂ්ට වෙස්ට්මින්ස්ටර් මහේස්ත්‍රාත් අධිකරණය පැය 150ක් වැටුප් රහිතව රාජකාරියේ නිරත වන ලෙස නියම කළේ ය.

ඔහු වන්දි වශයෙන් පවුම් 1500ක් ද ගෙවිය යුතු ය.

'පිළිකුල්සහගත සහ අයුතු ක්‍රියාවක්'

තමන්ට යම් වැරදීමක් සිදුව ඇති බව වටහා ගෙන වෛද්‍ය සේවකයෙකු වූ අත්තනායක මහතා මුදා හැරීමට පෙර පොලිස් නිලධාරීහු ඔහුට අත්විලංගු දමා පොලිස් මෝටර් රථයක් පිටුපසට ගෙන ගියහ.

එසෙක්ස්හි කැන්වී අයිලන්ඩ් නගරයේ පදිංචි මාෂ්, පොදු පහරදීම යන චෝදනාව යටතේ වරදකරු විය.

 

rasika attanayaka

රසික අත්තනායක වින්දිතයෙකු ලෙස නොව සැකකරුවෙකු ලෙස වරදවා වටහා ගනු ලැබ තිබිණි

 

මාෂ්ට පූර්ව චෝදනා නොමැති බවට ත්, ඔහුගේ චරිතය සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාර ලැබී ඇති බවට ත් අධිකරණයේදී සඳහන් වුව ද විනිසුරු ඇනබෙල් පිලින්ග් ඔහුගේ ක්‍රියාව විස්තර කළේ, "පිළිකුල්සහගත සහ අයුතු" ක්‍රියාවක් ලෙස ය.

ඇය අධිකරණයට මෙසේ පැවසුවා ය: "මම පිළිගන්නවා ඒක ඔබේ සාමාන්‍ය චරිත ස්වභාවය නෙවෙයි සහ ඔබට ඔබව පාලනය කර ගන්න බැරි වුණා කියලා.

"පොලිස් නිලධාරියෙක් විදිහට ඔබ සිටියේ සැලකිය යුතු වගකීමක් සහිත තනතුරක. මේ වගේ ක්‍රියා පොලිසිය කෙරෙහි ඇති විශ්වාසය හා පැහැදීම අඩු කරනවා."

 
'කිසි කෙනෙක් නීතියට ඉහළින් නැහැ'
 
නඩු විභාගයෙන් පසුව අදහස් දැක්වූ ශ්‍රී ලාංකික දෙදරු පියෙකු වන 42 හැවිරිදි අත්තනායක පැවසුවේ, මෙම පහරදීම තමාට මානසිකව හා ශාරීරිකව හානියක් කර ඇති බව ය.

ඔහු මෙසේ පැවසීය: "මම පන්දු යවන්නෙක් විදියට ක්‍රිකට් ක්‍රීඩා කරනවා, නමුත් මට දැන් මගේ උරහිසේ තියෙන ප්‍රශ්න නිසා ක්‍රීඩා කරන්න බැරි වෙලා තියෙන්නේ. ඒක හොඳ වේවි. ඒත් මට මේ වෙනකොටත් සීසන්ස් දෙකක් මග හැරිලා තියෙන්නේ.

"මානසික වශයෙන් ගත්තා ම, මම දැන් එලාම් සද්දෙ ඇහුණා ම, නිල ඇඳුම් ඇඳගෙන ඉන්න මිනිස්සු දැක්කා ම තිගැස්සෙනවා. මම එක්සත් රාජධානියේ ජීවත් වුණු කාලය පුරා ම නීතිගරුක පුරවැසියෙක් විදිහට කටයුතු කළේ."

තමාගෙන් තවමත් මෙට්‍රොපොලිටන් පොලිසිය සමාවක් ලබා ගෙන නොමැති බව ත්, ඔවුන් මෙම සිද්ධිය හුදෙක් "අනන්‍යතාව වරදවා වටහා ගැනීමක්" පමණක් බව පවසා ඇති බව ත් අත්තනායක මහතා පැවසීය.
 

 
මෙට්‍රොපොලිටන් පොලිස් කොස්තාපල්වරයා 999 ඇමතූ පුද්ගලයාට පහර දෙන අයුරු දර්ශනවල දැක් වේ

දඬුවම් නියම කිරීමෙන් පසු ඔහු මෙසේ පැවසීය: "යුක්තිය ඉටු වෙලා තියෙන්නේ. මේකෙන් පේන්නේ අපේ නීති පද්ධතිය කොයි තරම් හොඳින් ක්‍රියාත්මක වෙනවා ද කියන එක. කිසි කෙනෙක් නීතියට ඉහළින් නැහැ."

"මේ සිද්ධියත් එක්ක ප්‍රදේශයේ පොලිසිය ගැන මට තියෙන විශ්වාසය පළුදු වෙලා ගිහින් තියෙන්නේ. මේ වගේ සිදුවීම්වලදී කටයුතු කරන්න වැඩි පුහුණුවක් අවශ්‍යයි කියලා මම විශ්වාස කරනවා.

"නමුත් මට පොලිසිය ගැන අමනාපයක් සහ නරක හැඟීමක් නැහැ. යුක්තිය ඉටු වුණා ද? නියත වශයෙන් ම."

(අයිෂා බක්ෂ්)
බීබීසී පුවත්, ලන්ඩන්

(BBC සිංහල සේවය)

 
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්