ෂුමෝනා සිංහා 1973 වසරේ, ඉන්දියාවේ බටහිර බෙංගාලයේ කල්කටා නුවර උපත ලද නමුත්, මේ වන විට ප්‍රංශ භාෂාවෙන් සාහිත්‍යකරණයේ නියැලෙන සාහිත්‍යවේදිනියකි.
ෂුමෝනාට වයස අවුරුදු විසි දෙක වන විට, ඇය ප්‍රංශ භාෂාව ඉගෙන ගැනීම ආරම්භ කරන්නේ, ප්‍රංශ සුරංගනා කතා එම භාෂාවෙන්ම කියවා දැන ගැනීමට තිබූ ආශාව නිසාය. එහෙත් ඉන් වසර හයකට පසු එනම් 2001 වසරේදී, ඇය පැරිසිය බලා යන්නේ, සෝර්බෝන් විශ්වවිද්‍යාලයේ ප්‍රංශ භාෂාවෙන් දර්ශනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය හැදෑරීම සඳහාය.
සාහිත්‍ය විචාරකයන්ට අනුව ෂුමෝනාගේ ජන්ම භූමිය වන ඉන්දියාවට පරිභාහිර, ලෝකයේ බොහෝ තැන්වල සාහිත්‍යයික සුළි කුණාටුවක් ඇති කිරීමට ෂුමෝනා සමත් වී ඇත. ඇය ප්‍රංශ භාෂාවෙන් ලියූ පළමු නවකතාව එළි දක්වා ඇත්තේ 2008 වසරේදීය. ඉන්පසු ඇය මේ දක්වා ප්‍රංශ භාෂාවෙන් සාහිත්‍ය කෘති හයක් එළි දක්වා ඇති අතර ඒ බොහොමයක් කෘති තුළ ඉන්දියානු ජන ජීවිතය, සංස්කෘතිය සහ දේශපාලනය පිළිබඳ ගැඹුරු සංවාද මතු කොට ඇත.
L’autre nom du bonheur était français (The other name for happiness was French) නමින් ඇයගේ සයවැනි කෘතිය ප්‍රකාශයට පත් වූයේ පසුගිය මාර්තු මාසයේය. එම කෘතිය තුළ මූලිකවම සාකච්ඡාවට බඳුන් කරන්නේ ඇය තම මව් බසින් නොව ප්‍රංශ භාෂාවෙන් සාහිත්‍යකරණයේ යෙදිම සඳහා ඇයව පොළඹවාලනු ලැබු කාරණා පිළිබඳවය.
ෂුමෝනාගේ කෘති බොහොමයක් මේ වන විට ජර්මානු, හන්ගේරියානු, ඉතාලි, ඉංග්‍රීසි සහ අරාබි භාෂාවන්ට පරිවර්තනය වී ඇත. එසේම ඇයගේ කෘතින් මෙන්ම සාහිත්‍යවේදිනියක ලෙස ඇයගේ භාෂා භාවිතය පිළිබඳ අධ්‍යනය කිරීම, ඒ පිළිබඳ පර්යේෂණ පැවැත්වීම ලොව පිළිගත් විශ්වවිද්‍යාලවල සාහිත්‍ය උපාධි පාඨමාලා තුළ එක් විෂය කේෂේත්‍රයක්, පර්යේෂණ මාතෘකාවක් බවට ද පත් වී ඇත. චිකාගෝ නුවර නෝත්‍ර දාම් විශ්ව විද්‍යාලයේ සහ පැරිසියේ ඇමරිකානු විශ්ව විද්‍යාලය යන අධ්‍යාපන ආයතන තුළ ඇයගේ කෘති අධ්‍යනය කිරීම සාහිත්‍ය උපාධි පාඨමාලාවල විෂය නිර්දේශ තුළට ද ඇතුළත් කොට ඇත. එම පාඨමාලා තුළ දි විශේෂයෙන් අධ්‍යනය කරනු ලබන්නේ පුද්ගල අනන්‍යතාව, විප්‍රවාසය, කාන්තාවකගේ ලිවීමේ කාර්යය, විදෙස් භාෂාවකින් පමණක් සාහිත්‍යකරයේ යෙදීම,සාහිත්‍යය සහ දේශපාලනය අතර ඇති සබැඳියාව වැනි කාරණා පිළිබඳවය. මේ වන විට ප්‍රංශය සහ ජර්මනිය යන රටවලින් ඇයගෙන් සිදු වී ඇති සාහිත්‍යයික සේවාව වෙනුවෙන් සම්මාන ත්‍රිත්වයකින් ද ඇය පිදුම් ලබා ඇත.
ඇය මේ මොහොතේ සිදුකරමින් සිටින සාහිත්‍යයික කාර්යය භාරයට අමතරව ඇය දේශපාලන ක්‍රියාකාරිනියක් ලෙස ද ප්‍රංශය තුළ කටයුතු කරයි. ඇය වර්තමානයේ ඉන්දියාව තුළ හිස ඔසවමින් සිටින හින්දුත්වා දේශපාලන ක්‍රියාකාරම්වලට බරපතල ලෙස විරෝධය පාන්නියක් පමණක් නොව ප්‍රංශ මාධ්‍යය තුළ ඒ පිළිබඳ ප්‍රබල හඬක් නඟන දේශපාලන ක්‍රියාකාරිනියක් ලෙස ද කටයුතු කරනු ලබයි.
පහතින් දැක්වෙන්නෙ newsclick.in/seema.com නම් වෙබ් අඩවිවල පළ වුනු ඇය සමඟ සිදු කරන ලද සම්මුඛ සාකච්ඡා ඇසුරින් සකස් කරන ලද සංවාද සටහනකි.
ඔබගේ ළමා කාලය සහ ඉන්දියාව සම්බන්ධයෙන් ඔබට දැනෙන අයිතිය පිළිබඳ හැඟීම ගැන යමක් පැවසුවහොත්?
මම ඉපදුනේ බුද්ධිමය දේවල් එක්ක ගනුදෙනු කළ මධ්‍යම පාංතික මව්පියන් සිටි පවුලක. මගේ මව උසස් පාසලක ගණිත ගුරුවරියක්. පියා ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක්. ඔහු මාක්ස්වාදියෙක්, කොමියුනිස්ට්වාදියෙක්, ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂයේ න්‍යයාචාර්යවරයෙක්. 1970 වසරේ ඔහුව දාමරිකයන් පිරිසක් විසින් ඝාතනය කරනු ලැබුවා.
ළමා කාලයේ මගේ පළමු මතකය වෙන්නේ පොත් කියවීම. මම පවුලේ එකම දරුවා වුණත් කවදාවත් මට තනිකමක් දැනිලා නෑ. පවුලේ එකම දරුවා නිසා මම උන්නෙ හැමතිස්සෙ අම්මා තාත්තා මට ගෙනැවිත් දෙන පොත් වටකරගෙන. මම කාටවත් කරදරයක් නොවී පොත් කියවමින් මගේ පාඩුවේ ඉන්න ලැබෙන එකට මම ගොඩක් කැමති වුනා මට මතකයි. මම කුඩා කාලයේ බොහෝ විට කියෙව්වෙ රුසියානු සුරංගනා කතා, කොමියුනිස්ට් බෙංගාලයේ ඒ පොත් අපට පහසුවෙන් සොයා ගත හැකි වුනා. ඒවා ඉතාමත් දර්ශනීය සිතුවම් සහිත මනාව සැළසුම් කරන ලද ඉංග්‍රීසියට සහ බෙංගාලි බසට පරිවර්තනය කරන ලද පොත්. ඒ පොත් මනසින් විදෙස් භූමියක මට ජීවත්වීමට ඉඩ හරිමින් මගේ පරිකල්පනය ඉතා හොඳින් ග්‍රහණය කරගත්තා. ඔබට තරමක් අමුතුයි කියලා හිතේවි, මම කොයිතරම් බර්ච් ගස් ගැන කියවලා තිබුණේ ද කිවහොත්, ඒ වෙද්දි කවදාවත් මම පියවි ඇසින් නොදැක තිබුණු බර්ච් ගස මගේ ප්‍රියතම ගස බවට පත් වෙලා තිබුණා. ඊට අවුරුදු ගණනාවකට පස්සෙ මම ප්‍රංශයට ආ විට තමයි බර්ච් ගහක් ඇත්තටම පියවි ඇසින් දැක ගත්තෙ.
ඒවගේම කුඩා කාලයේ අපි අවුරුද්දකට දෙවරක් ඉන්දියාව හරහා සංචාරය කරනවා. මේ මොහොතෙ මට ප්‍රංශ ලේඛිකාවක් බවට පත් වෙන්න හැකි වෙලා තියෙනවා නම් එයට ඉඩ කඩ ලැබුණේ මම කුඩා කාලයේ සිට යොවුන් විය දක්වාම ඉන්දියානු ජන ජීවිතය, බෙංගාලි භාෂාව සහ එහි සාහිත්‍යයත් ඉතා උද්වේගයෙන් යුතුව ඇසුරු කළ නිසා.
මට අනුව ඉන්දියාව කියන්නෙ බහු සංස්කෘතික, බහු ආගමික දේශයක්. එය බරපතල ලෙස සංගෘහිත සංකීර්ණ තත්වයක්. කවුරුන් හෝ දේශනා කරනවා නම් ඉන්දියාව ‘ඒක ආගමික ඒක ජාතීය’ රටක් විදියට ඔහු හෝ ඇය සැබෑ ඉන්දියානුවෙකු වෙන්න බැහැ.
මේ මෑතකදී විද්වතෙකු සහ සාහිත්‍ය විචාකරයෙකු මා ගැන පැවසුවේ ‘මම ප්‍රංශයට ආවත් මම කවදාවත් ඉන්දියාව අතහැර ආවේ නැහැ’ කියලා. එය මගේ තත්වය ඉතාමත් ලස්සනට විස්තර කිරීමක්. මම බෙංගාලි ජාතිකයෙක්. මම ඉන්දියානු ජාතිකයෙක්. මම පැරිසියානුවෙක්. මම ප්‍රංශ ජාතිකයෙක්. මම එකවිට යුරෝපියානුවෙක් සහ ආසියාතියෙක්. අවසාන වශයෙන් මම පෘථිවි වැසියෙක්. අපේ අනන්‍යතාවයන් අනම්‍ය නිර්වචනය කීරිම් මඟින් සීමා විය යුතුයි යන්න මම විශ්වාස කරන්නේ නැහැ, අපගේ පුද්ගලභාවය ගොඩනැඟීමේ ක්‍රියාවලිය තුළ අප සියළු දෙනා සංයුක්ත ජිවින්. අප සියළු දෙනා බහුආංශික, නිරන්තරයෙන් ගොඩනැඟෙමින් පවතින අසම්පූර්ණ පුද්ගලයන්...
ඔබ පවසා තිබෙනවා ඔබේ නිවහන ප්‍රංශය කියලා. එය තව පැහැදිලි කළොත්?
මම සාහිත්‍යය සහ දර්ශනය ඉගෙනගන්නයි ප්‍රංශයට ආවේ, ඒ දේශ සීමා පසු කරන්න නොව ඒ සීමා නොපෙනී යනවා දකින්න. මම මා දකින්නෙ මිශ්‍ර සංස්කෘතික සම්භවයක් ඇති ප්‍රීතිමත් සරන්නියක ලෙස. මගේ නිවහන ඉන්දියාව හෝ ප්‍රංශය නොව ප්‍රංශ භාෂාවයි. මම ප්‍රංශ භාෂාවෙන් ලියන එක ගැන කතා කළොත් මම ඒ භාෂාව තෝරා ගත්තේ නැහැ, ප්‍රංශ භාෂාව විසින් මා තෝරා ගනු ලැබුවා. ඒ නිසා මට වෙන විකල්පයක් ඉතිරිව තිබුනේ නැහැ. මම ජීවත්වෙන්නෙ හුස්ම ගන්නෙ ප්‍රංශ භාෂාවෙන්. මගේ පෙනහලු පිරෙන වාතය වගේ එය මගේ සිරුර පුරා සංසරණය වෙනවා.
මම ‘මව් භාෂාව’ කියන යෙදුම පාවිච්චි කරන්නේ නැහැ. ඒවගේම අපට තියෙනවා ‘පීතෘ භාෂාව’, ‘ආදරවන්තයන්ගේ භාෂාව’, ‘මිතුරන්ගේ භාෂාව’, ‘දේශපාලනයේ භාෂාව’, වගේ යෙදුම්. මම බෙංගාලි භාෂාව හඳුන්වන්වේ ‘ස්වදේශික භාෂාව’ ලෙස. ප්‍රංශ භාෂාව මම හඳුන්වන්නේ ‘අත්‍යවශ්‍ය භාෂාව’ කියලා, හරියට අත්‍යවශ්‍ය අවයවයක් වගේ. මගේ මුල් කාලීන ජීවිතයේ අනෙක් සියළු භාෂාවන් දැන් නින්දට වැටිලා, ගිලී ගිය ගංඟාවන් වගේ දැන් ඒවා පේන්නෙ නැහැ. ඉතින් ප්‍රංශ භාෂාව දැන් අත්‍යවශ්‍ය භාෂාව වෙලා තියෙන්නෙ, දැන් මම පරිකල්පනය කරන්නෙ ඒ භාෂාවෙන් පමණක් වන නිසා.
.
බෙංගාලී භාෂාවෙන් සාහිත්‍යකරණයේ නියැළුනු නව යොවුන් වියේ සහ තරුණ කාන්තාවක් ලෙස මට ප්‍රංශ භාෂාවෙන් ලිවීම ඇත්තටම විප්ලවකාරී ක්‍රියාවක් වුනා. මම කවදාවත් ඉංග්‍රීසි භාෂාවෙන්වත් නිර්මාණකරණයේ යෙදී තිබුනේ නැහැ. වඩාත් පහසුවෙන් අවබෝධ වෙන බෙංගාලි භාෂාව මෙන් නොව ප්‍රංශ භාෂාව තර්කාන්විතයි, විශ්ලේෂණාත්මකයි, එය භාෂාත්මක නව ගවේෂණයන් සඳහා විභවයක් තිබෙන භාෂාවක්. ප්‍රංශ භාෂාවෙන් ලිවීම මගේ චින්තන විධිය හැඩගැස්සුවා පමණක් නොවෙයි, කාව්‍යාත්මක පර්යේෂණ සිදුකිරීමට ද මට අවස්ථාවක් ලබා දුන්නා. ඒ නිසාම වාග් විද්‍යාත්මක සහ සාංදෘෂ්ටිකවාදී ගැටළු මගේ කෘති තුළ විෂය කාරණා බවට පත් වී තිබෙනවා.
ඔබ දැනටමත් ප්‍රංශ භාෂාවෙන් නවකතා හයක් ලියා තිබෙනවා. තව තවත් සාහිත්‍ය කෘති නිර්මාණය කරන්න ඔබට උත්තේජනය ලැබෙන්නෙ කොහොමද? ඒවගේම ඒ කෘති ඔබගේ මව් භාෂාව වූ බෙංගාලිවලට පරිවර්තනය වනු දැකීමට ඔබ කැමති ඇති?
මට ඕනෙ දිගටම ලියන්න විතරයි. මගේ නවකතා වැඩිහරියක්ම පසුබිම වෙන්නේ ඉන්දියාව, විශේෂයෙන්ම කල්කටාව. මාර්තු මාසෙ දාහහතර වැනිදා නිකුත් වීමට නියමිත මගේ මීලඟ නවකතාවත් එහෙමයි.
මගෙ තුන්වෙනි නවකතාව ‘කල්කටාව’( Calcutta )තුළින් කියැවෙන්නෙ, බෙංගාලි පවුලක මතක මං පෙත දිගේ යන ගමනක්. එයට අනුප්‍රාණය සැපයෙන්නෙ, දේශපාලනික ඉතිහාසය සමඟ සංකීර්ණ ලෙස එකට ගෙතී ඇති ඉන්දියානුවන් සහ බෙංගාලි ජාතියකන් වන අපගේ සාමුහික මතකය පිළිබඳ කතාවයි.
මගේ සිව්වන නවකතාව, Stateless කෘතිය තරුණ බෙංගාලි කාන්තාවන් තිදෙනෙකු වටා ගෙතුණු, තුන් ඇඳුතු නවකතාවක්. එක් කාන්තාවක් ජීවත් වෙන්නෙ, ප්‍රංශයේ ‘චාලි එබ්දෝ’ නම් සතිපතා සඟරාවට එල්ල කෙරුණු ප්‍රහාරයෙන් පසු ප්‍රංශය තුළ ඇතිවුනු සමාජ, වාර්ගික සහ ආගමික විභේදනයට මුහුන දෙමින්(චාලි එබ්දෝ යනු සතිපතා ප්‍රංශයේ නිකුත් කළ සඟරාවකි. එම සඟරාව ජාතිවාදි අදහස්වලට විරුද්ධ, කිසිදු ආගමික පාර්ශවයක් නියෝජනය නොකරන ලිබරල් චින්තනයක් වෙනුවෙන් පෙනි සිටි සඟරාවකි. එහි පළ වුණු මොහම්මද් නබි තුමාගේ කාටූනයකට විරෝධය පළ කරමින් ප්‍රංශ - ඇල්ජීරියානු මුස්ලිම් අන්තවාදී සහෝදරයන් දෙදෙනෙක් චාලි එබ්දෝ කාර්යමණ්ඩලයට එල්ල කල ප්‍රහාරයෙන් දොළොස් දෙනෙක් මිය ගියෝය). කල්කටා නගරයට ආසන්න ගමක වෙසෙන දෙවන කාන්තාව, 2000 වසරේ ඇතිවන සංකීර්ණ දේශපාලනික තත්වයන් හේතුවෙන් ලිංගිකව අපයෝජනයට ලක් වී ඝාතනය කෙරෙනවා. කල්කටාවේ ජිවත් වූ තුන්වැන්නී, ප්‍රංශ ජාතික යුවළක් විසින් ඇති දැඩි කරගන්නා අතර තම පැවැත්මේ මුල් සොයා ඇය නැවතත් කල්කටාවට පැමිණෙනවා.
මගේ පස්වෙනි නවකතාව, The Russian Testament(2000) තුළ මා සොයා යන්නේ, කල්කටාවේ සාහිත්‍යයික උරුමය, විශේෂයෙන් බෙංගාලි සහ ඉංග්‍රිසි භාෂා වලට පරිවර්තනය වුණු රුසියානු සාහිත්‍යයට බෙංගාලි ජාතිකයන් දැක්වු උද්වේගී කැමැත්ත පිළිබඳව. එහි එක්දහස් නවසිය විසි ගණන් වල, ටානියා නම් බෙංගාලි තරුණියක්, රාදුගා ප්‍රකාශන ආයතනයට අනුබද්ධ පුරෝගාමී ප්‍රකාශකයකු වන රුසියානු යුදෙව් කතෘවරයෙක් වෙත ආශක්ත වීම පිළිබඳ දැක්වෙන කතාන්දරයක් එහි කියැවෙනවා.
මගෙ නවකතා ජර්මානු, අරාබි, හංගේරියානු සහ මෑතක දී ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය වෙලා තියෙනවා. ඔව්! ඒවගේම මගේ කෘති බෙංගාලි භාෂාවට පරිවර්තනය වනවා දකින්න මම ගොඩක් කැමතියි.
ඔබගේ සාහිත්‍ය නිර්මාණ වෙනුවෙන් බොහොමයක් සම්මාන ඔබ දිනාගෙන තිබෙනවා. ඒවා ඔබට කෙතරම් නම් සුවිශේෂි ද?
ඒ මට මගේ ජිවිතය තුළ සතුට ප්‍රීතිය, දිරිය ඇති කරන, උසස් ලෙස පිළිගනු ලැබීමකට ලක්වීමේ, කුන්දේරා(මිලාන්) සහ බෙකට් (සැමුවෙල්) සමඟ මා සන්සන්දනය කිරීමේ මහඟු නිමේෂයන්. ඉතින් මට සිද්ධ වෙනවා නොනවත්වා ලියන්න. කිසිවක් නොතකා හැරිය යුතු නැහැ. සැබෑ සතුට මට ලැබෙන්නෙ ලියන විට දීයි, වඩාත් ගැලපෙන වචන මම සොයාගන්නා විට දීයි.
නරේන්‍ද්‍ර මෝදි යටතේ ඉන්දියාව තුළ වර්තමානයේ සිදුවන දේශපාලනික ක්‍රියාවලිය පිළිබඳ ඔබගේ දැක්ම කුමක් ද?
මෝදිගේ, භාරතීය ජනතා පක්ෂයේ සහ රාෂ්ත්‍රීය ස්වයෑම්සේවෑක් සංන්ග් සංවිධානයේ ( Rashtriya Swayamsevak Sangh (RSS)- ඉන්දියාවේ දක්ෂිණාශිංක හින්දු ජාතිවාදී අවිගත් ස්වේච්ඡා සංවිධානයකි) දේශපාලනික මතවාදය වූ හින්දූත්වා න්‍යාය පත්‍රිය අති භයානකයි.
ඔහු(මෝදී), හිට්ලර්ගෙන් සහ මුසෝලනීගෙන් උත්තේජනය ලැබී, 1925 වසරේ පිහිටුවන ලද, භාරතීය ජනතා පක්ෂයේ සිවිල් මව් දේශාරක්ෂක හමුදාබළ ඇණිය වූ RSS සංවිධානයේ යාවජීව සාමාජිකයෙක්. මෝදි සහ ඔහුගේ පක්ෂය, අමිත් ෂා, යෝගී ආදිත්‍යනාත් වැනි දේශපාලකයන් සහ පක්ෂවාදීන් නියැලී සිටිනේනේ හින්දු අන්තවාදී, පිටස්තරයන් නොඉවසන දේශපාලනයක. ඔවුන් ඉන්දියාව අනාගමික ප්‍රජානත්ත්‍රවාදී රාජ්‍යයක සිට, ආගමික නීති මඟින් පාලනය වන ශාසන රාජ්‍යයක් බවට පරිවර්තනය කරමින් සිටිනවා.
ගෞරි ලංකේෂ් වැනි ජනමාධ්‍යවේදීන් සහ තවත් බොහෝ අයට කළාක් මෙන්, ප්‍රතිවාදී හඬ මර්ධනය කිරීම් සහ ඝාතනය කිරීම් සිදුකරමින් සිටිනවා. මෝදීගේ ආණ්ඩුව විවේචනය කිරීම සළකන්නෙ කැරළිකාරී ක්‍රියාවක් විදියට. එය අනුමත කළ නොහැකි තත්වයක්. එය දැන් වන්දනාමාන කරන තත්වයකට පත් වෙලා. දුප්පත් අය විතරක් නොවෙයි, කිසිම උගත්කමක් නැති අය ඔවුන්ට ඡන්දය ලබා දෙනවා, ව්‍යාපාරික ධන කුවේරයන්, ප්‍රභූ පැළැන්තියට අයත් විශාල පිරිසක් වගේම මාධ්‍ය පවා ඔවුන්ට සහයෝගය දෙනවා. ධනවාදය අර්බුදයට යද්දි ෆැසිස්ටවාදය ඉදිරියට එනවා. ඒක තමයි දැන් ඉන්දියාවේ සිදු වෙන්නෙ. ඉතාමත් ව්‍යාධිජනක ජාතික අනුරාගයක් බොහෝ ඉන්දියානුවන් තුළ මම දකිනවා. එය අනුකම්පාසහගත තත්වයක්.
ඔබ හිතන්නෙ ඉන්දියාව තුළ අනාගමිකවාදය අවදානම් තත්වයකට පත්වෙලා ද?
මගේ තුන්වැනි කෘතිය, 2011- 2012 වසරවල ලියන ලද ‘කල්කටාව’නම් නවකතාව තුළ, එක්දහස් නවසීය අසූව ගණන්වල ඉන්දියාවේ පැවති දේශපාලනික තත්වය හැරෙන්නට මම පරිච්ඡේද තුනකම ලිව්වා බබ්රි මස්ජීද් විනාශය ගැන(1992 වසරේ දෙසැම්බර් හය වැනිදා හින්දු අන්තවාදීන් විසින් අයෝධ්‍යා නුවර බබ්රි මස්ජීද් මුස්ලිම් පල්ලිය විනාශ කර දැමූ අතර එය රට පුරා ආගම් සහ ජාතිවාදී ගැටුම් ඇවිලීමට හේතුවක් වූ අතර එම ගැටුම් වලින් රට පුරා පුද්ගලයන් 2000- 3000 කට අතර පිරිසක් මිය යන ලදි).
ඉන්දියාව තුළ අනාගමිකවාදය අවදානම් තත්වයක පවතිනවා විතරක් නොවෙයි, ඉන්දියාවේ බොහෝ ප්‍රදේශ අනාගමික තත්වයෙන් බැහැර වෙලා තියෙන්න. රට තුළ ව්‍යවස්ථාවේ කියැවෙන අනාගමික ප්‍රතිපත්ති වලට ගරු කිරීමක් දක්නට නැහැ. මෝදි, ඔහුගේ පක්ෂය සහ ඔහුගේ මිලීෂියාව විසින් ඉන්දියාව ලිබරල් නොවූ, ශාසන රාජ්‍යයක් බවට පත් කරමින් ඉන්නවා.
ඉන්දියාවේ පැන නැඟෙන සිදුවීම් ඔබගේ දෛනික ජීවිතයට බලපාන්නෙ කොහොම ද සහ එය ඔබගේ ලිවීම් තුළින් පිළිඹිබු වන්නේ කෙසේද?
මගේ නවකතා තුළින් විතරක් නොවේ, ප්‍රංශ පුවත්පත්වලට මම ලියන ලිපි සහ විවෘත ලිපි මඟින්, ප්‍රංශ මාධ්‍ය තුළ විකාශනය වන මගේ සම්මුඛ සාකච්ඡා තුළින්, ප්‍රංශයේ, එක්සත් රාජධානියේ, ඇමරිකා එක්සත් ජනපදයේ ජීවත්වන ඉන්දියානු ඩයස්පෝරාවට අයත් තව බොහෝ දෙනා වගේම මමත් මෝදි සහ ඔහුගේ පැසිස්ට්වාදී දේශපාලනයට විරුද්ධව සටන් කරනවා. මෝදි සම්භාවනීය අමුත්තෙක් ලෙස ප්‍රංශයට පැමිණි අවස්ථාවේ ඔහුට විරුද්ධව සංවිධානය කළ උද්ඝෝෂණයේ මමත් එක් සංවිධායකවරියක්. අපට ඉතා විශිෂ්ඨ මාධ්‍ය ආවරණයක් ලැබුණා. මානව හිමිකම් යන අදහසත්, ප්‍රංශය මානව හිමිකම් සම්බන්ධයෙන් දරන ගෞරවාන්විත තත්වයත්, මෝදිව ප්‍රංශය වෙත ආරාධනා කිරීම මඟින් අවමානයට ලක් කලා යැයි පවසමින්, මම ප්‍රංශ ජනාධිපති එමැනුවෙල් මැක්‍රොං වෙත විවෘත ලිපියක් පවා ලිව්වා.
ඉන් පසු එළැඹුණු සතියේ මට ජනාධිපති මන්දිරයට ආරාධනාවක් ලැබුණා, එය තරමක් උත්ප්‍රාසජනක සිදුවීමක්. මෝදි සම්බන්ධයෙන් ප්‍රංශ ටෙලිවිෂනයේ මා කළ සම්මුඛ සාකච්ඡා නිසා මට ටිවිටර් සහ වෙනත් සමාජ මාධ්‍ය තුළින් තර්ජන සහ අපහාස කිරීම් ද මා වෙත එල්ල වී තිබුණු කාලයක් එය.
පෙබරවාරි මාසයේ පළමු සතියේ මට ජායිපූර් සාහිත්‍ය උත්සවයට ආරාධනාවක් ලැබුණා, ඒ අතරවාරයේ මට ජායිපූර් ජාතික විශ්ව විද්‍යාලයට ද ආරාධනාවක් ලැබුණා. ටිවිටර් මඟින් ඒ පිළිබඳ දැනගත් ප්‍රංශයේ සහ ඉන්දියායේ විවිධ නගරවල ජිවත්වන හින්දූත්වා පාක්ෂිකයන් එයට එදිරිව සතුරු මාධ්‍ය ව්‍යාපාරයක් දියත් කළා.
ඔවුන් ඉල්ලා සිටියා විශ්වවිද්‍යාලයේ ඒ වැඩසටහන අවලංගු කරන ලෙස. ඉතින් ඒ ඉල්ලපු විදියටම ජායිපූර් ජාතික සරසවියේ මා සහභාගී වීමට නියමිත වැඩසටහන අවලංගු කළා. ඔවුන් ඒ තරම්ම බලපෑම් සහගත කණ්ඩායමක් බවට පත් වෙලා.
ජායිපූර් සාහිත්‍ය උත්සවයේ මගේ වැඩසටහනට ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබුණා. ඉන්දියාව පුරා, මෝදි ගේ හින්දු ජාතිවාදී දේශපාලනයෙන් කිසිදු ආකාරයක සතුටක් නොලබන පරම්පරා කිහිපයකට අයිති විශාල පිරිසක් ඉන්නවා. ඊට විරුද්ධව කැරළි ගහන පිරිසකුත් ඉන්නවා. මෝදි විරෝධී පිරිස් හඳුන්වන්නේ නැක්සල් වරු කියා නම්, ඔබට නගරබද, අර්ධ නාගරික, රට මැද, විදේශිය රටවල කියන මේ හැම තැනම නැක්සල්වරු මුණ ගැසේවී( නැක්සල්වරු යනු බටහිර බෙංගාලයේ සිටින මාවෝවාදී ගරිල්ලාවරුන් හඳුන්වන නාමයක්)
ඔබ මෝදි ට ප්‍රංශයට පැමිණීමට විරෝධය පාන්නෙ විදේශිය බිමක සිට. ඒ ඇයි?
හැම හේතුවකට ම වඩා මම සළකන්නෙ මෝදී ට සහ ඔහුගේ පක්ෂයටත් මිලීෂියාවටත් විරුද්ධව ක්‍රියාකරන එක මගෙ වගකීම කියලා. මට ලේඛිකාවක් ලෙස ප්‍රංශ ජනතාව ගරු කරනවා. මාධ්‍ය සහ බුද්ධිමතුන් ඉන්දියාවේ දේශපාලන වාතාවරණය පිළිබඳ මගේ විනිශ්චය අගය කරනවා. ප්‍රංශ ජනමාධ්‍යවේදීන් ඉන්නවා මෝදි සහ ඔහුගේ හින්දුත්වා දේශපාලනය පිළිබඳ හෙළිදරව් කරමින් අවදානම් දරාගන්න. අපි සේරම එකම බෝට්ටුවේ!
ඔබගේ මතයට අනුව ඉන්දියාව කොයි දෙසට ද ගමන් කරන්නේ?
මෝදිව නැවැත්වූයේ නැත්නම් ඉන්දියාව යන්නෙ ඒකාධිපතිත්වය රජ කරන ශාසන රාජ්‍යයක් වෙත, එය සිදුවන්නෙ දේශපාලනික ව්‍යුහයෙන් විතරක් නොවෙයි, ඉන්දිය අධ්‍යාත්මය තුළින් ද ඒ වෙනස්වීම සිදුවීමට නියමිතයි. බුද්ධිමතුන්, ප්‍රභූ ජනතාව, ශිෂ්‍යයන්, තරුණ පිරිසගේ ඔළු විෂ බීජ වලින් පිරිලා.
ඒ කෙසේ වෙතත්, සමහර වැඩකරන ජනතාව, ශිෂ්‍යයන්, ලේඛකයන්, කලාකරුවන් සහ ජනමාධ්‍යවේදින් විසින් ගෙන යන ප්‍රතිවිරෝධී අරගලය අපට යහපත් බලාපොරොත්තුවක් ගෙන එනවා.
සටහන - සුභාෂිණී චතුරිකා
2024.04.21 වැනි දින අනිද්දා පුවත්පතේ මුල් වරට පලවිය.
අවධාරණය කිරීම්, වීඩියෝ, ඡායාරූප අපෙන්