කිසිවකුගේ හව්හරණක් නැති අහිංසක සුනඛයන් පිරිසකට රැකවරණයක්, ආරක්ෂාවක් ලබාදෙන අපූරු ස්ථානයක් කුරුණෑගල ප්‍රදේශයේ පිහිටා ඇත.

වර්තමානයේදී මෙම ස්ථානයේ එවැනි අහිංසක සුනඛයන් විශාල සංඛ්‍යාවකට ආහාර පාන, ඉන්න හිටින්නට තැනක් පමණක් නොව රෝගී සුනඛයන් වෙනුවෙන් අවශ්‍ය ඖෂධ හා සියලු සත්කාරයන් ලබාදීමේ පහසුකම් සලසා ඇත.

''2013 වසරේ පමණ සිට මම නිර්මාංශ කෙනෙක් වුණා. මම කුරුණෑගල මලියදේව විදුහලේ ආදි ශිෂ්‍යයෙක්. පාසලේදී මම පාපන්දු වගේම ක්‍රීඩා කටයුතුවලට නැඹුරු වුණ ක්‍රීඩකයෙක්. උසස් පෙළ කරන කාලයේදී සිදුවුණ එක්තරා සිදුවීමක් නිසා මම නිර්මාංශ වුණා. ඒකට සත්වයන් සම්බන්ධ වුණ හේතුවක් නම් වුණේ නැහැ. කොහොම හරි නිර්මාංශ වීමක් සමඟ මට වෙනසක් දැනුණා. සතුන් ගැන ආදරයක් දයාවක් දැනුණා.

image a860ee2081

පාසලේ ක්‍රීඩාවට සම්බන්ධ කටයුතු කරපු නිසා මම පාසලේ සංගම්වල මෙන්ම ළමා සමාජවල තනතුරු දරමින් කටයුතු කළා. ඒ අතරේ මගේ මිත්‍රයෙක් මගේ නම ශ්‍රී ලංකා අවිහිංසාවාදී සංගමයට යෝජනා කරලා මාව ඔවුන් මුණ ගැසුණා. ඒ සංගමය හරහා පාසල් හා දහම් පාසල්වල අධ්‍යාපනය ලබන දරුවන්ට දේශනා පවත්වා පුළුල් තිරයකින් සතුන් මරා ඒ මස් පිඟානට එන විදිහ පෙන්නුම් කරනවා.'' යැයි බව් බව් රෝහලේ නිර්මාතෘ ගිහාන් ජයතිලක පැවසීය.

ඒ අනුව ශ්‍රී ලංකා අවිහිංසාවාදී සංගමයත් එක්ක එකතුව ගිහාන් තම ප්‍රදේශය තුළ විවිධ දේශන සහ වැඩමුළු පවත්වමින් අහිංසක සතුන් පිළිබඳව ජනතාව දැනුවත් කළේය. ගිහාන් පළමුව එම සංගමයේ දේශනයකට සම්බන්ධ විය. ඒ හරහා සතුන් වෙනුවෙන් යමක් කිරීමට ගිහාන් අදිටන් කර ගත්තේය. අවිහිංසාවාදී සංගමයේ කුරුණෑගල සංවිධායක ලෙසින් කටයුතු කළ ගිහාන් පාසල් හා දහම් පාසල් හරහා සතුන්හට අභයදානය දෙන අන්දම සම්බන්ධයෙන් දරුවන් හා වැඩිහිටියන් දැනුවත් කළේය.

එම වැඩසටහන් හරහා පුළුල් තිරයන් ඔස්සේ විදෙස් රටවල ජනතාව මාර්ගවල සිටිනා සතුන්ට සලකන අන්දම පිළිබඳවත්, රෝගීන් සතුන් රුකබලා ගැනීම හා බලාගැනීම සම්බන්ධයෙන්ද දැනුවත් කළේය. ඒ අනුව විදෙස් රටවල පවත්වන මෙවැනි සත්කාරයන් ප්‍රායෝගිකවත් මෙරට තුළ සිදුකිරීමේ අරමුණක් ගිහාන් තුළ ඇතිවිය. සමාජ මාධ්‍ය ඔස්සේ සතුන් වෙනුවෙන් වැඩකරනා සංවිධාන සොයා බලා ඔවුන් සමඟ ගිහාන් ස්වේච්ඡාවෙන් වැඩ කළේ ඒ අරමුණ ජයගැනීමටය.

image 228fc55b0d

මේ බොහෝ සමාජ මාධ්‍ය සංවිධානයක් ව්‍යාප්තව පැවැතියේ කොළඹ හා ඒ අවටය. කුරුණෑගල සිට ගිහාන් කලක්ම මෙම සංවිධානයත් එක්ව කටයුතු කළේය. වීදිවල සිටිනා අහිංසක කුඩා සුනඛයන් සමාජ මාධ්‍යයෙන් කොළඹින් පිට ප්‍රදේශවල රුකවරණයක් සඳහා නිවෙස් ලැබුණ විට ඔවුන් වෙත සුනඛයන් ගෙන ගොස් බාරදීමට බොහෝ දෙනකු ඉදිරිපත් වූයේ නැත.

 

මේ නිසාම සමාජ මාධ්‍යයෙන්, මුහුණු පොතෙන් ඉදිරිපත් කරනා එවැනි සුනඛයන් සමඟ රුකවරණයක් ලැබුණද ප්‍රවාහනය සඳහා කිසිවකු ඉදිරිපත් නොවීම හේතුවෙන් බොහෝ සතුන්ට ඒ අවස්ථාවක් අහිමි වී තිබිණි.

 ගිහාන් ඒ සඳහා ඉදිරිපත් විය. එවැනි අහිංසක වීදි සුනඛයන්ට රුකවරණයත්, ඉන්න හිටින්නට තැනක් හිමිවෙද්දී ගිහාන් කුරුණෑගල සිට අනන්තවත් කොළඹට පැමිණියේය. එම අහිංසක සතුන් කුඩා කාඩ්බෝඩ් පෙට්ටිවල බහා ඔහු දුම්රියෙන්, බස් රථවලින් ඒ අදාළ නිවාසවලට ගොස් ඒ සතුන් බාර දුන්නේය. මේ සෑම අවස්ථාවකදීම ගිහාන්ගේ හිතට ගෙන ආවේ අසීමිත සතුටකි. අහිංසක අසරණ සතකු වෙනුවෙන් රුකවරණයක් හිමිකර දීමෙන් ඔහු අපමණ සතුටක් අත්වින්දේය. එය කිසිම මොහොතක මුදලකට සමකළ නොහැකි සැනසීමකි. සතුටකි.
image 80c087afb8

 කාලයක් මෙලෙස අහිංසක සතුන් එක්ක වැඩකළ ගිහාන්ට බොහෝ දෙනෙකුගේ ඉල්ලීම වූයේ මේ කටයුත්ත ඔහුගේ මූලිකත්වයෙන් ඉදිරියටත් කරනා ලෙසය. ගිහාන් සතුන් බොහෝ දුර බැහැර ප්‍රදේශවලට රුගෙන යද්දී ඔහු එය හඳුන්වන ලද්දේ ''baw baw transport'' යන නමිනි. ''බල්ලා'' කියන නාමයේ අකල්පය මිනිසුන්ගෙන් ඈත් කිරීම සඳහා ඔවුහු ''බව්වා'' යන නම එක්කොට කාරුණික හදවතක් ඇතිකවන ලෙසින් වෙනස් කළහ. ''බලු කපුටු දානය'' කියන දේ වෙනස් කළ ඔවුහු බව් බව් දන්සල් ලෙසින් ''බව් බව්'' නාමය මූලික කොටගෙන සතුන්ට පිහිට වූහ. ඒ අනුව 2019 වසරේදී ''baw baw'' නමින් මෙය සංවිධානයක් ලෙස ලියාපදිංචි කෙරිණි.

 

''මෙය 2019 අවුරුද්දේ අපි ලියාපදිංචි කළා. මේ කාලයේදී වීදිවල ජීවත්වන අසනීප සතුන්ගෙන් උපරිමයෙන් මාසයකට එක් සතකුට හෝ දෙදෙනකුට අපිට හැකි පරිදි නේවාසික ප්‍රතිකාර ලබලා දුන්නා. දවසකට සත්ව රෝහලක නේවාසික ප්‍රතිකාර ලබන එක් සතෙකුට එක්දහස් පන්සීයක් දෙදහස් පන්සීයක් අතර මුදලක් වැයවුණා. ඒ අනුව ඒ සතුන්ගේ රෝගී තත්ත්වයන් එක්ක ඔවුන්ගේ ප්‍රතිකාරවලට වැයවන මුදලක්  එක්ක මාසයකට ලක්ෂයකට වැඩි මුදලක් මේ රෝහල් ප්‍රතිකාර වෙනුවෙන් වැයකරන්නට සිදුවුණා. ඇතැම් දරුණු තුවාල ඇති බව්වන් මාසයක් දෙකක් රෝහල්වල තියන්න සිදුවුණා. මේ නිසාම අපේ කණ්ඩායමෙන් සතුන්ට නේවාසිකව ප්‍රතිකාර ලබාදෙන අපේම තැනක් තිබුණා නම් හොඳයි'' කියන යෝජනාව ආවා.'' යැයි ගිහාන් ජයතිලක වැඩිදුරටත් පැවසීය.

ඒ අනුව තම සංගමය සතුව නේවාසික රෝහලක් ඇත්නම් සුනඛයන් වෙනුවෙන් මීට වඩා මුදලක් වැයකළ හැකි බව ඔවුහු තීරණය කළහ. ඒ අතරේ ගිහාන්ගේ මිතුරෙක් අපූරු යෝජනාවක් කළේය. ඒ මේ සඳහා සුදුසු ඉඩමක් ලැබුණොත් එය තමන්ගේ මුදලින් මිලදී ලබාදීමට තමන් සූදානම් බවය. එය ඔවුන්ගේ සංගමයට ඉතා වටිනා ආරංචියක් වූවේය. එතැන් සිට ඔවුහු මේ සඳහා සුදුසු ඉඩමක් සෙවූහ. සුදුසු ඉඩම් කිහිපයක්ම ලැබුණද ඉඩමේ මිලත් සමඟ එය අතහැරුණි. තවත් ඉඩම් කිහිපයක් මොවුන්ගේ මිලට ගැලපුණද වැසි කාලයේදී ගංවතුර තත්ත්වයන් ඊට බාධාවක් විය. අවසානයේදී යම් කාලසීමාවක් ගතවීමත් සමඟ මොවුන්ට කුරුණෑගලින් අක්කර දෙකක ඉඩමක් ලැබුණි. මොවුහු එය මිලදී ගත්හ.
image 54b63c1cb9

 අද වනවිට කුරුණෑගල එම ඉඩමේ බව් බව් රෝහල (baw baw Hospital) ඉදිකර ඇත. තවමත් රෝහලේ ඉදිකිරීම් සම්පූර්ණයෙන්ම අවසන් වී නොමැත. මේ වනවිට රෝහලේ ආබාධිත සුනඛයන් හැටපස් දෙනෙක් නේවාසිකව ප්‍රතිකාර ලබති. ඉඩම අක්කර දෙකක විශාලත්වයෙන් පවතින නිසා මෙය කොටස් කිහිපයකට වෙන්කර ඇත. ඒ අතරින් මෙවැනි ආබාධිත සතුන් රුකබලා ගන්නා මධ්‍යස්ථානයක් ඉදිකොට ඇත. ආබාධිත සතුන්ට වීදිවල ජීවත්විය නොහැකිය. ඔවුන් ජීවිතාන්තය දක්වා රුකබලා ගැනීමට බව් බව් රෝහල ඉදිරිපත් වී සිටී. මෙහි ආබාධිත සතුන් හැට දෙනකුට නේවාසික පහසුකම් තිබේ. ඊට අමතරව මෙහි සත්ව රෝහලක් ඉදිකොට ඇත. මෙහිදී සුනඛයන්ට තෙරපි ක්‍රමයට ප්‍රතිකාර ලබාදේ. මේ සඳහා ජල තටාකයක්ද ඉදිකොට ඇත. එමෙන්ම මෙම මධ්‍යස්ථානයේදී සත්වයන්ට ආදරය කරන මිනිසුන්ට පැමිණ සතුන්ට ආදරය කරන්න ඔවුන් හා දවස ගෙවන්න ආහාර පාන ලබාදීමේ අවස්ථාවද ලබාදී ඇත. ඒ සඳහා සත්ව අභය භූමියේ වැඩකටයුතු මේ වනවිට ඉදිවෙමින් පවතී.

 
සුනඛයන්ට අමතරව පූසන් කිහිපදෙනෙක්, ඌරෙක් සහ හරකෙක් මෙහි නිදහසේ ජීවත් වෙති. ඉදිරියේදී මෙම අභය භූමියට තවත් සතුන් එක් කිරීම ඔවුන්ගේ බලාපොරොත්තුවයි. ''baw baw'' මුහුණු පොත හරහා විශාල පිරිසක් ඔවුන් සමඟ එක්ව සිටිති. ඔවුන්ගෙන් මෙම කටයුත්ත සඳහා යම් කිසි සහයෝගයක් ලැබේ. මෙම සංවිධානය සඳහා අනුශාසකයන් පස්දෙනෙක් පමණ වෙති. ඔවුන්ගෙන් මූලිකව මෙම කටයුත්ත සඳහා අවශ්‍ය සහයෝගය ලැබේ.

baw baw ගිණුම් අංකය: 100614024479 සම්පත් බැංකුව, කුරුණෑගල

Whatsapp No: 077 7792801



(සටහන :දිශානි ජයමාලි කරුණාරත්න)

- උපුටා ගැනීම - deshaya.lk

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්