පස් වසරකට ඉහත දී සිදු වු මාරක පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටු නොකර ආගම්වාදය හා ජාතිවාදය අවුස්සන බවට පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂයෙන් ආණ්ඩුවට චෝදනා එල්ල කර තිබේ.


කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි චෝදනා කළේ ආණ්ඩුවේ ප්‍රධාන හවුල්කාර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් මෙන්ම අමාත්‍යවරුන් ද ඉතාමත් පහත් ආකාරයට පසුගියදා පාර්ලිමේන්තුවේ දී හැසිරුන බවයි.

“අපි දැක්කා ඒ විවාදයේ දී  ඉතාමත්ම නින්දිත පහත් විදිහට, පොහොට්ටුවේ මන්ත්‍රීවරු, ඇමැතිවරු හැසිරුනා. ඒ ගොල්ලෝ ඇගිල්ල දික් කරලා කිව්වේ කතෝලික ජනතාව මේ රටේ සුළු ජාතීන් නිසා ඒ සුළු ජාතීන්ට අවශ්‍ය දේ කරන්න ඉඩ දෙන්න බැහැ කියන එක තමයි ඒ ගොල්ලෝ ප්‍රකාශ කරේ.”

විපක්ෂය ගෙන ආ යෝජනාවකට අනුව පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ සභාව කල්තැබීමේ විවාදයක් අප්‍රේල් මස 24, 25 සහ 26 යන තෙදින තුළ පාර්ලිමේන්තුවේදී පවත්වන ලදී.

 

එම දිනවලදී විදේශගතව සිටීම නිසා එම විවාදයට එක්වීමට නොහැකි වු හෙක්ටර් අප්පුහාමි මන්ත්‍රීවරයා මාධ්‍ය හමුවේ දී සදහන් කළේ පාස්කු ප්‍රහාරයට වඩා දේවල් මහජාතියට සිදු ව ඇති බැවින් පාස්කු ප්‍රහාරයට විසදුම් සෙවීම සම්බන්ධයෙන් කතා කිරීමට අවස්ථාවක් හෝ සුළුතර ප්‍රජාවකට ලබා දිය නොහැකි බව පොහොට්ටුවේ නියෝජිතයන් පාර්ලිමේන්තුවේ දී සදහන් කළ බවයි.

 

“ඒගොල්ලෝ කිව්වේ මේ රටේ මීට වඩා දේවල් සිද්ධවුනා මහජාතියට. හැබැයි මේ සුළු ජාතියක් හැටියට තමුන්නාන්සේලාට කිසිසේත්ම මේකට අවස්ථාව ලබා දෙන්න බෑ, මේ විසඳුම ගැන කතා කරන්න බෑ කියලා.”

පාර්ලිමේන්තුවේ තෙදින විවාදයේ කැපී පෙනුණු අංගයක් වූයේ රාජපක්ෂ පාලනයේත්, මේ ආණ්ඩුවේත් කොටස්කාර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමතිවරුන් විසින් කතෝලික සභා නායකයන් ඇතුළු  යුක්තිය ඉල්ලා සිටින්නන්ට එරෙහිව බෞද්ධකම ඉස්මතු කිරීමය.

පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ විවාදයට එක්වෙමින් මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා සදහන් කර තිබුනේ බෞද්ධ ආගමික ස්ථානවලට එල්ල වු ප්‍රහාර සම්බන්ධ සිද්ධීන් බෞද්ධයන් විසින් ‘ඇද ගෙන’ නොගිය බවයි.

"රුපියල් මිලියන 150 ක් වැය කරලා තිබෙනවා මේ විවාදය පාර්ලිමේන්තුවේ පවත්වන්නට. මේක මේ රටේ සිදුවු පළමු වැනි ආගමික ප්‍රහාරය නෙමේ. දළදා මාලිගාවට ගැහුවා. ශ්‍රී මහා බෝධියට ගැහුවා. අරන්තලාවේ භික්ෂු ඝාතනයක් උනා. නමුත් අපේ බෞද්ධ බැතිමතුන් ඒ සිද්ධි ඇද ගෙන ගියේ නෑ."

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී, ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන්ම කතා කරන්නේ ඇයිද යන්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කර සිටියේය.

"මේ රටේ බෝම්බ පුපුරලා නැද්ද? ඇයි පාස්කු ගැනම කතා කරන්නේ. මේක අපි කරපු එකක් නෙමෙයිනේ. මේක කරපු අය තමා මේවට යෝජනා ගේන්නේ."

තමන් විසින් නගන ප්‍රශ්නය යුක්ති සහගත කර පෙන්වීම සදහා, බෞද්ධ ආගමික සිද්ධස්ථාන වලට එල්ල වු ප්‍රහාර මාලාවක් ම රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක විසින් ද  පාර්ලිමේන්තුවේදී සිහිපත් කර තිබුනි.

 

කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ආගමික කටයුතු සම්බන්ධයෙන්ද පාර්ලිමේන්තු විවාදය තුලදී දැඩි විවේචන එල්ල වු බව පෙන්වා දෙන හෙක්ටර් අප්පුහාමි මන්ත්‍රීවරයා අවධාරණය කළේ ජනතා නියෝජිතයන්ට ඒ සඳහා සදාචාරාත්මක අයිතියක් නොමැති බවයි.

 

“ඒ විතරක් නෙමෙයි. පැහැදිලිව කතෝලික සභාවේ නායක අතිගරු කාදිනල් උන්නාන්සේගේ ඒ ආගමික කටයුතු සම්බන්ධවත් දැඩි විදිහට විවේඡනය කරා. ඒක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අයිතියක් තියන එකක් හෝ මන්ත්‍රීවරුන්ට,  ඇමැතිවරුන්ට සදාචාරයක් තියන කාරනාවක් නෙමෙයි. ”

ආගම හා දේශපාලනය අතර පවතින වෙනස්කම් පැහැදිලිව තේරුම් ගන්නා ලෙසත් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරයා මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුනේ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා තිබුනි.

"ආගම වෙනම තැනක, දේශපාලනය වෙනම තැනක. මේක කොටස් දෙකක්. මේක පැහැදිලිව හරියට හදුනා ගන්න"
   
දේවස්ථාන සහ සංචාරක හෝටල් කිහිපයක් ඉලක්ක කර ගනිමින්  2019 අප්‍රේල් මස 21 වන දින එල්ල කළ  මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවට කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය,  කොටහේන කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය හා මඩකලපුව සියොන් දේවස්ථානය ඉලක්ක වී තිබුනි.

2019 අප්‍රේල් මස 21 වන දින එල්ල කළ බෝම්බ ප්‍රහාර මාලාව නිසා 250 කට අධික සාමාන්‍ය වැසියන් සංඛ්‍යාවක් මියගියේය.

 

මෙම සමුහ ඝාතනයේ මහමොලකරුවන් ලෙස යුද හමුදා බුද්ධි අංශ ප්‍රධානීන් සහ ප්‍රහාරයෙන් අනතුරුව බලයට පත්වූ ගෝඨාභය රාජපක්ෂට සැකය එල්ල කෙරෙන සාක්ෂි විකාශනය කරමින් බ්‍රිතාන්‍යයේ චැනල් 4 රුපවාහිනිය ඉකුත් සැප්තැම්බරයේ ප්‍රචාරය කළ ගවේශනාත්මක වාර්තා චිත්‍රපටය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අයි.එම්. ඉමාම්ගේ ප්‍රධානත්වයෙන් ඒ මාසයේම පත් කරන ලද ත්‍රිපුද්ගල කමිටුව තවමත් විමර්ශනයේය.

 

 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්