දකුණු කොරියානු ජනපති යූන් සුක් යියෝල් ට එරෙහි දෝෂාභියෝගය එරට පාර්ලිමේන්තුවේ දෙවන වරටත් සම්මත වීමෙන් පසු, ඔහු තවදුරටත් එරට ජනපති ධුරයේ රැඳී සිටීම අත්හිටවීමට රජය පියවර ගත්තේය.
ඒ අනුව දකුණු කොරියානු අග්‍රාමාත්‍ය, හැන් ඩක්-සූ (Han Duck-soo) එරට වැඩ බලන ජනපතිවරයා වශයෙන් පත් කෙරිණි. ඔහු එරට කීර්තිමත් වෘත්තීය තාක්ෂණවේදියකු ලෙස ප්‍රකට දේශපාලඥයෙකි.
දකුණු කොරියානු ව්‍යවස්ථාවට අනුව, ජනපති ධුරය යම් නෛතික අර්බුදයකට ලක්වූ අවස්ථාවෙක, අග්‍රාමාත්‍යවරයා, කෙටිකාලීනව, ජනපති ධුරයේ කටයුතු පිණිස පත් කෙරේ. හිටපු ජනපති යියොල් තව දුරටත් එම ධුරයේ කටයුතු කිරීම සුදුසු ද නැද්ද යන්න එරට ව්‍යවස්ථා අධිකරණයෙන් තීරණය කරන තෙක්, හැන් ඩක්-සූ ට තවත් මාස කිහිපයක් වැඩ බලන ජනපති ලෙස කටයුතු කිරීමට සිදු වේ.
දකුණු කොරියාව, දශක හතරක මෑතකාලීන දේශපාලන ඉතිහාසයේ අර්බුදකාරීම අවස්ථවක පසු වේ. එරට මේ වන විට අසල්වැසි උතුරු කොරියාවේ න්‍යෂ්ටික තර්ජනයට ද මුහුණ පා සිටී. එහි, දේශීය ආර්ථික ප්‍රගමනය ද, වෙනත් වසර වලට සාපේක්ෂව හීන වර්ධනයක පවතී.
පසුගිය දා, දකුණු කොරියාව තුළ හමුදා නීතිය පැනවීම සම්බන්ධයෙන් වෙනම පරීක්ෂණයක් සිදු කෙරේ. ඊට නව වැඩ බලන ජනපතිවරයාගේ කිසියම් හෝ සම්බන්ධයක් පැවතී ද යන්න ද එහිදී විමර්ශනයට ලක් වේ.
75 හැවිරිදි නව වැඩ බලන ජනපතිවරයා, මීට පෙර එරට ජනපතිවරුන් පස් දෙනකු යටතේ විවිධ තලයේ නායකත්ව ධුර හෙබවූවෙකි.
ඔහු වරක්, එක්සත් ජනපදයේ, දකුණු කොරියානු තානාපති ලෙස ද කටයුතු කළේය. හැන්, දකුණු කොරියාවේ මුදල් සහ වෙළඳ අමාත්‍යධුර ද හෙබවීය. එරට ප්‍රතිපත්ති සම්බන්ධීකරණ කටයුතු පිලිබඳ ජනපති ලේකම් ලෙස ද ඔහු කටයුතු කළේය. තව ද, ඔහු දකුණු කොරියානු අග්‍රාමාත්‍ය ධුරය ට අමතරව ප්‍රතිපත්ති සැලසුම් ශක්‍යතා මණ්ඩල කිහිපයක ද මුලසුන දැරූ දේශපාලඥයෙකි.

ඔහු, ආර්ථික විද්‍යාව පිලිබඳ හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ උපාධි ධරයෙක් වේ. ඔහු, 2022 වසරේ සිට දකුණු කොරියාවේ අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කරයි. 2007 සිට 2008 දක්වා ඔහු එරට සිය ප්‍රථම අග්‍රාමාත්‍ය ධුර කාලයේ සේවය කළ අතර 2022 වසරේ ඔහු එහි දෙවන ධුර කාලය ආරම්භ කළේය.
නව වැඩ බලන ජනපති, දකුණු කොරියාවේ හිතවතකු වන එක්සත් ජනපදය සමග සමීපව කටයුතු කිරීමේ හැකියාව ඇත්තෙකි. තවද, එක්සත් ජනපද- දකුණු කොරියා නිදහස් වෙළඳ ගිවිසුම අත්සන් කිරීමේ වෙසෙස් කාර්ය භාරයක් ඉටු කළ රාජ්‍ය තාන්ත්‍රිකයෙකි.
ඉංග්‍රීසි බස හැසිරවීමේ ව්‍යක්ත හැකියාවෙන් යුත් ඔහු, 2009 වසරේ එක්සත් ජනපදයේ දකුණු කොරියානු තානාපති ලෙස පත් කෙරිණි. වත්මන්, එක්සත් ජනපද නායක ජෝ බයිඩන් එරට උප ජනපති ධුරයේ කටයුතු කරන සමයේ හැන්, එරට දකුණු කොරියානු තානාපති ධුරයේ සේවය කළේය. ඔහු, සෞදි ඇරම්කො තෙල් සමාගමට අයත්, දකුණු කොරියානු පිරිපහදුවේ, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ද වූ අතර එරට රාජ්‍ය සේවයේ ද කටයුතු කළේය.

කෙසේ වෙතත්, හිටපු ජනපතිවරයා විසින් එරට හමුදා නීතිය ප්‍රකාශ කිරීම වැලැක්වීමට පියවර නොගැනීම හේතුවෙන්, හැන් දකුණු කොරියාවේ ප්‍රධාන විපක්ෂය වන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ චෝදනාවට ලක්ව සිටී. ඒ සම්බන්ධයෙන්, එම පක්ෂය ඔහුට එරෙහි චෝදනා ගොනු කර තිබේ. යම් හෙයකින්, එරට පාර්ලිමේන්තුවේ, ඔහුට ද විරුද්ධ දෝෂාභියෝගයක් හමුවේ, හැන් පරාජය වුවහොත්, දකුණු කොරියාවේ මීළඟ වැඩ බලන ජනපතිවරයා වන්නේ එරට මුදල් අමාත්‍යවරයාය.
එරට ව්‍යවස්ථාවෙන්, දකුණු කොරියානු නායකත්වයේ කටයුතු කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාට පැවරී ඇති බලතල සෘජුව විග්‍රහ නොකෙරේ. ඔහු සීමා සහිත බල ගැන්මක පිහිටා කටයුතු කළ යුතු බව දේශපාලන අධිකාරිය පවසයි. දෛනික රාජ්‍ය කටයුතු කිසිදු අඩපනවීමකින් තොරව, සාමාන්‍ය පරිදි පවත්වා ගැනීම ඔහු සතු වගකීම වේ. එහෙත්, වැඩ බලන ජනපතිවරයා ලෙස, ජනපති ධුරයේ සියලු බලතල සහ වගකීම් දැරීමට ඔහුට ව්‍යවස්ථාවෙන් බාධාවක් නැතැයි, එරට දේශපාලන විශ්ලේෂකයෝ පවසති.
(Reuters ඇසුරින් සටහන; හ ර් ෂ උදයකාන්ත විසිනි)






