මහාචාර්ය ලියනගේ අමරකීර්ති විසින් පවත්වනු ලබු සාහිත්‍ය දේශනය පිළිබදව නිරීක්ෂනයන් කීපයක් සහිතව මවිසින් පසුගිය සතියේ පළකල ලිපියෙහි දෙවන කොටස ලෙසින් මෙයින් අවධානය යොමු කරන්නේ ‘නොගත් මං’ සම්බන්ධව ඔහු විසින් මතු කරනු ලබන තවත් කරුණු කීපයක් පිළිබදවය.
මා මීට පෙර ලිපියේ සාකච්ජා කළ ප්‍රධාන කාරණයක් වුයේ මෙරට ‘සිංහල භාෂා සහ සිංහල ජාතිකත්ව පුනර්ජීවන ව්‍යාපෘතීන්’ සම්බන්ධව අමරකීර්ති මතු කළ ප්‍රශ්න කීපයක් පිළිබදවය. මෙම ලිපියෙන් මූළික වශයෙන් අවධානය යොමු කරන්නේ අමරකීර්තිගේ දේශනයේ ඉදිරිපත් වෙන තවත් වැදගත් කාරණයක් වන ‘සිංහල භාෂා අධ්‍යයන කෙරෙහි ප්‍රාචීනවාදී ප්‍රවේශ’ යන අනු මාතෘකාවෙන් යුක්ත කොටස වෙතය. මේ කොටසින් ඔහු මතු කරන ප්‍රධාන කාරණා කීපයක් සම්බන්ධයෙන්ම යම් විමසීමක් කිරීම අවශ්‍යය. විශේෂයෙන්ම මෙම දේශනයේ මේ කොටස තුළ අමරකීර්ති ස්වකීය විවේචනය ස්ථානගත කරන්නේ මෙරට සිංහල සාහිත්‍යය හා සිංහල භාෂාව අධ්‍යයනයන්හි ඉතිහාසය වෙතටය. ඒ ඉතිහාසය තුළ ‘ගනු ලැබු මග සහ නොගත් මග’ පිළිබදවය.
මෙහිදී ඔහු මතු කරන සමහර ප්‍රශ්න ‘සිංහල පිළිබද මහාචාර්යවරයෙකු විසින් පළමු වරට අසන ප්‍රශ්න’ විය හැකි තරමේ විවාදාපන්න ඒවා යැයි කීමේ වැරැද්දක් නැත. රටක ශාස්ත්‍රීයභාවය වර්ධනයවීමටත් බුද්ධිමය ප්‍රබෝධයක් ඇතිවීමටත් යමක් පිළිබදව සාකච්ජා කිරීම සහ නිවැරිදි ප්‍රශ්න කිරීම් ද අදාළ බව අපි දනිමු. එහෙත් යටත්විජිත යුගයේ අගභාගය තුළ මෙරට මතුවු ‘සිංහල භාෂා හා සිංහල සාහිත්‍ය මුල්කරගත් ජාතිකවාදී ව්‍යාපෘතිය’ විශ්ව විද්‍යාලයක සිංහල අංශයක මහාචාර්යවරයෙකුගේම ප්‍රශ්න කිරීමකට ලක්වීම තරමක් නව්‍ය වු අත්දැකීමක් යැයි ද කිව හැකිය. මීට පෙර සිටි විෂය ප්‍රවීනයින් ගත් මග ‘නොගත යුතු වු මගක්’ ලෙසින් ස්ථානගත වන පරිදි මතුකරන මේ සමහර ප්‍රශ්න කිරීම් පිළිබදව විමසීම ඉතාමත් වැදගත් වන්නේ එමගින් අමරකීර්ති යෝජනා කරන ආකාරයේ ‘ගත යුතුව තිබු එහෙත් නොගත් මගක්’ ගැන සාකච්ජා කිරීමට ද අවස්ථාව ලැබෙනු ඇති නිසාය.
සිංහල භාෂා අධ්‍යයනය සහ ප්‍රාචීනවාදී බලපෑම්
මා ඉහතින් කීවාක් මෙන් අමරකීර්ති ස්වකීය දේශනයේ දෙවන අනු මාතෘකාව හරහා මතු කරන ප්‍රශ්න ගනනාවක්ම ඇත. ඔහුගේ දේශනය නොකියවා මේ ලිපිය කියවන අයට මා සාකච්ජා කරන සමහර කාරණයක් නොතේරී යා හැකිය. එහෙයින් ඒ අයගේ පහසුව සදහා අමරකීර්තිගේ දේශනයේ මා සදහන් කරන කොටසින් මතු කෙරෙන, (මගේ තේරුම් ගැනීමට අනුව) වැදගත් යැයි සිතෙන ප්‍රශ්න කීපයක් මුළින්ම මෙහි සාර්ංශගත කිරීමට අදහස් කරමි.
(a) පළමුවෙන් ඔහු මේ කොටසින් කියන්නේ ලංකාවේ ප්‍රාචීන අධ්‍යාපනයට ප්‍රාචීන දුර්ෂ්ටිය අඩංගු වී තුබු බවත් අපේ රටේ මුල් කාලීන සිංහල සාහිත්‍ය අධ්‍යයනය එම දුර්ෂ්ටිය සහිත ප්‍රාචීන අධ්‍යාපනයේම ගිලී තිබු බවත්ය. මේ තත්වය ගැන අවබෝධයක් මෙරට ශාස්ත්‍රීය කථිකාව තුළි නොතිබු බව පවසන අමරකීර්ති එඩ්වඩ් සයිද් ගේ Orientalism (1978) කෘතියේ තර්කය මගින් ඉදිරිපත් වූ ‘ප්‍රාචීනවාදය පිලිබද සංවාදය’ වැනි දේවල් සමකාලීනව මෙරට තුළ කෙරෙන සාකච්ජාවට අදාල කරගෙන නැති බව පවසයි.

මේ ආකාරයෙන් වර්තමාන සිංහල භාෂා හා සංස්කෘතික ක්ෂ්‍රේත්‍රයේ ශාස්ත්‍රීය සංවාදයට සයිද් විසින් එකතු කරනු ලබු තීසිසයක් වන “යටත් විජිත යුගයේ බටහිර පඩිවරුන් විසින් පෙරදිග පිළිබදව නිර්මාණය කරන ලද දැනුම යනු යටත්විජිතකරණයේම කොටසක් යැයි” යන තර්කය හරහා සිදු කෙරෙන ප්‍රාචීනවාදය පිළිබද විමර්ෂනයක් ආවේ නැති බවට ඔහු තර්ක කරයි. එසේම මිචෙල් ෆූකෝගේ බලය සහ දැනුම අතර සම්බන්ධතාවය පිළිබද තිසිසය මත සිට සයිද් විසින් ගෙනෙන ලද අදහසක් වන ප්‍රාචීනවාදය යනුම ‘යටත් විජිත හෙජමොනියේ අවශ්‍යතාවය සදහා පෙරදිග නියෝජනය කිරීම සදහා සිදුකරන ලද නිර්මිතයක්ය’ යන අදහස මෙරට සංවාදයට පැමිණියේ නැති බව ද අමරකීර්ති කියයි.
ඒ නිසාම දේශපාලන, මිල්ටරි සහ ද්රුෂ්ටිවාදි බලය තිබෙන අය තමන්ට අවශ්‍ය ආකාරයට “අන්‍යයා” පිළිබද දැනුම හා සංකල්ප රූප ගොඩනගා ගත් ආකාරය තේරුම් ගැනීමට හෝ විවේචනය කිරීමට සිංහල සාහිත්‍ය අධ්‍යයනය හා සිංහල සංස්කෘතික අධ්‍යයනය තුළ ඇත්තේ ඉතාමත් අඩු උත්සාහයක් බව අමරකීර්තිගේ අදහසය. (අවධාරණය මගේ).
(b) දෙවනුව ඉහත සදහන් තත්වයටම සම්බන්ධ කාරණයක් ලෙසින් අමරකීර්ති ඉදිරිපත් කරන තවත් අදහසක් වන්නේ ‘ලංකාව යනු සුවිශේෂ දිවයිනක් ලෙසින් හා මහනුවර යනු සිංහල බෞද්ධ සාරය ආරක්ෂා කරන මංජුසාවක් ලෙසින් සිදුකරන ලද කථිකාමය ගොඩ නැංවීම්’ මගින් යටත් විජිත පාලකයින් සහ ප්‍රාචීන උගතුන් විසින් “ලංකාව සුවිශේෂ අනන්‍යතා සහිත අඩවියක් සේ අධිඅවධාණයට ලක් කිරීමට” (පිටුව 12) යටත්විජිත දැනුම් කථිකාව දායක වු බවයි. (අවධාරණය මගේ)
(c) තෙවනුව මේ ප්‍රාචීනවාදී උගතුන් විසින් ආසියානු භාෂාවලින් ලියවුනු පැරණි අත් පිටපත් සංස්කරණය කරමින් සිදුකළ මැදිහත්වීම ආමන්ත්‍රණය කරන අමරකීර්ති එම සංස්කරණමය ව්‍යාපෘතින් නියෝජනය කරන්නේ අපේ සම්භාව්‍ය ව්‍යාඛ්‍යාන සම්ප්‍රදායේ දිගුවක්ද එසේත් නැතිනම් ප්‍රාචීනවාදි අධ්‍යයනවලින් ලද ආභාෂයක්ද එසේත් නැතිනම් ඒ දෙකෙහි ආලෝකය ලැබු ශාස්ත්‍රීය ව්‍යායමයක්ද යන ප්‍රශ්න නගයි.
(d) සිව්වෙනුව මේ කාරණයට සම්බන්ධව ඔහු මතුකරන තවත් ප්‍රශ්න ගනනාවක් තිබේ. ඒවා අතර (1) ‘සිංහල භාෂාව සහ සාහිත්‍යය ප්‍රාචීන අධ්‍යයන ක්ෂ්‍රේතය තුළ අධ්‍යයන වස්තුවක් සේ පවතින විට එය ප්‍රාචීනවාදයේ කොටසක්වීද?’, (2) ‘සිංහල භාෂා අධ්‍යයනය තුළ ඉන්දු ආර්ය සම්බන්ධතා “සොයා යාම” හරහා මෙරට ශාස්ත්‍රීය කථිකාව ඒකමානීයතාවයකට (one diamentioanl) ගියේද?’, (3) ‘ආර්ය ආක්‍රමණ න්‍යාය, ආර්ය ජනවරග න්‍යාය වැනි ප්‍රාචීනවාදි මාතෘකා හරහා සිංහල භාෂා සාහිත්‍ය අධ්‍යයනයන් වෙත වැටී ඇති ප්‍රාචීනවාදි හෙවනැලි වටහා ගන්නේ කෙසේද?’, (4) ‘මේ තත්වයන් නිසාම සාහිත්‍ය සහ භාෂාව ක්ෂ්‍රේත්‍රයේ උතුරු ඉන්දියාව සමග පමණක් ඒකාබද්ධ වූ අප වෙතින් දකුණු ඉන්දියාව හා මැලේසියාව, ඉන්දුනිසියාව වැනි ආසියාතික කලාපයන් අමතක වී ගියේද? වැනි ප්‍රශ්න ඉතාමත් වැදගත් ඒවා වේ. (අවධාරනය මගේ)
අමරකීර්ති මතුකරන මෙම මූළික ප්‍රශ්න සහ නිරීක්ෂණයන් පිළිබදව සාකච්ජා කිරීම පැති කීපයකින්ම වැදගත් බව මා මුළින් සදහන් කළෙමි. විශේෂයෙන්ම මෙරට යටත්විජිත ඉතිහාසය පිළිබදව හා පශ්චාත් යටත් විජිත දේශපාලන අවකාශය පිළිබදව ඉතිහාසය විෂය පැත්තෙන් මතුවී ඇති ආකාරයේ සංවාදයක් මෙරට සිංහල භාෂා හා සාහිත්‍යය සම්බන්ධයෙන් මතු නැති තත්වයක ඔහු මතුකරන ආකාරයේ ප්‍රශ්න සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම ඉතාමත් වැදගත් බව පැහැදිලිය.

විශේෂයෙන් ඉන්දියාවේ මෙන් ඉතිහාසකරණය සම්බන්ධ නව ප්‍රවේශයන් (subaltern studies වැනි වු) හරහා වු නව පිබිදීමක් මෙරට ඉතිහාසකරණයේ මතුවී නොමැති වුවත් එම විෂය සම්බන්ධව සාපේක්ෂ වශයෙන් වර්ධනයවූ සංවාදයක් සහ අධ්‍යයන වටපිටාවක් මෙරට විශ්විද්‍යාල ඉතිහාස අංශ හරහා මුල් යුගයේදී වර්ධනය වූ බව පිළිගත යුතු කාරණයකි. පේරාදෙණිය විශ්ව විද්‍යාලය, කොළඹ විශ්ව විද්‍යාලය, විද්‍යාලංකාර විශ්ව විද්‍යාලය වැනි ආයතන මුල් වී සිදු කළ ඉතිහාස අධ්‍යයනයන් හා විශේෂයෙන් පේරාදෙණි විශ්ව විද්‍යාලය මුල් කරගනිමින් ආරම්භ වු ‘ලංකා ඉතිහාසය’ අධ්‍යයනයන් මේ පිළිබදව සාක්ෂි වශයෙන් මෙහිදී අපගේ අවධානයට ගත හැකිය.
එසේම ජනාවාර්ගික අධ්‍යයනය සදහා ජාත්‍යන්තර ආයතනය හෙවත් ICES (Colombo and Kandy) ආයතනයන් මගින් ඉතිහාසය හා දේශපාලනය සම්බන්ධයෙන් සිදු කළ අධ්‍යයනයන්ද ඉහත සදහන් ක්ෂ්‍රේත්‍ර සම්බන්ධයෙන් ධනාත්මක මැදිහත්වීමකට සාක්ෂිය. විශේෂයෙන් ම මහාචාර්ය කේ එම් ද සිල්වාගේ මූළිකත්වයෙන් පැවති ICES -Kandy ආයතනයේ ජනවාර්ගිකත්වය සම්බන්ධ පර්යේක්ෂණ බොහොමයක් ජාතිකත්වය සම්බන්ධ ආදිකෘත එළඹුමක් (primodial approach) යෝජනා කළ බවක් පෙනී යන අතර ආචාර්ය නීලන් තිරුචෙල්වම් ගේ මූළිකත්වයෙන් පැවති ICES - Colombo ආයතනයේ ජනවාර්ගිකත්වය සම්බන්ධ පර්යේක්ෂන බොහොමයක් ජාතිකත්වය සම්බන්ධ නූතනවාදී එළඹුමක් (modern approach) යෝජනා කළ බවද පෙනී යයි. (මේ නිරීක්ෂනය සාමාන්‍ය තත්වයෙන් ඒ ඒ ආයතනවල 80 දශකයේ සහ 90 දශකයේ පත්‍රිකාවන් දෙස බැලීමෙන් පෙනීයන කාරණයක් මිස පරීක්ෂනයකින් ලබා ගත් ප්‍රතිඵලයක් නොවන බවද සදහන් කළ යුතුය.)

ඒ ආකාරයෙන් බලන විට අමරකීර්ති මේ දේශනය හරහා මැදිහත් වෙන සිංහල භාෂාව සහ සාහිත්‍යය යන කළාපයේ යටත් විජිතකරණයේ බලපෑම සම්බන්ධයෙන් සිදු කර ඇති විමර්ෂණයන් සහ අධ්‍යයනයන් සීමා සහිත බවට ඔහු ගෙනෙන නිරීක්ෂනය සමග එකග විය හැකිය. ඒ නිසාම ඒ ක්ෂ්‍රේත්‍රයේ අධ්‍යයනයන්ට අපගේ අවධානය යොමු කිරීම ඉතාමත් වැදගත් ය. මහාචාර්ය කේ. එන්. ඕ ධර්මදාස (Language, Religion and Ethnic Assertivness - 1992) සහ මහාචාර්ය සදගෝමි කෝපරහේවා (භාෂානුරාගයේ දේශපාලනය - 1999) වැනි බුද්ධිමතුන් භාෂාව සහ ජාතිකවාදය අදාළ ක්ෂ්‍රේත්‍රය සම්බන්ධයෙන් යම් ආකාරයක ‘ඇතුලත්වීම්වාදී කියවීම්’ (inclusive reading) සිදු කර ඇති බව පැහැදිලිය.
මේ සම්බන්ධයෙන් අමරකීර්තිගේ මෙම මැදිහත්වීම මා තේරුම් ගන්නේ ‘බැහැරකිරීම්වාදී කියවීමක්’ (exclusive reading) ලෙසිනි. ඒ කියන්නේ යටත්විජිත ආධිපත්‍යයේ බලපෑමට එරෙහිව සිංහල භාෂාව හා සිංහල සාහිත්‍යය පැත්තෙන් මතුවු ‘විරෝධය සහ විවේචනය’ සහිත දේශපාලන උත්සාහය එම සන්දර්භයෙන් තොරව ප්‍රතිවරනගනය කිරීමට (redefining) දරන උත්සාහයක් ලෙසින් ය. ඒ කුමන ආකාරයේ ‘කියවීමක් හරහා වුවත්’ මේ විෂය පිළිබදව සාකච්ජාවක් කිරීම වැදගත් ය.
ප්‍රාචීනවාදය සහ මෙරට ශාස්ත්‍රීය කථිකාව
අමරකීර්තිගේ දේශනයේ මේ කොටසේ ඉදිරිපත් වෙන ප්‍රශ්න කීපය අතරින් එක් වැදගත් කාරණයක් වන්නේ එඩ්වඩ් සයිද් විසින් ඔහුගේ Orientalism (1978) කෘතියෙන් මතුකළ ප්‍රාචීනවාදය සම්බන්ධ තර්කය සමගින් මෙරට 19 වන සියවසේ සහ 20 වන සියවසේ සිංහල භාෂා පුනර්ජීවන ව්‍යාපෘතීන් තේරුම් ගත යුතු බවට මතු කරන අදහසයි. සයිද්ගේ න්‍යායික එකතුකිරීම් හරහා යටත් විජිත යුගයේ මෙරට සිංහල භාෂාව හා සාහිත්‍ය ක්ෂ්‍රේත්‍රයන්හි වර්ධනීය ප්‍රවනතාවන් (විශේෂයෙන් විදේශීය උගතුන්ගේ ආභාෂය සහිත වර්ධනීය ප්‍රවතාවයන්) තේරුම් ගැනීමේ උත්සාහයක් නොතිබීම පිළිබදව ඔහු ඉදිරිපත් කරන අදහස සළකා බැලිය යුත්තකි.
එහෙත් ඔහු ඉගි කරන ආකාරයේ ‘ප්‍රාචීනවාදයක්’ හෙවත් යටත්විජිත යාන්ත්‍රණයේ නියෝජනයක් ලෙසින් වු ශාස්ත්‍රීය ක්‍රියාදාමයක් මෙරට තුළ පැවතියේද යන්න බරපතල විවාදයට හේතුවන කාරණයක්ය. සයිද් ම ප්‍රකාශ කරන ආකාරයෙන් මැද පෙරදිග සම්බන්ධයෙන් එම තත්වය පෙන්නුම් කෙරන ආකාරයේ සහ ඉන්දියාව සම්බන්ධයෙන් පසුකාලින Subaltan Studies චින්තකයින් මතු කළ ආකාරයේ ‘ප්‍රාචීනවාදයක්’ මෙරට සම්බන්ධව තිබුනේ යැයි පිළිගත හැකිද යන්න පැහැදිලි නැත.
මේ කාරණය සාකච්ජා කරන්නට පෙර එඩ්වඩ් සයිද් සහ ඔහු ඉදිරිපත් කළ ‘ප්‍රාචීනවාදය’ ගැන අදහසක් දැක්වීම වැදගත් ය.
එඩ්වඩ් සයිද් (1935 - 2003) විසින් ඉදිරිපත් කළ ‘ප්‍රාචීනවාදය’ (orientalism) සම්බන්ධ තර්කයෙන් කියවෙන්නේ යටත්විජිත සමයේ ගොඩ නැගුනු ශාස්ත්‍රීයත්වයන් (scholaship), සාහිත්‍ය හා පාඨග්‍රන්ථ ව්‍යාඛ්‍යානයන් (Litrature and Texts) හා දේශපාලන කථිකාවන් (political discourse) හරහා යටත්විජිතකරණයට ගැලපෙන හා එයට අවශ්‍යකරන ආකාරයේ ‘පෙරදිගත්වයක්’ හෙවත් ‘ප්‍රාචීනවාදයක්’ විදේශීය උගතුන් සහ දේශීය උගතුන් විසින් ගොඩ නැගූ බවයි. ඒ හරහා නව ‘බල රටාවක් යටත් විජිතය තුළ ගොඩ නැංවීමටත්’ අධිරජ්‍යවාදයේ බල උපකරණයක් ලෙසින් (intstrument of imperial power) ප්‍රාචීනවාදය භාවිතා කිරීමටත් පෙළබුනු බව ඉදිරිපත් කිරීම සයිද් ගේ තීසිසයේ මූළික අදහසය.
යටත්විජිත ව්‍යාපෘතියේ මූළික ව්‍යුහාත්මක හා දාර්ශනික ගැටලු වු ‘යටත්විතකරණය තුළ දැනුම නිෂ්පාදනය වූයේ කෙසේද?, ඒවා නිර්මාණය කළේ කවුරුන් විසින්ද? කාගේ අභිලාෂයටද?’ වැනි ප්‍රශ්න ගනනාවක් සාකච්ජා කිරීමේ න්‍යායික පදනමක් ඔහු මේ හරහා මතු කළේය. මේ න්‍යායික පදනම මෙරට සංවාදය තුළ බරපතල ආකාරයෙන් සළකා බලා නැති බව අමරකීර්තිගේ විවේචනයයි. මේ විවේචනයට යම් පදනමක් තිබේ යැයි පිළිගන්නා අයෙකු වුවත් එකගවිය හැකි කාරණයක් වන්නේ සයිද් ගේ ප්‍රාචීනවාදය පිළිබද තර්කය ශාස්ත්‍රීය ලෝකයේ යටත්විජිත යාන්ත්‍රණය හා ප්‍රාචීන දැනුම ගොඩ නැගීම සම්බන්ධයෙන් පිළිගන්නා එකම න්‍යාය නොවන බවයි.
තවත් පැත්තකින් බලන විට සයිද්ගේ ප්‍රාචීනවාදය පිළිබද තර්කය ගැන විවේචනය කරන සමහරුන් මතු කරන කාරණයක් වන්නේ මෙම මතවාදය මගින් සිදුවූයේ යටත්විජිත දේශපාලනයේ ස්වභාවය ඉදිරිපත්වීමට පදනමක් සැපයීම නොව යටත්විජිත විරෝධයේ දේශපාලනය තනුක කිරීමට පදනමක් සැපයීම බවයි. එසේම යටත්විජිත පාලනයන්හි තිබු දේශපාලන ආධිපත්‍ය නොපෙනී යමින් එය සංස්කෘතික ආධිපත්‍යයක් බවට ප්‍රතිවරණගනය කිරීමක් සයිද් ගේ තර්කයෙන් සිදුවෙන බව ඒ සමහරුන් ගේ මතයයි.

මෙහිදී විශේෂයෙන් සදහන් කළ යුතු බුද්ධිමතෙකු වන අයිජාස් අහමඩ්, ඔහුගේ In Theory: Classes, Nations Literatures (1992) කෘතිය තුළ සයිද්ගේ ප්‍රාචීනවාදය පිළිබදව මාක්ස්වාදී විවේචනයක් කරමින් යෝජනා කරන්නේ සයිද්ගේ තීසිසය හුදු සාහිත්‍යමය විචාරයන් හරහා ගොඩනගන එකක් වන අතරම එය හරහා ඒ ඒ රටවල දේශපාලන හා බලරටාවන් සම්බන්ධ භෞතිකමය පදනම මැකී යන (lack of solid material foundation) ආකාරයේ විවේචනයක් ගොඩ නගන බවයි. ඒ අර්ථයෙන් ප්‍රාචීනවාදයේ න්‍යායික පදනමින් යටත්විජිත අවකාශයේ දේශපාලනය තේරුම් ගැනිම ගැටලු සහගත බව ඔහුගේ අදහසයි. එසේම මුළදී ප්‍රාචීනවාදය පිළිබදව යම් ආකාරයක එකගතාවක් තිබු අර්නස්ට් ගෙල්නර් වැනි විද්වතුන් පවා පසුකාලිනව තර්ක කලේ සයිද් ගේ ප්‍රාචීනවාදය ‘යටත්විජිත ව්‍යාපෘතිය තුළ තිබෙන ‘විචාරාත්මක ශාස්ත්‍රීය මැදිහත්වීම් (critical scholarly engagments) සහ යටත්විජිත බුද්ධිමය අධිකාරිය අතර වෙනස තේරුම් ගැනීමට අපොහොසත් වූ එකක් බව’ යි (Postmodernism, Reason and Religion - 1992).
මෙරට සිංහල භාෂා හා සාහිත්‍ය සම්බන්ධයෙන් ‘ප්‍රාචීනවාදී තර්කනයේ ආභාෂය හරහා විචාරාත්මක මැදිහත්වීමක් නොවීම’ සම්බන්ධයෙන් අමරකීර්ති මතුකරන අදහස සම්බන්ධයෙන් ගත්විට ඉහතින් කියු ගෙල්නර්ගේ විවේචනය සම්බන්ධයෙන් අපගේ අවධනය යොමු කිරීම වැදගත්ය. මෙරට තුළ යටත් විජිත ව්‍යාපෘතියට එරෙහිව විචාරාත්මක ක්ෂ්‍රෙත්‍රයේ මතු වු ශාස්ත්‍රීය මැදිහත්වීම් තෝරා ගැනීමකින් තොරව ප්‍රාචීනවාදයේ ගොඩට දැමීම හරහා ගෙල්නර් මතු කළ ආකාරයේ ගැටලුවක් ගොඩ නැගිය හැකි බව ඉතා පැහැදිලිය. සිංහල භාෂා සහ සාහිත්‍ය ක්ෂ්‍රේත්‍රයේ මතුවු සමහර අධ්‍යයනයන් කිසිම ආකාරයකින් ‘යටත් විජිත අවශ්‍යතාව’ නියෝජනය නොකළා පමණක් නොව යටත් විජිත පාලකයාගේ භාෂා යටත්විතවාදයට එරෙහිව මතුවු විරෝධයේ ඝෘජු ප්‍රකාශන වූ බව පිළිගත හැකි සත්‍යයකි.
එහෙත් අමරකීර්ති විසින් නගන (මා විසින් මෙහි ඉහත ජේදයක සාරංශ ගත කර ඇති) ප්‍රශ්න කීපයටම ගැලපෙන පරිදි බැලු විට පෙනෙන්නේ, ඔහු ඇතුලු තවත් උගතුන් විසින් 19 වන් සියවසේ අග භාගය සහ 20 සියවසේ මුළ භාගයේ මෙරට සිංහල ජාතිකවාදය සම්බන්ධයෙන් මතුකරන එක් විවේචනයක් වන්නේ එවැනි ප්‍රාචීනවාදයක් මෙරට ශාස්ත්‍රීය ව්‍යාපෘතිය තුළ තිබුන බවයි. මෙරට සිංහල ජාතිකවාදයේ පදනම ගොඩ නැගීම සිදුවන එක් මුල් ගලක් වන්නේ 19 වන් සියවසේ සිට මතුවෙමින් එන ‘සම්භාව්‍ය සිංහල ශාස්ත්‍රීයකරණ ව්‍යාපෘතිය’ තුළ මතුකෙරෙන ‘ආර්ය භාෂා තර්කය’, ‘සිංහල යනු ඉන්දු ආර්ය භාෂා පවුලට අයිති භාෂාවක් ය යන පිළිගැනීම’ වැනි තර්කයන් හරහා බවට ගොඩ නැගෙන අදහසේ තේරුම වන්නේම එවැනි සම්බන්ධතාවක් ගොඩ නැගීමය. අමරකීර්ති විසින් යෝජනා කරන සයිද් ගේ න්‍යාය හරහා බැලීමෙන් සිංහල භාෂාව සහ සාහිත්‍යය පැත්තෙන් සිදුවු ශාස්ත්‍රීය ව්‍යාපෘතියේ පවතිනවා යැයි ඔවුන් දකින ‘යටත්විජිතයේ අපේක්ෂාව නියෝජනය කරන සුලු වු ප්‍රාචීනවාදය’ පෙන්විය හැකි බව මේ උත්සාහයේ හරය බව පැහැදිළිය.
මීට පෙර ලිපියේ මවිසින් සදහන් කරන ලද ගුණවර්ධන-ධර්මදාස සංවාදයේ එක් ප්‍රධාන සංවාද මාතෘකාවක් වූයේ අමරකීර්ති මේ දේශනයේ නැවතත් මතුකරන ‘19 වන සියවසේ අග භාගයේ හා 20 වන සියවසේ මුල භාගයේ සිටි සිංහල උගතුන්ගේ ශාස්ත්‍රීය මැදිහත්වීම තුළ තිබෙන ප්‍රාචීනවාදී සාරය’ සම්බන්ධ කාරණයයි. විශේෂයෙන් මේ දේශනයේ නමින් සදහන් නොකෙරුණත් මීට පෙර මෙම මතයම දැරූ මහාචාර්ය ආර්.ඒ.එල්.එච් ගුනවර්ධනයන් වැනි අය නමින්ම ඉදිරිපත් කළ අදහසක් වූයේ 19 වන් සියවසේ මෙරට සිංහල භාෂාව සම්බන්ධ විශිෂ්ඨ සම්ප්‍රධානයක් කළ ජේම්ස් ද අල්විස් (1823-1878) වැනි අයගේ මැදිහත්වීම තුළ ඔවුන් කියන ආකාරයේ ‘ප්‍රාචීනවාදය යැයි දැක්වෙන’ යටත්විජිත යාන්ත්‍රණයේ පැවැත්මට ගැලපෙන සංක්ල්පීය පදනම් තිබුන බවයි. අමරකීර්ති දේශනය තුළ ඉදිරිපත් කරන මෙම ප්‍රාචීනවාදය පිළිබද කථාවේ සාරය වන්නේ ද මෙවැනි කාරනා තුළ බව ඉතාමත් පැහැදිලිය. මේ සම්බන්ධව තරමක් සවිස්තර අදහසක් ප්‍රකාශ කිරීම අවශ්‍යය.
භාෂානුරාගයේ දේශපාලනයෙහි පදනම ප්‍රාචීනවාදයද? යටත් විජිත විරෝධයද?
කුමාරතුංග මුනිදාස
මෙරට භාෂානුරාගයේ දේශපාලනය පිළිබදව අධ්‍යයනයන් කරන මෑත කාලීන සමහර විශ්ව විද්‍යාල උගතුන් ඉතාමත් ‘සැහැල්ලුවට’ නිගමනය කරන කාරණයක් වන්නේම යටත් විජිත පාලනයේ අවසාන කාර්තුව තුළ මෙරට භාෂා දේශපාලනය (විශේෂයෙන්ම සිංහල භාෂා දේශපාලනය) ජනවාර්ගිකත්වයේ ඒකමානීයත්වයක් ගොඩ නැගු බවයි. මේ තර්කයට පෝෂණය කරන්නට, ධර්මපාල ව්‍යාපෘතිය, කුමාරතුංග මුනිදාස ව්‍යාපෘතිය, ඕල්කට් ව්‍යාපෘතිය වැනි නිර්මිතයන් බොහෝ විදේශීය පශ්චාත් උපාධි අධ්‍යයනයන් තුළින් ඉදිරිපත් වන බව ප්‍රකට කාරණයකි. අමරකීර්ති මතු කරන ප්‍රාචීනවාදය සම්බන්ධ යටත් විජිත කථිකාව මෙරටට සම්බන්ධ කළ හැක්කේම මේ සරල හා සැහැල්ලු ශාස්ත්‍රීයකරණ වැඩසටහන හරහා බව මගේ අදහසයි.
අමරකීර්තිගේ දේශනයේ මාතෘකාව නැවතත් මතක් කළහොත්, ඔහු පෙන්වාදීමට උත්සාහ ගන්නේ ‘සිංහල භාෂා - සාහිත්‍ය අධ්‍යයනය ආශ්‍රිතව අප ගත් මග සහ නොගත් මග’ පිළිබදවය. ප්‍රාචීනවාදය මාතෘකාව හරහා ඔහු යෝජනා කරන්නේ අප ගත් මග වැරදි බව සයිද් ගේ න්‍යායික පදනමින් විමසා බැලුවේ නැති බවය. මේ කියන ‘ගත් වැරදි මග’ අමරකීර්ති කියන්නේ තරමක් අපැහැදිළි ආකාරයකින් නිසා සමහර කරුණු සම්බන්ධයෙන් ‘ගත් වැරදි මග’ කෙළින්ම පැහැදිලි වන්නේ නැත. එහෙත් ඔහුගේ ඉදිරිපත් කිරීම්වල මහා පොදු සාධකයන් ලෙසින් තේරුම් ගත හැක්කේ 19 සියවසේ අගභාගය සහ 20 සියවසේ මුලභාගයේ සිංහල භාෂා - සාහිත්‍ය අධ්‍යයනයන්හි වර්ධනයන් ලෙසින් හා/හෝ සිංහල භාෂනුරාගයේ දේශපාලනය ලෙසින් සමහරුන් දකින ව්‍යාපෘතිය තුළ මේ කියන ප්‍රාචීනවාදී ගතිකයන් තිබු බවය.
මෙරට දේශපාලනයේ යටත් විජිත ඉතිහාසය දෙස බලන විට පෙනී යන එක් වැදගත් කාරණයක් වන්නේ 18, 19 සහ 20 සියවස්වල මතුවු ජාතික, ආගමික සහ භාෂා ප්‍රතිසංස්කරන ව්‍යාපෘතීන් තේරුම් ගත යුත්තේ ඒ ඒ සන්දර්භයන්ට සාපේක්ෂකව බවයි. මේ කාලවල යටත්විජිත පාලනයේ විවිධ මතුවීම්වලට එරෙහිව හා දේශීය වශයෙන් මතුවු අවශ්‍යතාවන්ට අනුව විවිධ ආකාරයේ ස්වදේශීය ප්‍රතිසංකරණ ව්‍යාපෘතීන් මතුවු අතර ඒවා අතරින් කීපයක් විශේෂ වශයෙන් සදහන් කළ හැකිය. පළමුවෙන්ම 18 වන සියවසේ මෙරට ඉංග්‍රීසි යටත් විජිතයක් ලෙසින් මුලු රටම පත් වීමට පෙර මහනුවර රාජධානිය මුල් කරග්නිමින් මතුවු ආගමික ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය ලෙසින් වැලිවිට සරණංකර හිමියන්ගේ (1698-1778) ව්‍යාපෘතිය සදහන් කළ හැකිය. දෙවනුව 19 වන සියවසේ ජේම්ස් ද අල්විස්ගේ (1823-1878) මැදිහත්වීමෙන් මතුවු භාෂා ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය හදුනා ගත හැකිය.

මෙම ව්‍යාපෘතියේ කේන්ද්රීය ක්‍රියාකාරීත්වය සටහන් වූයේ ජෙම්ස් ද අල්විස් විසින් සිදත් සගරාව ඉංග්‍රිසියට පරිවර්ථනය කිරීම සහ එම ග්‍රන්ථයට පිටු 286 ක දීර්ඝ ප්‍රස්ථවනාවක් ලියමින් සිංහල භාෂාවේ ඉතිහාසය පිළිබදව බටහිර සමාජයේ පළල් අවධානයක් ලබා ගැනීමය. The Sidat Sangarawa: A Grammar of the Sinhalese Languange, Translated into English with Intorduction, Notes and Appendics (1852) යන තේමාවෙන් යුතු මෙම පරිවර්ථනය සිදුවන්නේ 1852 දී වන අතර එම මැදිහත්වීමේ ආසන්න හේතුව ලෙසින් පෙන්නුම කරන්නේ 1833 සිට කෝල්බෲක් - කැමරන් ප්‍රතිසංස්කරන ක්‍රියාත්මකවීම හරහා රට තුළ ඉංග්‍රීසි භාෂාවේ බලය ව්‍යුහාත්මකවම පිහිටවීමට ප්‍රතිචාරයක් ශාස්ත්‍රීයව ගොඩ නැගීමයි. යටත් විජිතයේ භාෂාව විසින් දේශීය භාෂා අවකාශය යටපත් කරලීමේ ව්‍යවස්ථාපිත මැදිහත්වීමට අභියෝග කිරීමක් මෙම පරිවර්තන ක්‍රියාව සමගින් සම්බන්ධ බැව් පිලි ගත් මතයකි.
එහෙත් සමහරුන් විසින් ජෙම්ස් ද අල්විස් ගේ සිදත් සගරා පරිවර්ථනය සහ සිංහල භාෂාවේ ඉතිහාසය සම්බන්ධව සිදු කළ දීර්ඝ ප්‍රස්ථවනාව තේරුම් ගන්නේම ‘ආර්ය ජනවරග තර්කය පිහිටවීමට’ හා ඉන්දු ආර්ය සම්බන්ධතාවක් ගොඩ නැංවීමට දරන ලද උත්සාහයක් ලෙසින් ය. අමරකීර්තිගේ දේශනයේ දීද නමින් නොකියවන එහෙත් ‘ආර්ය ජන වර්ග තර්කය’ පිළිබද කාරණය සම්බන්ධ වන එක් ප්‍රධාන දිගුවක් ඉගි කරන්නේ මේ කාරණයට බව මගේ තේරුම් ගනීමය. සයිද් ගේ තර්කය අවශ්‍ය වන්නේ මේ කියන ජේම්ස් ද අල්විස් වැන්නන්ගේ මැදිහත්වීමේ ‘ප්‍රාචීනවාදීත්වය’ ක් ලෙසින් මතු කර ගැනීමටය.
වලානේ සිද්ධාර්ථ හිමි
ජෙම්ස් ද අල්විස්ගේ ශාස්ත්‍රීය ව්‍යායාමය පසුකාලීන වර්ධනයන් රාශියකට සම්බන්ධ වන නිසා ඒ පිළිබදව තව දුරටත් සාකච්ජා කිරීම වැදගත් ය. ඔහුගේ මෙම මැදිහත්වීම සරල පුද්ගලික ක්‍රියාදාමයක් නොව එම කාලයට සාපෙක්ෂකව මෙරට සිංහල සමාජයේ මතුවෙමින් තිබු භාෂා අධ්‍යයන ක්‍රියාවලියක නියෝජනයක් හෙවත් represention එකක් බව පෙනී යන කාරණයකි. ජේම්ස් ද අල්විස් ගේ ජේෂ්ඨයන් ලෙසින් එක් පැත්තකින් මිහිපැන්නේ ධම්මරතන හිමි (1768-1851) සහ වලානේ සිද්ධාර්ථ හිමි (1811-1868) මේ කාලය තුළ ශාස්ත්‍රීය පදනම් ගොඩනගමින් සිටි අතර ඒ දෙදනාගේ ශිෂයන් ලෙසින් පිළිවෙලින් දොන් අන්දිරිස් තුඩාවේ ගුනවර්ධන (1825-1890) සහ දොන් අන්දිරිස් සිල්ව බටුවන්තුඩාවේ (1819-1892) යන පඩිවරුන්ගේ ශාස්ත්‍රීය මැදිහත්වීම ජෙම්ස් ද අල්විස් කෙරෙහි විශාල බලපෑමක් ලබා දුන් බව ඉතිහාස වාර්තා මගින් පෙන්නුම් කරයි.
එසේම ජෙම්ස් ද අල්විස් ගේ සමකාලිනයෙකු වු මුදලිදු ඩබ් එෆ් ගුනවර්ධන (1861-1935) මැදිහත්වීමද ඉතාමත් වැදගත් බව මේ ක්ෂ්‍රේතය පිළිබදව අධ්‍යයනය කර ඇති සමහර විද්වතුන්ගේ මතයයි. විශේෂයෙන් ජෙම්ස් ද අල්විස් පිළිබදව මහාචාර්ය සරත්චන්ද්‍ර වික්‍රමසූරිය The Sri Lanka Journal of the Humanities හි පළකර ඇති පත්‍රිකාවත්, මුදලිදු ඩබ් එෆ් ගුනවර්ධන පිළිබදව මහාචාර්ය ආරිය රාජකරුණා විසින් පළකර ඇති පත්‍රිකාවත් මේ බුද්ධිමතුන් දෙදනාගේ ශාස්ත්‍රිය එකතුකිරීම පිළිබද උනන්දුව දක්වන අයගේ අවධානයට ගැනීම යෝජනා කරමි.
යටත්විජිත භාෂා බලපෑමට අභියෝග කළ මුනිදාස කුමාරතුංගයන්ගේ (1887-1944) භාෂානුරාගී මැදිහත්වීම තේරුම් ගත යුත්තේ ඉහත සදහන් ශාස්ත්‍රීය ව්‍යාපෘතියේම මීලග නැගී සිටීම ලෙසින් ය.
ප්‍රාචීනවාදය පිළිබද කාරනය හරහා අමරකීර්ති මතු කරන ‘නොගත් මං’ සම්බන්ධ සාකච්ජාව මගින් උත්සාහ ගන්නේ මෙරට තුළ 19 වන සියවසේ හා 20 සියවසේ මතුවු යටත් විජිත විරෝධයේ දේශපාලනයක එක් ස්වරූපයක් වු භාෂානුරාගයේ දේශපාලනය ප්‍රශ්ණයට නැගීම බව මගේ අදහසය. මේ පිළිබදව මා දක්වන නිරීක්ෂණවල අවසාන කොටස මීලග සතියේ ඉදිරිපත් කරන්නෙමි.
(සටහන | මහාචාර්ය චරිත හේරත්)
(ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයකු ලෙස කටයුතු කර ඇති මහාචාර්ය චරිත හේරත්, පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ දර්ශන අධ්‍යයන අංශයේ මහාචාර්ය වරයකු ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙසත්, පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේ සභාපති ලෙසත් කටයුතු කළේය.)
උපුටා ගැනීම - අනිද්දා පුවත් පත
පළමු කොටස :
අමරකීර්ති ට අභියෝගයක් ; සාහිත්‍ය දේශනයේ ‘ගතයුතු’ දේ සහ ‘නොගත යුතු’ දේ ! | චරිත හේරත්







