1200 x 80 DMirror

 
 

පහසුවට “අන්තරේ” යැයි සඳහන් කෙරෙන දේශපාලන වශයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයට අවනත විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංවිධානය ගාලු මුවදොර අරගලයට හවුල් වන්නට යැයි පෙළපාලියෙන් පැමිණීම පොලීසිය විසින්

පසුගිය සඳුදා වැඩි සූදානමක් සහිතව හරස්කරනු ලැබූයේ ඔවුන්ට ඇත්තේ ප්‍රචණ්ඩකාරී ඉතිහාසයක් හෙයිනි.

එහෙත් ඔවුහු පොලීසිය අභිබවා පැමිණ ගාලු පාරේ අරලිය ගහ මන්දීරය ඉදිරිපිට අගමැති මහින්ද රාජපක්ෂට ඉවත් වන්නට යැයි බල කරමින් වාඩි ගත්හ.


 පසු දින උදයේ පොහොට්ටු පක්ෂය නියෝජනය කළ හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ සන්සදයේ සාමාජිකයෝ අරලිය ගහ මැදුරට කැඳවනු ලැබූහ. ඔවුන් ඇමතූ අගමැතිවරයා කිසිදු බලපෑමකට යටත්ව තමන් අගමැති ධුරයෙන් ඉවත් නොවන බව කීවේය.

පළාත් සභා සන්සදය ලෙස ඔවුන් අගමැති මහින්ද රාජපක්ෂ එම ධුරයේ දිගටම සිටිය යුතු යැයි ඒකමතිකව යෝජනාවක් සම්මත කළ බවත් එය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට භාර දීමට තීන්දු කළ බවත් මාධ්‍යවල වාර්තාකර තිබුණි.



මෙම සිද්ධියෙන් මෙතෙක් රාජපක්ෂ පවුලේ තිබූ සහෝදර බැඳීම් හා මහින්ද රාජපක්ෂගේ ආධිපත්‍යය පළුදුව ඇති බවත් කියැවෙයි. මහින්දගේ දේශපාලන අධිකාරිත්වය මේ ආණ්ඩුවේ ප්‍රායෝගිකව දකින්නට නොවීම ඊට ප්‍රධානම හේතුවය. ඒ අඩුව පිරිමසා ගැනීමට බැසිල් කැඳවා ගනු ලැබූවත් බැසිල්ට එරෙහිව දිගු කලෙක සිට ගොනුව තිබූ විරෝධය ඉන් අලුත් විය.


වීරවංශ, ගම්මන්පිල, වාසුදේව ත්‍රිත්වය මුල් වූ බැසිල් විරෝධයට ඔවුහු බැසිල්ගේ ඇමෙරිකානු හිතවාදී දේශපාලනයද එකතු කරගත්හ. එය මහින්දගේ වඩාත් විශ්වාසදායි පාර්ශවකරුවන්ගේ විරෝධයක්වීම, මහින්දගේ ආධිපත්‍යය තව වටයකින් හෑල්ලු වන්නට හේතු විය.




ආණ්ඩුව අර්බුදයට යැව් වස විස නැති කෘෂි වගා ව්‍යාපෘතිය


ආණ්ඩුව මෙලෙස අභ්‍යන්තර අර්බූදයකට තල්ලු වූයේ පසුගිය වසරේ මැයි මාසයේදී ජනාධිපති වටේ සිටි සිවිල් වියතුන්ගේ වස විස නැති කෘෂි වගා ව්‍යාපෘතිය වෙනුවෙන් රසායනික පොහොර ඇතුළු සියලු කෘෂි යෙදවුම් සම්පූර්ණයෙන් තහනම් කිරීම සමගින්ය.

අර්බූදයේ දිග පළල කතා වන්නට පටන් ගත්තේ මහ කන්නය ළඟා වෙත්ම පාරට පැමිණි ග්‍රාමීය විරෝධය පසු බිමෙහිය. කුඩා තේ වතු හිමියන්ද එකතුවීමෙන් එය විදේශ විනිමය හිඟයටද බලපෑවේය.



ආර්ථික න්‍යායාචාර්යවරුන්ද සිටි යහපාලන ආණ්ඩුවටද ණය ගැනීම මිස වෙනත් කිසිදු විසඳුමක් නොවූයෙන් 2014 අවසන් වනවිට ඩොලර් බිලියන 10 ට ආසන්නව තිබූ විදේශ විනිමය සංචිතය 2019 අවසානයේ ඔවුන් රාජපක්ෂලාට ආණ්ඩුව බාර දෙන විට ඩොලර් බිලියන 07.5 ට පමණ පහත වැටී තිබිණ.




''ආර්ථික අර්බූදයට තල්ලු වූ ආණ්ඩුවේ මහින්දට එතරම් වගකීමක් නොවීය''

ආර්ථික කළමනාකරණයක් නොදන්නා ජාවාරම්කාරයන් තීන්දු ගැනීමට හවුල් වූ රාජපක්ෂ ආණ්ඩුව යටතේ එය ශීඝ්‍රගාමීව තව පහත වැටිණ.

කොරෝනා වසංගතය ගෝලීය ආර්ථිකය ඇණහිටවූ හෙයින් රටේ අර්ථික අර්බූදය ඊට බාර දිය හැකි යැයි සිතූවත් ඒ කාලයේද තම ආර්ථිකය සාර්ථකව පවත්වා ගත් බංගලාදේශයෙන් ඩොලර් ඉල්ලා ගැනීමට සිදු වූ පසු ඒ කඩතුරාවත් ඉවත් විය.

රාජපක්ෂ ආණ්ඩුව යැයි කී පමණින් එය මහින්දගේ ආණ්ඩුවක් යැයි චිත්තරූප මැවුණාට, බලා සිටියදී ආර්ථික අර්බූදයට තල්ලු වූ ආණ්ඩුවේ මහින්දට එතරම් වගකීමක් නොවීය.

ඇතැම් විට දිග ඇදෙන ගෑස්, ඉන්ධන පෝලිම්, ඖෂධ හිඟ, යෝධ පිම්මෙන් ඉහළ යන අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල මහින්දටද ගැටලුවක්ව තිබෙන්නට ඇත. එය ගෝඨාගේ වගකීමක් යැයි කියා පෑවේ විනයක් සංයමයක් ඇතිව හිරුණිකා මුල පිරූ “ගෝඨා විරෝධය” සමගය.



“මිරිහාන විනාශය” ලෙස කතාවන මාර්තු 31 වැනි දින ප්‍රචණ්ඩ විරෝධයෙන් පසු අප්‍රේල් 09 වැනි දින තරුණන් ගාලු මුවදොර පිටියට පැමිණියේ “ගෝඨා ගෙදර යැවීම” ඉලක්ක කර ගෙනය.

එහෙත් ඒ නාගරික මැද පාන්තික සටන් පාඨයේ එතරම් ලකයක් නොවූයෙන් දින දෙක තුනකින් “රාජපක්ෂලා හොරා කෑ අපේ සල්ලි නැවත එකතුකර ගන්නට සහ රාජපක්ෂලා කුදලා හිරේ දමන්නට” ඔවුන් හඬ නැගුයේ ඔවුන්ගේ විරෝධය ජනප්‍රිය විරෝධයක් කර ගැනීමටය.



ඒ විරෝධය අලංකාර විරෝධයකි. එහෙත් එහි බරපතළ අවුල් තිබිණ. විරෝධතාකරුවන් සියල්ලම නායකයන් යැයිද ඔවුන් නිර්දේශපාලනික යැයිද කියූවෙන් එහි සිංහල-බෞද්ධ ජාතිවාදීන් සමග පෙරටුගාමී සමාජවාදී පක්ෂ ක්‍රියාකාරීන්ද, ජ.වි.පෙ ක්‍රියාකාරීන්ද, නාගරික තරුණ අවිනිශ්චිත ලිබරල්වාදීන්ද ඒ කිසිවකට නැති රාජපක්ෂ විරෝධීන්ද එකතු වූ පසු ආණ්ඩු විරෝධය සඳහා සියල්ලන් වගකීම් බාර ගන්නා නිශ්චිත පොදු ක්‍රියාමාර්ගයක් තීන්දු කිරීමට ඉඩක් නොතැබිණ.



ආණ්ඩුවේ අභ්‍යන්තර ප්‍රතිවිරෝධයද ඒ අතර ඔඩු දුවන්නට විය. ශ්‍රී.ල.නි.පද ඇතුළුව මන්ත්‍රීවරුන් 39 ක් ස්වාධීනව තීන්දු ගන්නේ යැයි කීවාට, ඔවුන් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට ඡන්දය නොදෙන බවට සාක්ෂිය වන්නේ 22 වැනි සංශෝධනය ලෙස ඔවුන් කතානායකවරයාට බාර දුන් ව්‍යවස්ථා සංශෝධනයයි.

එනිසා මේ පාර්ලිමේන්තුවේ 21 වැනි සංශෝධනයට හෝ දෝෂාභියෝගයකට හෝ ඉඩක් නැත. සර්ව පාක්ෂික ආණ්ඩුවකටද ඉඩ නැත. එහෙත් ඔවුහුද කැරලිකාර මන්ත්‍රී ත්‍රිත්වය මෙන්ම සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගැන කතා කරති.

image ad073a51a8
ගාලු මුවදොර විරෝධයේ “ගෝඨා ගෝ හෝම්” සටන් පාඨය යටපත් වෙමින් රාජපක්ෂ ආණ්ඩුවම ඉවත් විය යුතු යැයි යන්න ඉස්මත්තට පැමිණ ඇත්තේ ඔවුන්ටද ව්‍යවස්ථාමය ක්‍රියාවලියක් තුළ විසඳුම් සොයන්නට බල කෙරෙන හෙයිනි.


නිදහස් ලංකාවේ අතිශය ජනප්‍රිය සිංහල-බෞද්ධ නායකයකු වූ මහින්ද මේ වනවිට නාගරික බහුතරය අතර බරපතළ අප්‍රසාදයට පත්වූ නායකයකු ලෙස සමාජ මාධ්‍ය ජාලවල හුවා දැක්වීමට පත්ව ඇත්තේ “ගෝඨා ගෙදර යැවීම” අත හැරුණු පසුවය. ආණ්ඩුව ගෙදර යැවීමේ සටන් පාඨය සමගය. ගාලු මුවදොර විරෝධය දැන් ඉල්ලා සිටින අන්තර්වාර පාලනය වෙනුවෙනි.



ගාලුමුවදොර තරුණ විරෝධයේ කර්තෘවරයකු ඔවුන්ගේ ඉදිරි යෝජනා ගැන මහත් උජාරුවෙන් කළ විස්තරය අනුව විසඳුම් ලබා ගැනීමට ව්‍යවස්ථාමය ක්‍රියාවලියක් අත්‍යවශ්‍ය වන්නේය. ඔහු කතාව පටන් ගන්නේ “මම දැන් 225 ට යන්න කියන්නේ නැහැ” යැයි කීමෙනි. ඔහුගේ යෝජනාවලියේ මූලික හා ප්‍රධාන කරුණු වන්නේ,

01. ජනාධිපති, අගමැති සමග ආණ්ඩුව යා යුතුයි

02. ව්‍යවස්ථාමය අන්තර්වාර පාලනයක් තහවුරු කළ යුතුයි

03. පාර්ලිමේන්තුව විසින් ජනාධිපති පත් කළ යුතුයි. ඒ වෙනුවෙන් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ වුවත් ඔබට නම් යෝජනා කළ හැකිය

04. මැතිවරණ දේශපාලනයේ නොවුණු විශේෂඥයන් අවම දස දෙනකු හෝ ජාතික ලැයිස්තුවෙන් පත් කළ යුතුයි

05. මෙම විශේෂඥයන්ගෙන් සැදුම් ලත් ආර්ථික කමිටුවක් ඇමැති මණ්ඩලය වෙනුවට පිහිටු විය යුතුයි

06. ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයීමේ සැලසුමක් ආර්ථික කමිටුව විසින් ක්‍රියාත්මක කළ යුතුයි

07. සය මසකට පසු පැවැත්වෙන මැතිවරණය ජනාධිපතිවරණයක්ද නැතිනම් පාර්ලිමේන්තු මැතිවරණයක්ද යන්න තීන්දු කිරීම පාර්ලිමේන්තුවට බාර විය යුතුයි .


ගාලු මුවදොර පිටියේදී කළ එම ප්‍රකාශය මෙන්න



මේවා සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂවල එකඟතාවක් අනිවාර්ය වන්නේය. එවැන්නක් නොමැති හෙයින් ඒ සියල්ල හිස් සටන් පාඨ පමණය.



වඩා බරපතළ කාරණාව නම්, ඔවුන්ගේ දේශපාලන අනවබෝධයය. ඔවුහු ඇමති මණ්ඩලයක් වෙනුවට ආර්ථික කමිටුවක් සමගින්වන අන්තර්වාර පාලනයක් ගැන කතා කරති. අන්තර්වාර ආණ්ඩු පාලනයක් යනු පාර්ලිමේන්තුව විසුරුවා හැරි පසු නිශ්චිත කෙටි කාලයක් සඳහා සීමිත වගකීම් සහිතව ඊළඟ පාර්ලිමේන්තුව පත් කෙරෙන තුරු පවත්වා ගන්නා ඇමැති මණ්ඩලයකි.



කෙටියෙන් කිවහොත් ආණ්ඩුවක් යනු ඇමැති මණ්ඩලය වන්නේය. එබැවින් අන්තර්වාර පාලනයකට ඇමැති මණ්ඩලයක් අවශ්‍ය නැතැයි කීම, මූලික කාරණා නොදන්නවා යැයි කීමකි.

ජාතික ලැයිස්තුවෙන් මේ පාර්ලිමේන්තුවට මැතිවරණ දේශපාලනයේ නොවුණු විශේෂඥයන් ගෙන එන්නට කතා කිරීමත් එවැනිම නොදැනුවත්කමකි. ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් පත් කළ පසු ඔවුන් ස්ව කැමැත්තෙන් ඉල්ලා අස් නොවන්නේ නම් පත් කළ පක්ෂයටද ඔවුන් ඉවත් කළ නොහැකිය. එබැවින් මැතිවරණ දේශපාලනයේ නොවුනු විශේෂඥයන් ජාතික ලැයිස්තුවෙන් පත් කිරීම සුන්දර හිතලුවක් පමණි.

ඔවුන් කියන අයුරු විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්නේ නම්, අන්තර්වාර පාලනය අවසානයේ පැවැත්වෙන මැතිවරණය ජනාධිපතිවරණයක්ද මහ මැතිවරණයක්ද යන්න තීන්දු කිරීම පාර්ලිමේන්තුවට බාර කිරීමේ අර්ථය කුමක්ද? එයින් කියවෙන්නේ විධායක ජනාධිපති ධුරය මුළුමනින් අහෝසි නොකිරීමය. නැතිනම් ජනාධිපතිවරණයක් පැවැත්වීමේ යෝජනාව විහිළුවකි.



ඉතිරිවන ඊළඟ ප්‍රශ්නය වන්නේ “ජනාධිපති, අගමැති සමග ආණ්ඩුව යා යුතුයි” කියූ පමණින් නොයන විට, ඔවුන්ගේ විසඳුම කුමක්ද? යන්නයි. රාජපක්ෂලා ආණ්ඩු බලයෙන් ඉවත් කිරීම හා විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම යෝජනා දෙකකි. 



ව්‍යවස්ථාමය පියවර මගින් රාජපක්ෂලා ඉවත් කළ හැක්කේ ,

(1) ජනාධිපති ඉවත් කිරීමේ දෝෂාභියෝගය සහ 
(2) රාජපක්ෂ ආණ්ඩුව ඉවත් කිරීමේ විශ්වාසභංග යෝජනා මගින්ය.

පළමුව දෝෂාභියෝගය ගැන කතා කළහොත් කතානායකට දෝෂාභියෝගයක් බාර ගැනීමට සමස්ත මන්ත්‍රී සංඛ්‍යාවෙන් තුනෙන් එකක්, එනම් මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 75 ක් අත්සන්කර තිබිය යුතුය. එය සම්මත කිරීමට තුනෙන් දෙකක බහුතර ඡන්දයක් අවශ්‍ය වන්නේය. මේ පාර්ලිමේන්තුවේ ඒ සඳහා වන මන්ත්‍රී සංඛ්‍යා ලබා ගැනීමට ගාලු මුවදොර විරෝධතාකරුවන්ගේ උත්සාහය කුමක්දැයි නොදනිමි. එහෙත් දෝෂාභියෝගයකින් කෙරෙන්නේ ජනාධිපති ඉවත් කිරීම පමණි. විධායක බලය අහෝසි කිරීමක් නොවේ.

විශ්වාස භංගයකින් ආණ්ඩුව ඉවත් කළ හැකිය. එහෙත් ඉන් ජනාධිපති ඉවත් කෙරෙන්නේ නැත. ආණ්ඩුව පරාජය වුවහොත් විපක්ෂයට පාර්ලිමේන්තුවේ ඉතිරි කාලය සඳහා ආණ්ඩු පාලනය ගෙන යා හැක. එය “අන්තර්වාර” හෝ “භාරකාර” ආණ්ඩුවක් නොවන්නේය. විපක්ෂය ඒ සඳහා ඉදිරිපත් නොවන්නේ නම්, පාර්ලිමේන්තු මැතිවරණයකට යා යුතුය.



ඉතාම නිරවුල් කතාව නම්, සිය ධුර කාලය සම්පූර්ණ කිරීමේ තීන්දුවක ඉන්නා රාජපක්ෂලා ගාලු මුවදොර නියමුවන්ගේ යෝජනා විසින් ඉවත් කළ නොහැකිය යන්නය. රාජපක්ෂ ආණ්ඩුව ඉවත් කිරීමේ වුවමනාවක් සජිත් ප්‍රේමදාසටද නැත. ස.ජ.බට මෙන්ම ජ.වි.පෙටද මේ ආර්ථික අර්බූදයට විසඳුම් නොමැති හෙයින් ඔවුහු මේ මොහොතේ සර්ව පාක්ෂික ආණ්ඩු වලට හවුල් නොවෙති. සර්ව පාක්ෂික ආණ්ඩුවකට දෙමළ මන්ත්‍රීවරුන් හවුල් නොවන්නේ මේ විරෝධයේ කොතැනකවත් ඔවුන්ගේ ප්‍රශ්න ඇතුළුව නොමැති හෙයින් සිංහල බෞද්ධ ආණ්ඩුවක හවුල්කරුවන් නොවන්නටය.


2011 පෙබරවාරියේ කයිරෝ නුවර ටහ්රීර් චතුරශ්‍රයේ පදිංචි වූ සියල්ලන් නායකයන් යැයි කියූ නිර්දේශපාලනික යෝධ තරුණ විරෝධය හා 2017 ජනවාරියේ චෙන්නායිහි මරීනා වෙරළේ පැවති දෙලක්ෂයකට වඩා වැඩි තරුණන්ගේ සති දෙකක එවැනිම වූ “ජල්ලිකාටු විරෝධය” කුඩු පට්ටම්කර විසුරුවා හැරියාක් මෙන් ගාලු මුවදොර විරෝධතාව විසුරුවා හැරීමේ හදිස්සියක් දින 18 ට පසුවත් රාජපක්ෂලාට නැත්තේ එනිසා විය හැක.





''ගාලු මුවදොර විරෝධය එකම තැන කැරකැවෙන තත්ත්වයකට පත්ව ඇත''

mmdfdsf

පිළිගත්තත් නොගත්තත් ගාලු මුවදොර විරෝධය එකම තැන කැරකැවෙන තත්ත්වයකට පත්ව ඇත. ඊළඟ පියවර ගැන යෝජනා වහා සාකච්ඡා කළ යුත්තේ එනිසාය. දුර යා හැකි ජනතා විරෝධයක් සඳහා බහුතරයක් පිළිගන්නා නායකත්වයක් හා වැඩපිළිවෙළක් නොමැති නිසාය.



ඊළඟ පිම්ම සඳහා සමාජය හමුවේ සුජාත බවක් ලබා දිය හැකි අරමුණක් වෙනුවෙන් නොබියව ඉදිරිපත්වන, ඒකාබද්ධ නායකත්වයක් තහවුරු විය යුතුය. ගාලු මුවදොර විරෝධයට නැත්තේ එවැනි නායකත්වයකි. අවශ්‍යව ඇත්තේ එවැනි නායකත්වයකි.

 එය සාක්ෂාත් කර ගත හැක්කේ මේ වනවිට ගාලු මුවදොර හා ඉන් බැහැරව මෝදුවන පුළුල් අපේක්ෂා ඇතුළත් කෙරෙන වැඩපිළිවෙළක් ඉදිරිපත් කිරීමෙනි. එය මෙවැන්නක් විය යුතුය.


01. තමන්ගේ විසඳුම් සාකච්ඡා කිරීමට පාර්ලිමේන්තුවෙහි නියෝජනය වන පක්ෂ සමග නොපමාව දිනයක් වෙලාවක් ඉල්ලා සිටීම

02. එකඟතාවක් මත මේ පාර්ලිමේන්තුවෙහි සය (06) මසක කාලයකට තාවකාලික ආණ්ඩුවක් පිහිටු වීම - එකී තාවකාලික ආණ්ඩුවේ වගකීම් වනුයේ, අඩු ආදායම්ලාභීන්ට ඉන්ධන, ඖෂධ, අත්‍යවශ්‍ය භාණ්ඩ 2020 ජනවාරි මිලට ලබාදීමේ සැලසුමක් වහා ලබා දීම, ජනමත විචාරණයකින් තොර හැකි උපරිමයෙන් විධායක බලතල දෙමසක් ඇතුළත ව්‍යවස්ථා සංශෝධනයකින් පාර්ලිමේන්තුවට පවරා ගැනීම, 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් ක්‍රියාවට නැගීම හා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම

03. තාවකාලික ආණ්ඩුව අවසන් කරමින් පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයෙන් ශිෂ්ට සම්පන්න, ජනතාවට වගකියන්නා වූ නව පාර්ලිමේන්තුවක් තෝරා පත්කර ගැනීම සඳහා අපේක්ෂකයන්ට සහ දේශපාලන පක්ෂ වලට ඡන්ද දිනයට සතියකට පෙර තම මැතිවරණ අරමුදල් සම්බන්ධ සියලු තොරතුරු ප්‍රසිද්ධ කිරීම අනිවාර්ය කිරීමටත් සියලු අපේක්ෂකයන්ට තමන්ගේ හා තම පවුලේ වත්කම් හා බැරකම් ප්‍රකාශ නාමයෝජනා සමගින් බාර දීමට සහ වාර්ෂිකව මැතිවරණ කොමිසමට / දෙපාර්තමේන්තුවට බාර දීම හා ප්‍රසිද්ධ කිරීම අනිවාර්ය කිරීමට අවශ්‍යවන අයුරු අදාළ නීති මැතිවරණයට මාසයකට කලින් සංශෝධනය කිරීම

04. පත්වන ආණ්ඩුවේ පැවැත්ම යහපත් ලෙස පවත්වා ගැනීමට අවශ්‍ය මූලික රාජ්‍ය ප්‍රතිසංස්කරණයක් වශයෙන් අමාත්‍යාංශ ලේකම්වරුන් සහ ජාතික පාසල් විදුහල්පතිවරුන් ඇතුළු අනෙක් ආයතනවල ප්‍රධාන මාණ්ඩලික තනතුරු හොබවන සියල්ලන්ද තමන්ගේ සහ තම පවුලේ වත්කම් හා බැරකම් ප්‍රකාශ වාර්ෂිකව රාජ්‍ය සේවා කොමිසමට බාර දීමත් ඒවා රාජ්‍ය සේවා කොමිසම මගින් ප්‍රකාශයට පත් කිරීමත් අනිවාර්ය කෙරෙන ලෙස අදාළ නීති තාවකාලික ආණ්ඩුව විසින් තෙමසක් ඇතුළත සංශෝධනය කිරීම

05. ඉහත කාරණා සඳහා පාර්ලිමේන්තුවෙහි පොදු එකඟතාවක් ලබා ගැනීම වෙනුවෙන් ගාලු මුවදොර විරෝධතාවයෙහි සහ ඉන් බැහැරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් පක්ෂ නායකයන්ටත් බලපෑම් කිරීම

එවැනි විවෘත වැඩ පිළිවෙළක් සඳහා ගාලු මුවදොර විරෝධය වෙනුවෙන් අයිතිවාසිකම් කියන්නාවූ සියල්ලන් හවුල් වනු ඇතැයි අපේක්ෂා කරමු.


Kusal.jpg(කුසල් පෙරේරා)
දේශපාලන විචාරක හා මාධ්‍යවේදී

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
(උපුටා ගැනීම - lankadeepa.lk)
 
 


නිර්පාක්ෂික ජන අරගලයට සහය පලකිරීමේ අරමුණින් යුතුව සංවිධානය කළ සත්‍යක්‍රියාවේ ප්‍රකාශිත සම්මුතියේ යෝජනා 15

 


Leader Whats app

 

 

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58