leader s

අත්අඩංගුවට ගත් දකුණු කොරියානු ජනපති යූන් සුක් යියොල් ගෙන් ප්‍රශ්න කිරීමට රාජ්‍ය විමර්ශක නිලධාරීන් ගත් උත්සාහය අද,

දෙවන දිනටත් අසාර්ථක විය.

ඊයේ (15), එරට පොලිස් අත්අඩංගුවට පත් ඔහු, සියොල් අගනුවර රැඳවුම් මධ්‍යස්ථානය වෙත යොමු කෙරිණි.

සෞඛ්‍ය හේතූන් මත ඔහු අද ද, එම මධ්‍යස්ථානයේ රැඳී සිටි බව එහි සිටි සිය නීතීඥයා මගින් දැනුම් දී තිබේ.

මහජන ලේ වැගිරීමක් වළකාලනු පිණිස යැයි පවසා, ඊයේ, ඔහු අත්අඩංගුවට ගැනීමට පැමිණි 3000ක පමණ පොලිස් බල ඇණියක් ඉදිරියේ, යූන්, ඔහු විසින්ම පොලිස් භාරයට පත් විය.

ඔහුගෙන් ප්‍රශ්න කිරීමට විමර්ශකයින්ට ඇත්තේ පැය 48ක කාලයක් පමණි. ඊට වැඩි කලක් ඔහු අත්අඩංගුවේ රඳවා තැබීමට අවශ්‍ය නම්, ඔවුන් විසින් තවත් දින 20ක් පිණිස නව අධිකරණ වරෙන්තුවක් ලබා ගත යුතුය.

මේ අතර, ඔහු ධුරයෙන් නෙරපා හරින්නේද නොඑසේව, යළි ධුරයේ  ස්ථාපිත කෙරෙන්නේද යන්න පිලිබඳ විමසා බැලෙන, එරට ව්‍යවස්ථා අධිකරණයේ දෙවන නඩු විභාගය අද පැවැත්විණි.

පසු ගිය දෙසැම්බර 3 දා, එරට හමුදා නීතිය ප්‍රකාශයට පත් කිරීමට යූන් විසින් කටයුතු කිරීමත් සමග, දකුණු කොරියා ඉතිහාසයේ දශක ගණනාවකට පසු, දැඩි දේශපාලන අර්බුදයක් හට ගත්තේය.

හමුදා නීතිය පැවතියේද කෙටි වේලාවක් පමණි.

යූන්ට එරෙහි පාර්ලිමේන්තු විශ්වාස භංග යෝජනාවකින් ඔහු ධුරයේ කටයුතු කිරීම අත්හිටවිණි.

හමුදා නීතිය ද  යළි ඔහු විසින්ම ඉවත් කර ගැනීමට කටයුතු කෙරිණි.

 රාජ්‍යයට එරෙහි කැරැල්ලක් සංවිධානය කිරීම පිලිබඳ ව්‍යවස්ථා අධිකරණ නඩු විභාගයේදී, විපක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ නීතිඥයා, හිටපු ජනපතිවරයාව දැඩි විවේචනයට ලක් කළේය.

ඔහු වැන්නකු යළි, එරට සියලු හමුදාවන් භාර ප්‍රධාන අණ දෙන නිලධාරියා සේ පත් නොකිරීමට වග බලා ගත යුතු බව ද හෙතෙම ප්‍රකාශ කර සිටියේය.

එහෙත්, දෝෂාභියෝගය ජයගත්තේ ව්‍යවස්ථා උල්ලංඝනයක් හේතුවෙන් නොව, පාර්ලිමේන්තු බහුතරයේ කැමැත්ත මත, යූන් ජනපති ධුරයේ කටයුතු කිරීම අත්හිටුවීමට  බව ඔහුගේ නීතීඥයෝ තර්ක කළහ.

 රට හදිසි තත්ත්වයක පැවතීම හේතුවෙන්, යූන්, හමුදා නීතිය ප්‍රකාශ කළේ, "හොඳ හිතින්"  බව ඔහුගේ නීතිඥයෝ අධිකරණයේදී පැවසූහ.

යූන් වෙත ඉදිරිපත් කිරීමට විමර්ශකයෝ පිටු දොළහකින්  යුත් ප්‍රශ්න දෙසීයක ප්‍රශ්න පත්‍රයක් සූදානම් කර සිටියද, ඒ එකකට හෝ පිළිතුරු දීම හිටපු ජනපතිවරයා දිගින් දිගටම ප්‍රතික්ෂේප කරයි.

අද, එරට වේලාවෙන් ප.ව.2.00ට යළි ඔහුගෙන් ප්‍රශ්න කිරීමට නියමිතව තිබිණි. එහෙත්, ඊට සහභාගී නොවන බව ඔහු නීතීඥයින් මගින් ප්‍රධාන විමර්ශක කාර්යාලය වෙත දන්වා සිටියේය.

දකුණු කොරියාව තුළ රාජ්‍යයට එරෙහි කැරැල්ලක් සංවිධානය කිරීම, අධිකරණ තීන්දුවකින් ජීවිතාන්තය තෙක් සිර දඬුවම් හෝ මරණීය දණ්ඩනය හිමි අපරාධමය වරදකි.

ඒ සම්බන්ධයෙන් ජනපතිවරයාට ද මුක්තියේ බලය අහිමිය.

මනුෂ්‍ය ඝාතන වැනි අපරාධ සම්බන්ධයෙන් දකුණු කොරියාවේ අවසන් මරණ දඬුවම් ක්‍රියාත්මක වුයේ 1997 දී ය.

දකුණු කොරියාව, ආසියාවේ සිව්වන විශාලතම ආර්ථිකය ද වේ.

(විදෙස් පුවත් ඇසුරින් සටහන | හර්ෂ උදයකාන්ත විසිනි)


සබැඳි පුවත් :
දකුණු කොරියාවේ හිටපු ජනපති යූන් අත්අඩංගුවට

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්