බල ලෝභය වෙනුවෙන් අහිංසක මිනිස් ඝාතන සිදුකිරීම කතෝලික ජනතාවට නුහුරු පුවතක් නෙමෙයි. බලය රැකගැනීමට,  ක්‍රිස්තුස්වහන්සේව සහ මුල් කිතුනු සංඝයේ ශ්‍රාවකයන්වත් ඝාතනය කරන්නට විදේශිකයන් සමඟ එකතුවී කුමන්ත්‍රණ කෙරූ ජුදා නායකයින් ගැන අපට අමතක නැත.


පාලන බලය තම පවුල තුළම තියාගන්නට බිළිඳුන් දහස් ගණනින් මරාදැමූ හෙරෝද්ලා ගැන අපිට හොඳහැටි මතකය.

ඉතිහාසය පුරාම විවිධ පාලකයන්ගේ බල ලෝභය නිසා ජීවිතයෙන් වන්දිගෙවූ ප්‍රාණපරිත්‍යාගීවරුන් ගැන අපි සිහිපත් කරන්නේ බැතිබර ගෞරවයකින්.

අපරටේ ඉතිහාසය පුරාවටත් එවැනි ජීවිත දසදහස් ගණනක් මේ බිම මත ලේ වගුරුවා ඇත.

කතෝලික අපට අමතක කල නොහැකි වේදනාවක්....

Rosen antani                                                            කටුනායක රොශේන්, හලාවත ඇන්ටනී

පසුගිය කාලය පුරාවටම බලලෝභී දේශපාලනයේ පටු පරමාර්ථ නිසා ජීවිත දෙන්නට සිදුවූ කටුනායක රොශේන්, හලාවත ඇන්ටනී වැනි බොහෝදෙනාද කතෝලිකයන් බව අපි අමතක නොකල යුතුයි. රතුපස්වල සිදුවීමේදී දේවස්ථානය ඇතුලටම පැමිණ පහරදුන් බව ප්‍රධාන මාධ්‍ය වසන් කිරීමට උත්සහ කලද එය කතෝලික අපට අමතක කල නොහැකි වේදනාවකි.

එසේ දිගහැරුණු සිදුවීම් මාලාවේ අවසන් පරිච්ඡේදය වූයේ ලොවක් හඬවමින් ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානයත් සමඟම දෙව්පිය තුරුලට ගිය 300ට ආසන්න කතෝලික සහ කිතුනු බැතිමතුන් පිරිසයි. ඒ පසුගිය අප්‍රේල් මාසෙ 21 වෙනිදා.

එසේ මියගිය ප්‍රාණපරිත්‍යාගීන් වෙනුවෙන් අපි ගැඹුරින්ම කම්පාවන අතරම ඔවුන්ගේ මරණය වෙනුවෙන් අපි අප්‍රමාණව ණයගැති වෙමු. ඔවුන්ගේ පවුල් සියගණනක් තවමත් ශෝකයෙන් කම්පිතව නතරවූ තැනම නැවතී සිටිති.

ඒ සැම වෙනුවෙන් සාධාරණය ඉටුකරන්නට, අන් කවරෙකුටත් වඩා කතෝලික අපි ණය යුක්තියකින් බැඳීසිටින්නෙමු.


සත්‍යයන් දැන් දැන් හෙළිවෙමින් පවති:


එම පාස්කු ප්‍රහාරය පිළිබඳ විවිධ මට්ටමින් සිදුකෙරුණු බොහෝ පරීක්ෂණ අවසන් වෙමින්, අප කලින් නොදැන සිටි සත්‍යයන් දැන් දැන් හෙළිවෙමින් පවතියි.  වාර්ථා වූ සියල්ල දැන් උඩුයටිකුරු වෙමින් පවතියි. අපි කලින් සත්‍යය යැයි සිතා සිටි බොහෝ කරුණු දැන් ව්‍යාජ කාරණා බවට හැරෙමින් තිබේ.

සමස්ථ රටම ජනාධිපතිවරණ උණුසුමත් සමඟ, වෙනතකට සිය අවධානය යොමුකර ඇති මොහොතක, පාස්කු ප්‍රහාරය පිළිබඳ යතාර්ථය නපුරු කළුවරක සැඟවී යන්නටද බැරි නැත. ඉතිහාසයේ බොහෝවර සිදුවූ ලෙසම, මැතිවරණයෙන් පසු  පාස්කු ප්‍රහාරය හුදෙක් කොමිසමක වාර්ථාවක් ලෙස ඉතිහාසයට එකතුවීමටද, රටටම අමතක වී ගිය සටන්පාඨයක් පමණක් වීමටද බැරි නැත.

එසේ සිදු නොවීමටනම්, අපි නොනැවතී ප්‍රශ්න කල යුතුය. යුක්තිය ඉල්ලා නොනැවතී අධිකරණයට පෙරැත්ත කල වැන්දඹුව මෙන් නිදිවර්ජිතව යුක්තිය වෙනුවෙන් පෙනී සිටිය යුතුය. 

සුවිශේෂයේ සඳහන් වන පරිදි, " ඇයගේ පෙරැත්තය නිසා අසාධාරණ විනිසුරුවරයෙකුගෙන් වුවද සාධාරණය ඉටු කරගැනීමට ඇයට පුළුවන් විය." අප දිගින් දිගටම පෙරැත්ත කල යුතුය. අපගේ පෙරැත්තයේ ඝෝශාව වැඩිම විය යුත්තේ මේ මොහොතේදීය.
 109339368 36690dda 8b4f 4bbd a089 fddd1c83473c
අප හදවත් වල කැකෑරෙන ප්‍රශ්න ගණනාවකි.

1. පාස්කු ප්‍රහාරය සිදුවූයේ සැබවින්ම කාගේ වුවමනාවටද?

2. එම ප්‍රහාරය පිළිබඳ තොරතුරු ලැබී තිබියදීත්, එය වළක්වා ගැනීමට රජය අපොහොසත් වුනේ ඇයි?

3. එම ප්‍රහාරය දඩබීමා කරගෙන, දේශපාලන හෙන්චයියන් ශුද්ධවූ සභාව තුලටත් රිංගාගෙන තිබේද?

4. කතෝලිකයන්ගේ පීඩාව මතින් අවස්ථාවාදීන්ට පාවඩ එළන්නට අපි ඉඩදිය යුතුද?


මේ ගැන කතාකිරීමේදී මුළින්ම සඳහන් කලයුතු වන්නේ, පාස්කු ඉරුදින ප්‍රහාරය වළක්වා ගැනීමට ඉඩප්ප්‍රස්තාව තිබියදී එය වළක්වා නොගැනීම ගැන පූර්ණ වගකීම පවතින රජය පැහැදිලිවම තමන් පිට පවරා ගත යුතුම බවය. ඒ නිසා වත්මන් රජයේ ක්‍රියාකලාපය ගැන කිසිඳු අනුකම්පාවක් හෝ අංශු මාත්‍රයක සැකයේ වාසියක් දෙන්නට උවමනාවක් අපට නැත.

ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයාව සහ ආරක්ෂක ඇමැතිවරයාව ආරක්ෂක කවුන්සිලයට නොකැඳවා විපක්ෂයේ මන්ත්‍රීවරුන්ව කැඳවීම ඉතා ප්‍රශ්න සහගතය. එමෙන්ම ඒ පිළිබඳව පාර්ලිමේන්තුව හා මහජනතාව දැනුවත් කිරීමට ආපොහොසත්වීම අගමැතිවරයාගේ වරදකි.

රජයේ ප්‍රධානීන් අතර ඇති නොගැලපීම්, පිල් බෙදීම් හා කඹ ඇදිලි නිසා ජාතික ආරක්ෂාව බිල්ලට දීම මෙරට දේශපාලන ඉතිහාසයේ බරපතලම පාවාදීමකි.

ප්‍රහාරයෙන් සුවිශාලම දේශපාලනික කැළල !

එක්සත් ජාතික පක්ෂය දැනටමත් එම දේශපාලන කඹඇදිලි වල ප්‍රතිවිපාක භුක්තිවිඳිමින් සිටිති. මෙම ප්‍රහාරයෙන් සුවිශාලම දේශපාලනික කැළලක් සිදුවූයේ ආණ්ඩුවේ එ.ජා.ප කණ්ඩායමටය. තව පරම්පරා දෙකක් යනකන්වත් ඒ කිලුට හෝදගන්නට ඔවුන්ට නොහැකිවනු ඇත. එය එසේ වීම හොඳය. ඒ ගැන අපට විවාදයක් නැත.

එහෙත් අපට ඇති බරපතලම පැනය, ආණ්ඩුව තුල වූ මෙම දුර්වලතාවය හරිහැටිම හඳුනාගෙන ඉතා සූක්ෂමව සැලසුම ක්‍රියාත්මක කෙරුවේ කවුරුන්ද යන්නය. ඒ ජාත්‍යන්තර ත්‍රස්ත ජාලයක් මඟින්ද? දේශීය සන්නද්ධ කණ්ඩායමක් මඟින්ද? නැතහොත් අදිසි දේශපාලන හස්තයක් මඟින්ද?

මේ පිළිබඳව විමසා බැලීම කාලෝචිතය.

ප්‍රහාරය සිදුවන්නේ අප්‍රේල් මස 21වනදා උදෑසනය. 21වනදා රාත්‍රිය වනවිට බොහෝදෙනා නිගමනය කර තිබුණේ එම ප්‍රහාරය ISIS ත්‍රස්තවාදීන් මඟින් දියත් කරන ලද්දක් බවයි.

එහෙත් ප්‍රහේලිකාව වූයේ ISIS ත්‍රස්තවාදී සංවිධානය විසින් එකී ප්‍රහාරයේ වගකීම 22වනදා වනතුරුත් බාරගෙන නොතිබීමයි. එය විමතියට කරුණක් වන්නේ ISIS ත්‍රස්තයන්ගේ සෘජු මැදහත්වීමෙන් ලොව කොතැනක වුවද ප්‍රහාරයක් දියත් කල සැනින් එහි වගකීම බාරගෙන ඔවුන් ප්‍රකාශයක් නිකුත් කරන බැවිනි. එසේ කරන්නේ එවැනි ප්‍රහාරයන් ඔවුන් ආඩම්බරයෙන් සමරන නිසාවෙනි.
Isis 2019.11.09


එම ත්‍රස්තවාදී ජාලයට සම්බන්ධ අමාක් පුවත් සේවය ඔස්සේ ඔවුන් ශ්‍රී ලංකා ප්‍රහාරයේ වගකීම බාරගන්නේ 23 වනදාය. දින දෙකක් පුරාවට එම ප්‍රහාරය පිළිබඳව ඔවුනුත් මවිතව බලා සිටි අයුරකි. එම ප්‍රහාරය සිදුකල 'සටන්කාමීන්ගේ' යයි කියමින් ඔවුන් නිකුත් කල ඡායාරූපයද වැරදි එකකි. 

එම කාරණාව සහ තවත් කාරණා රැසක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ප්‍රහාරය පිළිබඳ අමාක් ප්‍රකාශයේ අඩුපාඩු රැසක් ඇතිබව, 'සයිට්' බුද්ධි විශ්ලේශක කණ්ඩායමේ ප්‍රධානී රීටා කාට්ස් මහත්මිය සැනෙකින් ප්‍රකාශයක් කරමින් ලොවටම නිරාවරණය කලාය.

 ඇයගේ අත්දැකීම් මත ඇය පෙන්වා දුන්නේ පාස්කු ප්‍රහාරය සිදුවී ඇත්තේ ISIS සෘජු මැදිහත්වීමකින් නොවන බවත්, ප්‍රහාරයෙන් පසුව, ඔවුන්ගේ දර්ෂනය පදනම් කරගෙන සිදුකල ප්‍රහාරයක් ලෙස එහි වගකීම බාරගැනීමට ඔවුන් උත්සහ කල බවත්ය.

මේ බව තවදුරටත් සනාථ කරමින් සති කිහිපයක් ඇතුලත ජාත්‍යන්තර ඔත්තු සේවා කිහිපයක්ද පෙන්වා දුන්නේ ප්‍රහාරයට සම්බන්ධ ජාතික තව්හීද් ජමාත් සංවිධානයට ජාත්‍යන්තර ISIS සංවිධානයත් සමඟ සෘජු සම්බන්ධයක් පැවැති බවට කිසිඳු තොරතුරක් නැති බවයි.

ඒ බව යළි වතාවක් පාස්කු ප්‍රහාරය විමර්ශනය කල පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව නිකුත් කල වාර්ථාවේද පැහැදිලිව දක්වා ඇත.

ISIS ත්‍රස්තප්‍රහාරයකට සහමුලින්ම වෙනස් වූවක්...

 ප්‍රහාරයේ පරිමානය ගැන සැලකීමේදීද එය ISIS ත්‍රස්තප්‍රහාරයකට සහමුලින්ම වෙනස් වූවක් බව පෙනී යයි. සියළු විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ, මෙකී ප්‍රහාරය ඉරාක සටන් බිමෙන් එපිට ISIS කණ්ඩායම සිදුකල සියළු ප්‍රහාරයන්ට වඩා විශාල එකක් බවයි. 

උදාහරණයක් ලෙස, ඔවුන් ලංකාවට වඩා ඉතා සංවිධානාත්මකව ක්‍රියාකරන ඉන්දියාවේ හෝ ඉන්දුනීසියාවේ පවා මෙවැනි ප්‍රහාරයක් සිදුකිරීමට මේ දක්වා ඔවුන්ට හැකි වී නැත. උදාහරණයක් වශයෙන්, 2018 මැයි මාසයේදී ඉන්දුනීසියාවේද දේවස්ථාන ගණනාවක් ඉලක්ක කර බෝම්බ සිදුකල බෝම්බ ප්‍රහාර මාලාවකින් මියගොස් තිබුණේ 13 දෙනෙකු පමණි.

එමනිසා ප්‍රහාරයේ පරිමාණය සලකා බලන විටද පෙනී යන්නේ මෙය ජාත්‍යන්තර ISIS ජාලයේ ක්‍රියාදාමයක් වීමට ඇති ඉඩකඩ ඉතා අඩු බවයි.

ප්‍රහාරය පිටුපස සිටියේ ISIS සංවිධානය නොවේ නම්, මීලඟට අපට ඇසීමට ඇති ප්‍රශ්නය නම් එය ලංකාව තුළ සංවිධාන ගතවූ අන්තවාදී කණ්ඩායමක ක්‍රියාවක්ද යන්නයි.

ජාතික තවුහීද් ජමාත් සංවිධානය:

ඒ කෝණයෙන් බලන විට අපට ඇඟිල්ල දිගුකිරීමට ඇත්තේ, මොහොමඩ් සහරාන් නායකත්වය දුන් ජාතික තවුහීද් ජමාත් සංවිධානයටයි.

ජාතික තව්හීද් ජමාත් සංවිධානය ආරම්භ වන්නේ 2013 වසරේදීය. වසර 5ක් වැනි තරම් කෙටි කලක් තුළ අතිශය සංකීර්ණ ප්‍රහාරයක් දියත් කිරීමට හැකියාව ඔවුන්ට කෙසේ ලැබුණේද යන්න විමතියට කරුණකි.

ලොව සංකීර්ණම හා බලගතුම ත්‍රස්ත සංවිධානයක් වූ LTTE සංවිධානයට මෙවැනි මෙහෙයුමක් දියත් කිරීමට වසර 13ක් පමණ සිටීමට සිදු විය.

 මරාගෙණ මැරෙණ ප්‍රහාරයක් සිදුකිරීම දීර්ඝ කාලයක් තිස්සේ සූදානම් විය යුතු ක්‍රියාන්විතයකි. එපමණකුත් නොවේ, ඔවුන් යොදාගෙන තිබූ පුපුරණ ද්‍රව්‍ය TATP නම්වූ ඉතා ප්‍රබල ඒවාය. මෙවැනි ප්‍රහාරයක් සිදුකිරීමේදී අවශ්‍ය සියල්ල සම්පාදනය කරගැනීමට සංකීර්ණ ජාත්‍යන්තර සැපයුම් ජාලයක සහයද ඔවුන්ට අවශ්‍ය වන්නේය.

මෙවැනි ප්‍රහාරයක් සිදුකිරීමට ප්‍රාථමික මට්ටමේ ආගමික සංවිධානයකට කිසිසේත්ම නොහැකිය. ඔවුන්ට ISIS සංවිධානයේ සෘජු සහයද නොලැබුණේ නම්, ඔවුන් පිටුපස සිටි යෝධ සාංවිධාන ශක්තිය කාගේ විය හැකිද?

සැකය නව දිශානතියකට !

mahinda srisena                                                                                කුමන්ත්‍රණකාරී ලෙස ආණ්ඩුව පෙරලා දැමීම....

දැන් අනාවරණය වී ඇති කරුණු මත අපගේ සැකය නව දිශානතියකට යොමු වී තිබේ.

 ප්‍රහාරයට මාස ගණනකට කලින්, ත්‍රිවිධ හමුදාවල බුද්ධි අංශ ප්‍රධානීන් හිටිහැටියේ වෙනස් කරනු ලැබීය. නීතිය හා සාමය අමාත්‍යංශයද ජනාධිපති යටතට පවරා ගනු ලැබීය. තව්හීද් ජමාත් සහ සහාරාන් ගැන සියළු විමර්ශන නවතා දමන ලෙස නියෝග නිකුත් විය.

 සහරාන් පසුපස දිගින් දිගටම හඹායමින් ඔහු අත් අඩංගුවට ගැනීමට වරෙන්තුවක් පවා ලබාගැනීමට එක් පොලිස් නිලධාරියෙකු කටයුතු කලේය. ඒ ජ්‍යේශ්ඨ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාය. ඔහුද කතෝලිකයෙකු බව සඳහන් කල යුතුමය.

සහරාන් අත්ඩංගුවට ගැනීමට සියළු කටයුතු සූදානම්ව තිබියදී නාමල් කුමාර නැමැත්තෙකු යොදාගෙන කරන ලද නාටකයක් පදනම් කරගෙන සහරාන්ට සිටි එකම බාධාව වූ නාලක සිල්වාව අත් අඩංගුවට පත් කරගනු ලැබීය. ඒ ගෝඨාභය මහතාව සහ ජනාධිපති තුමන්ව ඝාතනය කිරීමට තැත් කලේය යන චෝදනාව මතය.

ඊට පසුදිනම එනම් ඔක්තෝම්බර් 26 වන දින කුමන්ත්‍රණකාරී ලෙස ආණ්ඩුව පෙරලා දැමීමට කටයුතු කලේය. ආපසු හැරී බලන විට ඔක්තෝම්බර් 26වන දිනය අපට ඉතා වැදගත්ය. ඒ ඉහත කී සියළු තීරණ වලදී ජනාධිපතිතුමන් පිටුපස සිටි සැබෑ බළල් හස්තය කරිළයට ආ දිනයදැයි අපට සැක මතුවේ.


සැලැස්මේ දෙවෙනි කොටස!


එතැන් සිට දිගහැරෙන්නේ මේ සැලැස්මේ දෙවෙනි කොටසය. හිටපු ආරක්ෂක ලේකම්වරයා දූරයෙන් ඉවත්කොට සහරාන් හෝ ආරක්ෂක කවුන්සිලයේ සිදුවූ කිසිවක් ගැන ඉවක් බවක් හෝ නොතිබුණු හේමසිරි ප්‍රනාන්දු එම දූරයේ හිඳවීය.

2018 දෙසැම්බර් මාසයේ සිට නීත්‍යානුකූල රජය යළි කටයුතු ආරම්භකර සිටියද, ආරක්ෂක කවුන්සිලයට අග්‍රාමාත්‍යවරයා හෝ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයාට වැට බැඳිනි. ඒ වෙනුවට විපක්ෂය නියෝජනය කල මන්ත්‍රීවරුන් එක්කරගන්නා ලදී. ඒ කාගේ උවමනාවක් මතද?

සහරාන් ගැන සියල්ල දන්නා නාලක සිල්වා ඒ වන විටත් අත් අඩංගුවේය.

අප්‍රේල් මස කුරිරු ත්‍රස්ත ප්‍රහාරය එල්ල වන විට ජනාධිපති වරයා නිවාඩුවක් ගතකිරීමව සඳහා විදෙස් ගතවී සිටියේය. එසේ යන විට කිසිම හේතුවක් මත අගමැතිවරයාගේ උපදෙස් පිලිනොපදින්නට උපදෙස් නිකුත් කර තිබුණි. ඒ කාගේ උවමනාවකටද?


mahinda rajapaksa with gotabaya rajapaksa                                    'හරි' වෙලාව ළඟ ළඟම ඇවිත්  : පාස්කු ඉරිදා ප්‍රහාර ඔස්සේ අපේක්ෂකත්වයට....

ප්‍රහාරය සිදුවී සතියක් ගත වන්නටත් මත්තෙන්, එනම් අප්‍රේල් 27 වනදා ගෝඨාභය රාජපක්ෂ මහතා තමන් ජනාධිපතිවරනයට තරඟ කරන බව ප්‍රසිද්ධියේ නිවේදනය කලේය.

ඊට පෙර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේදැයි මාධ්‍යවේදීන් ඇසූ සෑම අවස්ථාවකම ඒ මහතා පවසා සිටියේ නිවැරදි මොහොත පැමිණි විට ඒ ගැන පවසන බවයි.

එකී 'හරි' වෙලාව ළඟ ළඟම පැමිණෙන බව ඒ මහතා දැන සිටියාක් මෙනි.

පාස්කු ප්‍රහාරය සිදු නොවන්නට ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනපති සටනට අවතීර්ණය වීමට කිසිඳු පසුබිමක් හැඩගැහෙනු ඇත්ද යන්න අපට අවිශ්වාසය.


 ගැටළු ගණනාවකට පිළිතුරු !

දැන් ආපසු බලනවිට අපට ඇති ගැටළු ගණනාවකට පිළිතුරුද ලැබෙමින් පවතී. සහරාන්ට මරාගෙන මැරෙන ප්‍රහාර පිළිබඳ අත්දැකීම් නැතුවට කරුණා අම්මාන්ට තරම් එවැනි ප්‍රහාර ගැන අත්දැකීම් මේ කලාපයේ කිසිවෙකු හට තිබේද? 

තව්හීද් ජමාත් සංවිධානයට ජාත්‍යන්තර ත්‍රස්තජාලයේ සම්බන්ධතා නැතුවට බොකෝ හරාම් සටන්කාමීන් සමඟ අවි ගණුදෙනු කලායයි පැවසෙන උදයංග වීරතුංග හට ඔනෑතරම් ජාත්‍යන්තර සම්බන්ධතා ඇත. අමුද්‍රව්‍ය සැපයුම් ජාල හැසිරවීමට කේ.පී හැර වෙන ජගතෙකු වේලුපිල්ලේ ප්‍රභාකරන්ටවත් සිටියේ නැත. දැන් ඒ සියල්ලෝ එක කඳවුරකය.

පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව, තමන්ගේ සහචරයන් අගරදගුරු මැදුර තුළම ස්ථානගත කරවා, අගරදගුරු තුමන්වද මුලාවේ දැමීමට උත්සහ කලේ කවුදැයි අපට අමතක නැත.

ඒ කොයි දේටත් වඩා දඩයම කරේ තියාගෙන යනවිට තුවක්කුව බැන්දේ කවුරුන්ද යන්න අපට දැනෙන්නේ, ඇතමුන්ගේ මැතිවරණ වේදිකාවල පාස්කු ඉරිදා ප්‍රහාරය හැරෙන්නට වැඩි යමක් කියැවෙන්නේ ඉතා කලාතුරකින් නිසාය.

බැටළු වෙස් ගෙන එන වෘක්කයන්...

අපි බැටළුවන් හඳුනමු, බැටළු සුවඳ හමන එන්ඩේරුන් හඳුනමු. බැටළු වෙස් ගෙන එන වෘක්කයන්වද හොඳින්ම හඳුනමු.

# කෙසේ වෙතත් අපි සටන් කරමු, නොනැවතී ප්‍රශ්න කරමු. මියගිය ජීවිත මැතිවරණ වේදිකාවේ කටකැස්මක් පමණක් වන්නට ඉඩ නෑර ඔවුන් වෙනුවෙන් අපි පෙනී සිටිමු.

සත්‍ය අපව නිදහස් කරනු ඇත.

(සමන් පි ප්‍රනාන්දුගේ FB පිටුවෙන් උපුටා ගැනිණ) 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්