රුසියාවේ සහ යුක්රේනයේ කඳවුරු වල රැකියා දෙන බව කියා එම රටවලට රැගෙන ගිය හිටපු හමුදා භටයන් හයසීයකට අධික පිරිසක්

බලහත්කාරයෙන් යුද්ධයට යොමු කර ඇතැයි කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර ජනාධිපති රනිල් වික්‍රමසිංහට ඊයේ (7) දැනුම් දී තිබිණ.

මෙරට හමුදා සේවයෙන් විශ්‍රාම ගිය සෙබළු කුලී හේවායන් ලෙස රුසියාවට රැගෙන යෑමේ ජාවාරමට මෙරට රුසියානු තානාපති කාර්යාලය අවට ගැවසෙන කණ්ඩායමකගේ සම්බන්ධයක් ඇති බැවින් ඔවුන් සම්බන්ධයෙන් කඩිනමින් ක්‍රියාමාර්ග ගන්න ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මාධ්‍ය හමුවක් කැඳවමින් බලධාරීන්ගෙන් ඉල්ලා තිබිණ.

 රුසියානු හමුදා කඳවුරුවල සේවයට යැයි කියා මෙරට විශ්‍රාමික හමුදා සෙබළුන් විශාල වැටුප් ලබාදෙන බව සඳහන් කර රුසියාවට රැගෙන ගොස් කුලී හේවායන් ලෙස යුද බිමේ ඉදිරි ආරක්ෂක වළල්ලේ යොදවා තිබීම සම්බන්ධයෙන් කරුණු හෙළි කරමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර තිබිණ. 

ඒ අනුව, අදාල  ශ්‍රමික ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා කොළඹ ආරක්ෂක අමාත්‍යංශයේදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමකට  දයාසිරි ජයසේකර සහ ගාමිණී වලේබොඩ යන මන්ත්‍රීවරුන් ඊයේ කැඳවා තිබිණි.

රුසියාවේ සහ යුක්‍රේනයේ කඳවුරු වල සේවය කිරීමට බව කියා පුවත්පත් වල දැන්වීම් පළ කර රුපියල් ලක්ෂ දහ අට බැගින් ලබාගෙන මෙම ශ්‍රී ලාංකික පිරිස එම රට වලට යවා ඇතැයි ද දයාසිරි ජයසේකර එහිදී පවසා ඇත.

එම රටවලට ගිය සැණින් ඔවුන් යුද්ධය සඳහා යොමු කර ඇතැයි ද එම පිරිසෙන් පහළොවක් මේ වන විට මියගොස් ඇතැයි තොරතුරු ඇති අතර ඔවුන්ගේ දේහයන්වත් සොයා ගැනීමට නැතැයි මන්ත්‍රීවරයා සඳහන් කර තිබේ.

යුද්ධයේදී ඩ්‍රෝන ප්‍රහාර වලට ලක්ව එවැනි තවත් පිරිසක් මියගොස් ඇති බවට තොරතුරු ඇතැයි ජයසේකර මන්ත්‍රීවරයා පවසා ඇත.

එම රට වලට ගිය සැණින් රුපියල් ලක්ෂ විස්සක මුදලක් සහ මාසිකව රුපියල් ලක්ෂ හතක වේතනයක් ලබාදෙන බවට ඔවුන්ට පොරොන්දු වී ඇතත් මාස ගණනාවකින් ඔවුන්ට වේතන ලබා දී නැතැයිද මන්ත්‍රීවරයා සඳහන් කර තිබේ.

මන්ත්‍රීවරුන් ඉදිරිපත් කළ කරුණු සම්බන්ධයෙන් සලකා බැලූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ, මේ සම්බන්ධයෙන් රුසියා රජය සමඟ සාකච්ඡා කර ශ්‍රී ලාංකික පිරිස ගෙන්වා ගැනීමට කටයුතු කරන්නැයි ආරක්ෂක ලේකම්වරයාට දැනුම් දී ඇත.

මෙම වංචාවට හසු වූ පුද්ගලයන් සිටී නම් ඒ සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය දැනුවත් කරන ලෙස ද රජය ඉල්ලා සිටී.

(මුලාශ්‍රය -lankadeepa.lk)

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්