මෙම ලිපිය ලිවීමට අදහස් කලේ මේ දිනවල මුහුණු පොතේ සංසරණය වන වික්‍රමබාහු සහෝදරයා පිළිබඳව පළවන ලිපිවලට මා දැක්වූ
කොමෙන්ටුවලට ප්‍රතිචාරයක් වශයෙන් කිහිපදෙනෙකුම ඊට වඩා කරුණු සහිතව ලිපියක් ලියනලෙස ඉල්ලා තිබුනු නිසාත්, විෂේශයෙන් කෝසල විට්ටච්චි සහ ප්‍රියශාන්ත රාජපක්ෂ සහෝදරවරුන්ගේ ඉල්ලීම් වලට දක්වන ප්‍රතිචාරයක් වශයෙනි.
ලාංකීය "වම" යනුම එහි අන්ත පසුගාමී වූත්, ආගමික හා මිත්‍යාමය අධිපතිවාදයේත් කරවටක් ගිලුනාවූත් එම කුණුවුනු සමාජයේම ඉහඳ පණුවන් බඩපිනුම් ගසන මඩගොහොරුවකි. මෙකී මඩගොහොරුවේ ඉතාම කළාතුරකින් පිපුනාවූ සියපත් පුෂ්පයන් අතරින් වඩාත්ම පැහැපත් සියපත් අතුරින්ද එකක් වන්නේ වික්‍රමබාහු කරුණාරත්න යැයි මා පැවසුවහොත් බොහෝ අධිපති වාමාංශික මත දරණ අය මාවෙත පොලු මුගුරු වලින් දමාගසනු ඇතුවාට සැකනැත. එහෙත් කුමන විරෝධතා මද්‍යයේද මට දැරීමට ඇති සත්‍ය එයයි.
ඇත්තෙන්ම ලාංකික වමට වාමාංශික ප්‍රභූවරයෙකු ලෙසත් වමේ නොවන ඇකඩිමක දැනුම් (academic knowledge) සම්භාරයක් කරපින්නාගෙන පැමිණි පළමු ක්‍රියාධරයා වික්‍රමබාහු නොවුනද, අවසන් ක්‍රියාධරයා වික්‍රමබාහු වියහැකියයි මම අනුමාන කරමි. එසේ වියහැකියයි මට විශ්වාස කිරීමට ඇදහිල්ලක් නොමැතිවූවද මට ඊට වලංගු වන තර්කයක් තිබේ.
වික්‍රමබාහු සහෝදරයාගේ පළල් වාමාංශික දේශපාලනයට සපුරා එරෙහි වූත්, ඊට අතට අසුවූ ගල් මුල් වලින් පවා දමාගැසූ දෘශ්ටිවාදයක් සහිත ව්‍යාපාරයක ක්‍රියාධරයෙක්ව සිටි මමද, එකල අප ලැගසිටියාවූද තවත් බොහෝ දෙනෙකු අදත් ලැගසිටින්නාවූද ඉතා පටු දැක්මකට අනුව අපි එදා වික්‍රමබාහු සහෝදරයා කියවා ගත්තේ මව්බිමේ ද්‍රෝහියෙක් ලෙසටය.
පුද්ගලික වශයෙන් මා ලැගසිටි ආස්ථානයෙන් ගැලවී වික්‍රමබාහු සහෝදරයා හරිහැටි කියවාගැනීමට මට එයින් පලාඒමට සිදුවුනා පමණක් නොව මාක්ස්වාදය පිළිබඳවත්, ධනවාදය පිළිබඳවත් ලොව බොහෝ ප්‍රාග්ඥයින් විසින් ලියන ලද සිංහල මුද්‍රණ රහිතව බොහෝ පොත් පත් ලිපි ලේඛන කියවාගැනීමට සිදුවිය. ඒ අනුව වික්‍රමබාහු සහෝදරයා හරිහැටි දේශපාලනිකව කියවා ගැනීමට මට වසර 30 ක් ගතවිය.
වික්‍රමබාහු සහෝදරයාට මා ලැඟසිටි දෘෂ්ටිවාදය තුලින් එල්ලවුණු එක් චෝදනාවක් නම් 88-89 කාලය තුල ඔහු ප්‍රමුඛ කංඩායම ආයුධ සහිතව ජවිපෙ විරෝධී කංඩායමක් ලෙසින් එයට සතුරුව සිටින ලදී යන්නයි. වාමාංශිකයෙකු ලෙස ඔහු සහ ඔහුගේ පක්ෂය ජනවාර්ගික ගැටළුව පිළිබඳව දැරූ ස්ථාවරයත් ඊට විසදුම් සහ යෝජනාත් බලහත්කාරය මගින් ප්‍රතික්ෂේප කොට තමන් දැරූ මාක්ස්වාදය තුල හෝ කොහෙවත් නොතිබූ අන්ත ජාතිවාදී අදහසකට පක්ෂවනලෙස ලෙසත් එසේ නොවන්නේ නම් "මරණ දඩුවම"ට යටත් කරනු ලබන බවට ලැබූ එවක ජනප්‍රිය අධිපති මතවාදයට බියනොවී නායකයෙකු ලෙස ඔහු තම කංඩායම ආරක්ෂා කරගැනීමට ආයුධ සමඟ සිටීම තෝරාගන්නා ලදී.
මෙසේ ද්‍රෝහීනට මරණ වරෙන්තුව නිකුත් කොට ඒවා පිලි නොපදින අයගේ බෙලිකපා, අනතුරුව දණහිසෙන් ඉහලට ඔසවා නොගෙන ඔවුන්ව ආදාහනය කලයුතුයැයි පැණවූ අධම පැසිස්ට් නීතිවලටත් අවනත නොවී ඔහු තම කංඩායමේ ආරක්ෂාව පතා ආයුධ ගැනීම ඉතාම සාධාරණය. වික්‍රමබාහු එවිට කලේ ආවුධ රැගෙන පාලකයින් සමඟ එක් නොවී මේ පැසිස්ට් වියරුව තමන් විසින්ම මුහුණ ගලේ ගසාගෙන විනාශවනතෙක් ඉවසා සිටීමයි.
වික්‍රමබාහු ඇතුළු ඔහුගේ පක්ෂය 1989 දී ඇතිවූ අතිභීෂණ වකවානුවෙන් පසුව 1994 දී ජවිපෙ විසින් යලි සංවිධානය වී නැවත මැතිවරණ දේශපාලනයට පිවිසුනද, එහි වැරදි න්‍යායාත්මක භාවිතාවන් විවේචනය කරමින්ම, තම සාමාජිකයින් මරාදමා තිබියදීත් ඔහු එදා ජවිපෙ නායකයින් හමුවී යම්කිසි වාමාංශික සංධානයක් මගින් මැතිවරණ තරඟ කිරීමට එක්වනලෙස දන්වා සිටීමට ජවිපෙ නායකයින් හමුවීමට පැමිණෙන ලදී. මගේ මතකයට අනුව එය සිදුවූයේ 94 ත් 2005ත් අතර කාලයේදීය.
වික්‍රමබාහු සහෝදරයාගේ අදහස වූයේ දෙපාර්ශවය අතර කවර වෙනස්කම් පැවතියද පොදු සතුරාට එරෙහිව එකඟවිය හැකි කරුණු මත තනි බලවේගයක් ලෙස එක්ව තරඟ කිරීමටයි. එවිට මේ අදහස එවක ජවිපෙ නායකයින් විසින් එතෙර සිටි සෝමවංශ සහෝදරයා වෙත ෆැක්ස් මාර්ගයෙන් දැනුම් දුන් අතර, සෝමවංශ සහෝදරයාගේ පිළිතුර වූයේ, මැතිවරණය ලංවනතුරුම ඔහු සමග සාකච්චා ඇදගෙන ගොස් ඔහුව "හලන" ලෙසයි. සෝමවංශ සහෝදරයා විශේෂ යෙදුමක් යොදාගෙන කීවේ, ඔහු ඇවිත් ඇත්තේ, "ගියොත් වචනෙ, ආවොත් අලියා" යන පදනමෙන් බවයි. මේ එදා ජවිපෙ නායකයා වාමාංශික හවුල් ගැන බැලූ ආකාරයයි. (එබැවින් අද හෝ ඉදිරි දිනක හෝ ජවිපෙ සමඟ වාමාංශික හවුලක් ඇතිකිරීමටට උත්සාහ කරන අයට මෙය හොඳ පාඩමක් වෙනු ඇත).
වරෙක එක්තරා දේශන මාලාවක් ගැන මගේ මතකයට අනුව නව නගර ශාලාවේ පවත්වන ලදී. විවාදයක් ස්වරූපයෙන් ගෙනගිය මේ වැඩසටහනට ජවිපෙන් සහභාගි වූයේ විමල් වීරවංශයි. (එකල විමල් වීරවංශ යනු ජවිපෙ සාමාජිකයින් දේවත්වයට මඳක් ඉහලින් තබාගෙන වන්ඳනා මාන කරනලද පිලිමයකි). මේ විවාදය සඳහා වික්‍රමබාහු සහෝදරයාද සහභාගිවූ අතර ඒ දිනවල මම නැවතී සිටියේ නිහාල් ගලප්පත්ති සහෝදරයාගේ මන්ත්‍රී නිලනිවසේ පක්ෂයට ලැබෙන ඉංග්‍රීසි ලිපි ලේඛන වලට පිලිතුරු සපයමින් සහ සමහර ලිපි සිංහලට පරිවර්තනය කරමිනි. එදා මේ විවාදය යනවිට විමල් කථාකරන විට ඔහුගේ කථාවට අප්පුඩි ගැසීමටත්, විසිල් ගැසීමටත් වෙනමම සෙට් එකක් යොදවන ලදී. මේ අය විසින් විමල් අදහස් ඉදිරිපත් කරනවිට ඉහලින් විසිල්, බල්ටි (තප්පුලෑම) සිදුකල අතර වික්‍රමබාහු කථාකරනවිට උසුලු විසුලු හා උපහාසජනක ප්‍රතිචාර දක්වන ලදී. මේ එදා ජවිපෙ දැක්වූ වාම සහයෝගිතාවයයි.
එසේම වික්‍රමබාහු සහෝදරයා විසින් එවක ජාතික ගැටළුව පිළිබඳව දැරූ ඉතාමත් දියුනු ස්තාවරය ලාංකීය වාමාංශික අධිපති මතවාදයට කෙසේවත් දිරවාගත නොහැකි විය. මාක්ස්වාදය හරිහැටි කියවාගැනීමක් හෝ නොමැතිව සිටි ඔව්හු "දේශප්‍රේමය" සහ "මව්බිම බේරාගැනීම" හා "ජාතිය ගලවාගැනීම" යන ලඟපිකප් වෙන පජාති ආස්තානවල ලගිමින් වික්‍රමබාහුලාගේ සුළු ජාතීන්ගේ අයිතීන් ආරක්ෂා කිරීමේ අදහස නිර්ධය ලෙස ගැරහුමට ලක් කරනලදී. එසේ සිංහල ජාතිවාදය පෝෂනය කරමින් ජාතිවාදයට යටවෙමින් මහින්ද රාජපක්ෂලා බල්ලන් නෑවීමට ගෙනියන්නාසේ යුද්ධයට ඇදගෙන යමින් සිටින විට වික්‍රමබාහුලා ඊට එරෙහිව ජනවාර්ගික ගැටළුව පිළිබඳව වුනු ජනප්‍රිය නොවන එහෙත් නිවැරදි විසදුමක් වෙනුවෙන් පෙනීසිටීමට හැකි මනා පෞරුෂයක් විද්‍යාමාන කරන ලදී.
ඇත්ත වශයෙන්ම මට වික්‍රමබාහු සහෝදරයා පිළිබඳව යම් ගෞරවයක් ඇතිවී තිබුනේ මා දැරූ ජවිපෙ දෘශ්ටිවාදය තුල සිටියදීමය. මා සරසවි ශිෂ්‍ය යෙකුව සිටියදී පේරාදෙනිය සරසවිය තුලදී ඔහු ගැන ප්‍රචාරයවී තිබූ කතාවක් නිසාය. එය කොතරම් නිවැරදි දැයි නොදන්නා නමුත් එය මෙසේය. ඔහු ඉංජිනේරු පීඨයේ ආචාර්‍ය වරයෙකු ලෙස කටයුතු කරන සමයේ එක් ශිෂ්‍යයෙකුට විභාගයෙන් පසු ඊලඟ වසරට යෑම සඳහා එක් විෂයක් සමත්වීමට ලකුණු එකක් මදිවී ඇත. ඔහුට මේ ලකුණ ලැබේනම් ඊලඟ වසරට යාහැකි නිසා මේ ගැන සලකාබැලූ වික්‍රමබාහු ආචාර්‍ය වරයා එම විෂය භාර මහාචාර්ය වරයා හමුවී එම විෂයට තව ලකුනක් ලබාදෙන ලෙස ඉල්ලා තිබිනි. නමුත් එම මහාචාර්ය වරයා ඔහුගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලදී. පසුව වික්‍රමබාහු ආචාර්‍ය වරයාගේ විෂය සමත්වීමට ලකුණු 14 ක් එම ශිෂ්‍යයාට අවශ්‍යව තිබී ඇතිනිසා වික්‍රමබාහු ආචාර්‍ය වරයා එම හිඟ ලකුණු 14 ම ලබාදෙමින් අදාල ශිෂ්‍යයා තව වසරක් නැවත ගතකිරීමට ඉඩනොදී ඔහුව ඊලඟ වසරට යවා තිබිනි.
ඉහත චේදයකදී මා වික්‍රමබාහු සහෝදරයා යනු ලාංකීය "වමේ" බිහිවූ මහා ප්‍රාග්ඥයන් අතර අවසන් බුද්ධිමතා වියහැකියැයි අනුමාන කරනු ලබන්නේ වික්‍රමබාහු සහෝදරයාගෙන් පසු බිහිවූ ඉන්ටලෙක්චුවල්ස් ලා බොහොමයක්ම වාමාංශික දැනුම ඉදිරියට ගෙනයනවා වෙනුවට අධිපති "වමේ" සරණාගතයන් බවට පත්වී තිබූ නිසාය.
බොහෝ වාමාංශික මත දරණ ආචාර්‍ය මහාචාර්ය වරුනට අද දවසේ තමන් දරණ නිදහස් ස්ථාවරයන් සමඟ කෙලින් සිටගැනීමේ පෞරුෂයක් නොමැති අතර "බහුතර මතය" සමගින් ඔවුන් මඩේ සිටවූ ඉන්නක් මෙන් එහාට මෙහාට වැනෙනු පෙනේ. තවත් බොහෝ ඉන්ටලෙක්චුවල්ස් ලා වාමාංශික මත දරණු ලබන්නේ ඔවුනට වේදිකාවක පොඩියම් (podiums) එක ලබාගැනීමේ අදහසිනුත්, නමක් හදාගැනීමේ අදහසකිනුත් සහ ආප්ප බාන අන්දමින් තම තමන් එලියට ලියා දමන පොත් අළෙවි කරගැනීමට අවශ්‍ය කරණ ඕඩියන්ස් එක හදාගැනීමේ අරමුනෙනුත් හැර වෙනත් අව්‍යාජ අරමුණකින් නම් නොවේ. එබැවින් මෙම දවසින් දවස වලපල්ලට යන අතිජාතික පසුගාමී "වම" තුල යලිත් වික්‍රමබාහු වැනි මහා ප්‍රාග්ඥයින් බිහිවීමේ ගතිකයක් නොමැතිබව කිවයුතුය.
එබැවින් මට කීමට ඇත්තේ, වික්‍රමබාහු වැනි ප්‍රභූපන්නයේ මහා ප්‍රාග්ඥයින් හා බුද්ධිමතුන් හට මේ ඉහත කී අතිජාතික "වමේ" විරෝධයේ සිට මෙම බුද්ධිමතුන් හරිහැටි කියවාගැනීමේ අවස්ථාව දක්වා පරතරය, එනම් කාල අවකාශය යනු වත්මන් අතිජාතික "වම" කරවටක් ගිලී ඇති අර්බුධයේ එක් ප්‍රකාශනයකි. එබැවින් මේ අර්බුධයෙන් මෙකී ලාංකීය "වම" ගොඩඒමට තවත් අඩුම තරමින් දශක තුන හතරක්වත් යායුතුව ඇත.
(රන්ජන සේනානායක)
සමාජ හා දේශපාලන විශ්ලේශක
(අධ්‍යයන කවය)
"89- සහෝදරත්වය"
(08/05/24)
සබැඳි ලිපි :
බාහු කුජීත කරන්න නලින් ද සිල්වාගේ මළගෙදර කොටළුවෝ බූරු ගසති - (ඥානසිරි කොත්තිගොඩ)