ජාත්‍යන්තර හා දේශීය වශයෙන් දැඩි ලෙස හෙලා දැකීමට ලක්වී ඇති කුරිරු නීතියක් සම්පුර්ණයෙන් අකුලා දමන බවට පොරොන්දු වූ ආණ්ඩුව එම නීතිය දිගින් දිගටම යොදා ගනිමින් පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ඇති ආකාරය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය සිය නවතම වාර්තාව මගින් අනාවරණය කර තිබේ.
බරපතල මානව හිමිකම් උල්ලංඝන සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ වගඋත්තරදායකත්වය සහතික කිරීම සඳහා උතුරේ දෙමළ ජනතා නියෝජිතයන් කරන ඉල්ලීම් කෙරෙහිද අවධානය යොමු කරමින් එම වාර්තාව නිකුත් කර ඇත්තේ ඉදිරි ජගත් මානව හිමිකම් සමුළුව වෙනුවෙනි.
මානව හිමිකම් සමුළුවේ 60 වැනි සැසිවාරය සැප්තැම්බර් 8 සිට ඔක්තෝබර් 3 දක්වා ජිනීවාහිදී මුළු දේ.
කාලාන්තරයක් තිස්සේ විසඳා නොමැති පසුගිය මානව හිමිකම් උල්ලංඝන සහ ජාත්‍යන්තර ගනයේ අපරාධ සඳහා වගඋත්තරදායකත්වය සහතික කිරීම උදෙසා පැහැදිලි සැලසුමක් සහ නිශ්චිත පියවර ගැනීමේ අවශ්‍යතාව මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරයා විසින් නවතම වාර්තාවෙන් අවධාරණය කර ඇත.
2025 වසරේ ජනවාරි සිට මැයි 23 දක්වා වු කාලය තුළ ත්‍රස්තවාදය වැළැක්විමේ පනත යොදාගෙන 49 දෙනකු අත්අඩංගුවට ගන්නා ලද බව එක්සත් ජාතීන්ට දැනුම් දී ඇත්තේ ශ්‍රී ලංකාවේ ආණ්ඩුවයි.
මහකොමසාරිස් වාර්තාවට අනුව 2024 වර්ෂය තුළ ත්‍රස්තවාදය වැළැක්විමේ පනතින් ශ්‍රී ලංකාවේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 38 දෙනකු පමණි. පනත වැඩියෙන්ම යොදාගෙන ඇත්තේ දෙමළ හා මුස්ලිම් ජාතිකයන් මර්දනයටයි.
“ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කිරීමට රජය පොරොන්දු වුවද, තවදුරටත් අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම් සහ චෝදනාවක් හෝ නඩු විභාගයකින් තොරව දීර්ඝ කාලයක් රඳවා තබා ගැනීමට එහි අඛණ්ඩ භාවිතාව මග පාදාතිබේ. වාර්තාවට අදාළ කාල පරිච්ඡේදය තුළදී, අනුස්මරණ හෝ විරෝධතා සංවිධානය කිරීම හෝ ඊට සම්බන්ධ වීම ඇතුළු කටයුතුවලට ප්‍රධාන වශයෙන් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගෙන ඇත්තේ දෙමළ හා මුස්ලිම් ප්‍රජාවල සාමාජිකයන්ය,” යි මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් විසින් අගෝස්තු 12 දා බෙදාහරින ලද වාර්තාවේ දැක්වේ.
අඛණ්ඩව සිදුවන අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම් සහ රඳවා තබා ගැනීම්, වධහිංසා පැමිණවීම් සහ අත්අඩංගුවේ පසුවන විට දී සිදුවන මරණ පිළිබඳ ද මෙහි දී විස්තර කෙරෙන අතර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතය සඳහා හැකි වහාම තහනමක් පනවන ලෙස ද මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරයා ලක් රජයෙන් ඉල්ලා සිටී.
"මුල් බැසගත් දණ්ඩමුක්තියෙන් මිදීමට, පරිවර්තනීය ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට සහ ජාත්‍යන්තර අපරාධ ඇතුළුව අතීතයේ සිදු කරන ලද බරපතල උල්ලංඝන සහ අපයෝජන සඳහා කාලාන්තරයක් අහිමි කර තිබූ යුක්තිය සහ වගවීම ලබා දීම සඳහා” වර්තමාන ආණ්ඩුවට ‘ඓතිහාසික අවස්ථාවක්’ උදාවී ඇති බව මහ කොමසාරිස්ගේ විශ්වාසයයි.
බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ කමිටුව විසින් එළඹෙන සැප්තැම්බරයේ දී ශ්‍රී ලංකාව විසින් සම්පාදනය කර ඇති මූලික වාර්තාව විමර්ශනය කිරීමට නියමිතය. අතුරුදහන් කිරීම් ඇතුළු මානව හිමිකම් උල්ලංඝන පිළිබඳව විවිධ ජනාධිපතිවරුන් විසින් පත් කරන ලද සකල කොමිසන් වාර්තා ප්‍රසිද්ධියට පත් කරන ලෙසද මහ කොමසාරිස් ඉල්ලා සිටී.
“අතුරුදහන්වීම් පිළිබඳ කලාපීය සහ සමස්ත ලංකා කොමිෂන් සභා සහ නිරායුද ජීවිත හානි පිළිබඳව විභාග කළ හමුදාධිකරණය ඇතුළු විවිධ මානව හිමිකම් සම්බන්ධ පරීක්ෂණ කොමිෂන් සභාවලට අදාළ අප්‍රකාශිත සියලුම වාර්තා සහ ඒවායේ ඇමුණුම් ප්‍රකාශයට පත් කර බෙදා හරින්නැ,” යි වාර්තාව නිර්දේශ කරයි.
රණසිංහ ප්‍රේමදාස සමයේ මධ්‍යම, උතුරු මැද, වයඹ සහ ඌව යන පළාත්වල බලහත්කාරයෙන් අතුරුදහන්වීම් පිළිබඳ සොයා බලන්නට චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පාලන සමයේ කොමිසන් සභා පිහිටුවන ලද අතර බලහත්කාරයෙන් පුද්ගලයන් පැහැරගෙන යාම් සහ අතුරුදහන් කිරීම් පිළිබඳව සොයා බැලිමේ ජනාධිපති පරීක්‍ෂණ කොමිසම් සභාව නමින් මුළු දිවයිනම ආවරණය වන කොමිසමක් පත් කරන්නට 1998 අප්‍රේල් මස 30 දින කුමාරණතුංග රජය විසින් පියවර ගන්නා ලදී.
එහි සභාපතිනි නීතිවේදිනී මනෝරි කෝකිලා මුත්තෙට්ටුවගම විසින් අපරාධ සම්බන්ධයෙන් සැකකෙරෙන හමුදා පොලිස් නිලධාරීන්ගේ නම් ද සහිතව ජනාධිපතිනි චන්ද්‍රිකාට භාරදෙන ලද වාර්තාව අදත් ප්‍රකාශයට පත් කර නැත.
එම කොමිසන් සභාවලට ලැබුණු පැමිණිළි 30,000 කට ආසන්න සංඛ්‍යාවේ සාතිශය බහුතරය ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් අතුරුදහන් කිරීම් සහ බලහත්කාරයෙන් පැහැරගෙන යාම් පිළිබඳවය.
අනුස්මරණය සහ සාකච්ඡාව සඳහා වන අවකාශයක් රජය විසින් විවෘත කර ඇතැයි ප්‍රකාශකරන වාර්තාවේම බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්, ඉඩම් ආරාවුල් සහ පාරිසරික ගැටළු පිළිබඳ වගවීම සඳහා අරගල කරන සිවිල් සමාජ සංවිධාන ක්‍රියාකාරීන් ඉලක්ක කරගනිමින් බියගැන්වීම් සහ හිරිහැර කිරීම් මෙන්ම අතුරුදහන් වූ පුද්ගලයන්ගේ පවුල් බිය ගැන්වීම සහ ඔවුන් සෝදිසි කිරීම්ද අඛණ්ඩව සිදුවන ආකාරයද විස්තර කර තිබේ.
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත (OSA), ICCPR පනත, රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ පනත් කෙටුම්පත සහ අංක 9 දරන පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත ඇතුළුව අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, සංගමය සහ සාමකාමී රැස්වීම වැනි මූලික අයිතිවාසිකම් සීමා කරන අනෙකුත් නීති හෝ යෝජිත නීති සංශෝධනය කිරීම හෝ අවලංගු කිරීම සඳහා ද මෙම වාර්තාවෙන් ඉල්ලීමක් සිදුකර තිබේ.
වතුකරයේ මලයහ දෙමළ ප්‍රජාව ඇතුළු සියලු ශ්‍රී ලාංකිකයන්ට, විශේෂයෙන් දරිද්‍රතාවයෙන් දරුණු ලෙස පීඩාවට පත්වූවන් සහ වෙනත් අවදානම් සහිත තත්වයන් යටතේ සිටින පුද්ගලයන්ට, ආර්ථික අර්බුදයේ සහ වත්මන් ණය බරෙහි බරපතල බලපෑම් පිළිබඳව ද මෙම වාර්තාව විශ්ලේෂණය කර ඇත.
ආර්ථික, සමාජීය සහ සංස්කෘතික අයිතිවාසිකම් සාක්ෂාත් කර ගැනීමට අවශ්‍ය මූල්‍ය අවකාශය රජයට ලබා දෙන ලෙසත්, ජන ජීවිතයට අහිතකර ලෙස බලපාන රාජ්‍ය වියදම් කපා හැරීම හා අධික ලෙස බදු වැඩි කිරීම වැනි ක්‍රියා තුලින් රටේ මානව හිමිකම් බැඳීම් ඉටු කිරීම සහ ඒවා ක්‍රියාත්මත කරවීමේ හැකියාව අඩාල කිරීමට කටයුතු නොකරන ලෙසත්, ඒ සඳහා අවැසි සහය ලබා දෙන ලෙසත්, මහ කොමසාරිස්වරයා ජාත්‍යන්තර මූල්‍ය ආයතන සහ බාහිර ණය හිමියන්ගෙන් ඉල්ලා සිටි.
2025 ජුනි 23 වැනිදා සිට 26 වැනිදා තෙක් මෙරට නිල සංචාරයක නිතර වූ මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් සිය වාර්තාව මගින් තව දුරටත් ඉල්ලා සිටින්නේ යුද සමයේ සිදුවු ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් වින්දිතයන් හා ප්‍රජාව වෙත ඇති කළ දිගු කාලීන බලපෑම්වල සත්‍යතාව ද පිළිගනිමින් ක්‍රියා මාර්ග වලට එළඹෙන ලෙසයි.
"මෙම ක්‍රියාවලිය ආරම්භ විය යුත්තේ, සිවිල් යුද්ධය අතරතුර රාජ්‍ය සහ ආරක්ෂක හමුදා නිලධාරීන් මෙන්ම, එල්ටීටීඊය වැනි රාජ්‍ය නොවන සන්නද්ධ කණ්ඩායම් විසින් සිදු කළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම්, අපයෝජන සහ අපරාධවල වගකීම පිළිගැනීමෙනි. එමෙන්ම, මෙම ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් වින්දිතයින් හා ප්‍රජාව වෙත ඇති කළ දිගු කාලීන බලපෑම්වල සත්‍යතාව ද පිළිගත යුතුය. ශ්‍රී ලංකා සංචාරයේදී වින්දිතයින්ගේ වේදනාකාරී සහ දුක්ඛිත තත්ත්ව දැනටත් පැහැදිලිව නිරීක්ෂණය කළ හැකි වූ අතර, සත්‍යය හා යුක්තිය අයදිමින් ඔවුන් සිදු කරන ඉල්ලීම් වලට දැඩි අවධානයක් යොමු කිරීම ද අත්‍ය වශ්‍යය වේ.''
ආරක්ෂක අංශයේ පුළුල් ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණයක් සහ ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන් සහතික කරන ආකාරයේ ව්‍යවස්ථාමය, නීතිමය සහ ආයතනික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ අත්‍යවශ්‍යතාව ද වාර්තාවේ අවධාරණය කර ඇත.
" ජාතික සමගිය ' පිළිබඳ දැක්ම සාක්ෂාත් කර ගැනීමටත්, විශේෂයෙන් අතීතයේ සිදු වූ මානව හිමිකම් උල්ලංඝනය වීම් නැවත සිදු නොවන බව සහතික කිරීම සඳහාත්, රජය මෙම පියවර අනුගමනය කිරීම ඉතා වැදගත් වේ," මහකොමසාරිස් වරයා සදහන් කරයි.
වගවීම, සංහිඳියාව සහ මානව හිමිකම් ආරක්ෂා කරමින් ඒවා පවත්වා ගෙන යාම සඳහා ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලයේ අඛණ්ඩ කැපවීම පිළිබඳව ඔහු තවදුරටත් අවධාරණය කර ඇත.
බරපතල මානව හිමිකම් උල්ලංඝන සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ වගඋත්තරදායකත්වය සහතික කිරීම සඳහා උතුරේ දෙමළ ජනතා නියෝජිතයන් කරන ඉල්ලීම් කෙරෙහිද විශේෂ අවධානයක් යොමු කර ඇති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානියා උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල හමුදාව විසින් අත්පත් කරගෙන සිටින ඉඩම් නිදහස් කිරීම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අවලංගු කිරීම සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දිගු කාලීන ව රඳවාගෙන සිටින සිරකරුවන් නිදහස් කිරීම හා ඔවුන්ගෙන් ඇතැමුන් දැන් දශක ගණනාවක් තිස්සේ සිරගතව සිටින ආකාරය සම්බන්ධයෙන් ද මෙම වාර්තාව මගින් අවධානය යොමු කර ඇත.
එමෙන්ම, ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තරව වගවීම අර්ථවත් කිරීමටත්, සංහිඳියා ප්‍රයත්නයන් සඳහා දායක වන ලෙසත් ජාත්‍යන්තර ප්‍රජාවගෙන් මෙම වාර්තාව මගින් තවදුරටත් ඉල්ලා සිටී.
“ජාත්‍යන්තර නීතිය යටතේ, සිදු වූ අපරාධ විමර්ශනය කිරීම, නඩු පැවරීම සහ වගවීම සහතික කිරීම සඳහා මූලික වගකීම ශ්‍රී ලංකා රජය සතු වුව ද, ජාත්‍යන්තර ක්‍රම මගින් මෙය සම්පූර්ණ කර ඒ සඳහා සහාය දැක්විය හැක.' යනුවෙන් ද වාර්තාව සඳහන් කරයි.
විශේෂයෙන්ම, වගවීම සම්බන්ධ කටයුතු ඉදිරියට ගෙන යාමටත්, සංහිඳියා ප්‍රයත්නයන් සඳහා දායක වන ලෙසත්, එමෙන්ම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලයේ ශක්තිමත් හැකියාව ඒ සඳහා උපයෝගී කර ගන්නා ලෙසත්, එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල්වලින් ඔහු වැඩි දුරටත් ඉල්ලා තිබේ.
Sri Lanka has opportunity to break from past – Türk
To read the full report :
A/HRC/60/21: - Situation of human rights in Sri Lanka - Comprehensive report of the United Nations High Commissioner for Human Rights - Advance unedited version
Broadcast quality video here :








