කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියන්නේ දවසේ කාලගුණය සම්බන්ධ අපට අනාවැකි කියන ආයතනය. මේ දවස්වල කාලගුණ එකෙන් එන්නේ

අනාවැකිවලටත් වඩා අනතුරු ඇඟවීම. වර්ෂාව අධික එකක්ද, ගිගුරුම් සහිත එකක්ද, මඳ වැසිද කියලා එයාලා කියනවා. වැස්සේ මිලිමීටර් ගානත් අනුමාන වශයෙන් කියනවා. සුළගේ වේගය. අකුණු අනතුරු. මුහුදේ රළුවීම් ඔක්කොම කියනවා.

කාලගුණකාරයින්ගේ කටේ තියන අනිවාර්ය වචන සෙට් එකකුත් තියනවා. බෙංගාල බොක්ක, අන්දමන් දූපත්, අඩු පීඩන කලාප ඕවා නං තියනවාමයි. ඇත්තටම කාලගුණ විද්‍යා එකෙන් කරන්නේ අපට අනතුර ගැන කියලා විසදුමත් කියනවා. උදාහරණයක් කිව්වොත් අද මුහුද රළු නිසා ධීවර ප්‍රජාවට මුහුදු යන්න එපා කියනවා. ඒක නිසා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියන්නේ ඇත්තටම අපට ආශිර්වාදයක්.

රටේ රාළ අද කියන්න හදන්නේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වගේ තවත් ආයතන දෙකක් ගැන. ඒ දෙකෙනුත් අනතුරු ඇඟවීම් නං කරනවා. හැබැයි විසදුම් කියන්නේ නෑ. ඇත්තටම විසදුම් කියන්න එයාලා දන්නේ නෑ. ආයතන දෙක තමයි ආණ්ඩුවයි, විපක්ෂයයි.

ආණ්ඩුවත් මේ දවස්වල අපට කරන්නෙත් අනතුර ඇඟවීම්ම තමයි. හැබැයි එයාලා අනතුරු අගවන්නේ කාලගුණ ගැන නං නෙවෙයි. රට බංකොලොත්වීම ගැන. අනාගත සාගතය ගැන.

අද ජනාධිපතිගේ, අගමැතිගේ ඉදන් මැති ඇමතිලාගේ කතාවල තියෙන්නේ ඒ අනතුරු ඇඟවීම නෙවෙයිද?කට ඇරියොත් කියන්නේ බඩු ගෙන්න ඩොලර් නෑ,ණය ගෙවන්න සල්ලි නෑ. බොර තෙල් ගේන්න විදිහක් නෑ. තාවකාලිකව සපුගස්කන්ද වහනවා. ජනතාව මත බර පටවනවා හැර වෙන උත්තරයක් නෑ. අපි ඒක කරන්නේ කනගාටුවෙන්. අකමැත්තෙන්. ඒත් ඒක ආණ්ඩුවේ වැරැද්දක් නෙවෙයි. අපි වගේ පුංචි ආර්ථිකයක් තියෙන රටකට මේවාගේ වසංගතයකට ඔරොත්තු දෙන්න බෑ. දැනට නං රටේ ආහාර හිගයක් නෑ. භාණ්ඩ හිගයට උත්තරයක් හදන්න බෑ. මෙහේ නෙවෙයි එංලන්තෙත් එහෙමයි. එහෙත් පෝලිම් තියනවා. භාණ්ඩ මිල පාලනය කරන්න නෙවෙයි ආණ්ඩුවක් තියෙන්නේ. පරිප්පු මිල හාල් මිල ගැන හොයන්න නෙවෙයි ජනාධිපති ඉන්නේ. ඔය වගේ කතා තමයි දැන් අපට ජනාධිපතිගේ ඉදන් පහලට ආණ්ඩුව පැත්තෙන් ඇහෙන්නේ.

 

ඇත්තටම මේ කතාවල හරයෙන් තේරුම් ගන්නවාට නං මේ කියන්නේ වෙන මොකවත් නෙවෙයි රට බංකොලොත් කියලා. සාගතය අත ළඟයි කියලා. හැබැයි බංකොලොත්කම ගැන කියන මෙයාලට, සාගතය ගැන කියන මෙයාලට ඒකට උත්තරයක් නෑ. ඒ කතාවලින් ඒකත් පැහැදිලියි. ඒකට මෙයාලා කරන්නේ ඒක ලෝක වෙළඳපොලට, විපක්ෂයට, කොරෝනා වසංගතය වගේ තැන්වලට පටවලා ඇඟ බේරගන්න හදන එක.

 

ආණ්ඩුවේ ඉන්න සමහර මෝඩම මැති ඇමතිවරු නං කියන්නේ මේ ආණ්ඩුව තියන නිසා තමයි මේ ගානට හරි බේරිලා හරි තියෙන්නේ විපක්ෂය බලයේ හිටියා නම් මෙලහට රටින් භාගයක් මැරිලා. විපක්ෂ බොරු කියලා ජනතාව කුලප්පු කරලා පාරට ගේනවා කියලා.

විපක්ෂය දිහා බැලුවොත් ඒත් එහෙමම තමයි. ඇත්තටම විපක්ෂයත් මේ ආණ්ඩුව වගේම තමයි. 

 
විපක්ෂය කියන්නෙත් රට බංකොලොත් කියලා. සාගතය ළග එනවා කියලා. විපක්ෂය කතා කරන්නේ රටේ තියන පෝලිම් ගැන. හැබැයි විපක්ෂය ලෝක වෙළඳපොල ගැන කියන්නෙත් නෑ, කොරෝනා ගැන කියන්නෙත් නෑ. විපක්ෂයට අනුව මේ ඔක්කොටෝම වැරදි ආණ්ඩුව. ආණ්ඩුවේ වැරදි ආර්ථික කළමණාකරණය. විපක්ෂය ඒකට උත්තරය විදිහට කියන්නේ තමන්ගේ ආණ්ඩුවක් යටතේ ජනතාව මේ දුකින් මුදාගෙන සුඛිත මුදිත කරනවාලු. ඒ වෙනුවෙන් එයාලට බලය දෙන්නලු. හැබැයි මේ කියන්නේ මීට අවුරුදු දෙක, තුනකට උඩදී මේ රට පාලනය කරපු කට්ටිය.


අපේ රටේ අවාසනාව ඒක නෙවෙයි. මේ ආණ්ඩුවයි, මේ විපක්ෂයයි කියන කියන පදයට නටන්න ඔලමොට්ටල ජනතාවක් මේ රටේ තවමත් ඉන්න එක.

ඇත්තටම අපේ රටේ මේ තියෙන ආර්ථික ප්‍රශ්නයට ප්‍රධාන උත්තරය රටේ නිෂ්පාදන ආර්ථිකයක් හදන එක. කොරෝනාවලින් අපට දුන්න පණිවිඩය ඒක. ඒක තමයි පිලිගන්න පුළුවන් උත්තරය. හැබැයි දැන් මේ ආණ්ඩුව පෙරලලා විපක්ෂයට දුන්නා කියලා නිෂ්පාදනය ආර්ථිකයක් හැදෙනවාද? අඩුම ගානේ එහෙම එකක් ගොඩනගන්න දැක්මක් විපක්ෂයට තියෙනවද? ඒක නිසා මේ රටේ තියන මේ ප්‍රශ්නයට ආණ්ඩුවටවත්, විපක්යටවත් හරි උත්තරයක් නෑ.

මේ තමයි විජේවීර කියපු ධනේශ්වර ක්‍රමයේ අර්බුදය. මේ දෙගොල්ලටම ඒක තේරුම් ගන්න තරම් දේශපාලන බුද්ධියක් නෑ. දෙගොල්ලොම කරන්නේ හතුරා විදිහට අනෙකා පෙන්නමින් බලය ගන්න හදන එක, නැත්තං ගත්ත බලය රැක ගන්න හදන එක.
 
 
අද විපක්ෂ විසින් අවුලවන්නේ රාජපක්ෂ විරෝධය. ඇත්තටම දැන් රාජපක්ෂ විරෝධය අමුතුවෙන් අවුලන්න දෙයක් නෑ. දැන් මිනිස්සු බහුතරයකට රාජපක්ෂවරු දෑහෙට පේන්න බෑ. ඒක නිසා මේ ආණ්ඩුවට එරෙහිව මිනිස්සු පාරට ගන්න එක දැන් මහ ලොකු වැඩක් නෙවෙයි. ආණ්ඩුවට විරුද්ධව දැන් පළවෙනි ගල ගහලා ඉවරයි. හැබැයි ඒක ගැහුවේ විපක්ෂය නෙවෙයි. ඒ ගල ගැහුවේ මේ රටේ ගුරුවරයා හා ගොවියායි. දැන් මේ ආණ්ඩුවට ගල් ගහන්න ඕනි කෙනෙක් එනවා.
 
 
ඊයේ සජබය කළේ එහෙම උද්ඝෝෂණක්. ඇත්තටම ඒකට දැවැන්ත සෙනගක් ආවා. ඔය වගේම නැත්නං ඔයිට වැඩිය සංවිධානාත්මක උද්ඝෝෂණක් කරන්න ජවිපෙටත් පුළුවන්. ඔච්චරම සෙනඟ ගේන්න බැරි උනත් සැලකිය යුතු උද්ඝෝෂණයක් කරන්න යූ.එන්.පියටත් පුළුවන්. ඇත්තටම කිව්වොත් මේ රටේ දැන් වැඩිම උද්ඝෝෂණ කරන්නේ පෙරටුගාමීන්. එයාලට සෙනග ප්‍රශ්නයකුත් නෑ. සෙනඟ හිටියත් එකයි නැතත් එකයි. දහයක් පහලොවක් එක්ක හරි එයාලා උද්ඝෝෂණය කරනවා. හැබැයි විශ්ව විද්‍යාල මට්ටමේ කරන උද්ඝෝෂණවලදී එයාලත් එක්ක හැරෙන්න කාටවත් බෑ.

ඊළඟට අද තමන්ගේ වෘතීය ඉල්ලීම් වෙනුවෙන් වැඩකරන ජනතාව වෘතීය සමිති එක්ක පාරට බැහැලා. ඇත්තටම දැන් මේක ෆුල් අන්දොස් වෙලා තියෙන්නේ. තනිකරම රට අච්චාරුවක් වෙලා. දැන් මේ අච්චාරුව කළේ රාජපක්ෂලා බවට පත්වෙලා. ඇත්තටම ඒ අච්චාරුවේ සැලකිය යුතු පංගුවක් රාජපක්ෂලාට කරපු අපරාධ තමයි. ඒක නිසා කොන්දේසි විරහිතව රාජපක්ෂලා එලවන්න ඕනි.ර ටේ රාළට ඒ ගැන කොන්දේසි නෑ. ඒත් රටේ රාළට ඒ එලවලා ගෙන්නේ කවුද කියන කොන්දේසිය ජනතාවත් එක්ක බේරගන්න ඕනි.
 
 
රාජපක්ෂලා එලවලා ගේන්නේ යහපාලනය වගේ එකක් නං මොකටද. එයාලා චීනෙට හම්බන්තොට වරාය දුන්නා මෙයාලා ඒ චීනයටම Port City එක දුන්නා. මොකද්ද වෙනස. දැන් මෙයාලා හැමදේම ඉන්දියාවට පුදාගෙන යනවා. කවුද කියන්නේ සජිත් ආවොත් ඒක නවතිනවා කියලා. යහපාලන ආණ්ඩුවේ බරපතලම අසාර්ථක කණ්ඩායම නෙවෙයිද දැන් ඔය බුදු වෙන්න හදන්නේ. ඇත්තටම ඊට වඩා නං දශමයක් හරි ජේවීපී හොදයි. අඩුම ගානේ ධනේශ්වර ක්‍රමයේ අර්බුදය ගැන පොඩි හරි දැනුමක් එයාලට ඇති. ඒත් මේ රටේ සංස්කෘතිකයට අනුගත වෙන්න එයාලට බෑ.
 
 
රටේ රාළගේ ගැටුම එන්නේ ඔතන. ගැටුමටත් වඩා රටේ රාළට ලොකු බයක් තියනවා. මේ රටේ අද ජනතාව ගොඩක් ඉස්සරහට ඇවිත් තියෙන්නේ. ඒ තමන්ට දැනෙන පීඩනය නිසා. රටේ රාළ එකක් කියන්නම් මේ ආණ්ඩුව එළවන්න මිනිස්සු පාරට එනවා. ඒක දෙසැම්බර් අවසානය වෙනකොට නැත්තං ලබන ජනවාරි මාසෙදී බලන්න පුළුවන්. ඒ අරගලයට ජනතාව එකතු වෙන එක නවත්තන්න මේ ආණ්ඩුව බෑ. ඊයේ වගේ පොලිසිය දාලා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ලවා චක්‍රලේඛණ ගස්සලා. සමහර උසාවි නොමග යවලා වාරණ නියෝග ගත්තා වගේ ඒ සටන නවත්තන්න බෑ.

අවිධිමත් මහජන නැගිටීමකට කොන්දේසි අදාළ නෑ. නීතිය අදාළත් නෑ, එතන සදාචාරයකුත් නෑ. ඕක ලබන අවුරුද්දේ මුල් කාර්තුවේ වෙනවා වෙනවාමයි. රටේ රාළට ඕනි ඒ ජනතා නැගිටීම සංවිධානාත්මක එකක් කරන්න. ඒත් ඒක ඉබේ වෙන්නේ නෑ.ම නෝ මූලික තත්වය පරිනත නොවී විෂය මූලික තත්වය පුපුරා යෑමෙන් වෙන්නේ විනාශයක්.

ඒක ජීවිතවලට විතරක් නෙවෙයි රටටම ගේන්නේ විනාශයක්. ඒක තත්වය තවත් විදේශ බලවේගයකට රට යටත්වීමට කැපෙන පාරක්. ඇත්තටම ලංකාවේ පොලොව උඩ ඊළගට සිද්ධ වෙන්න නියමිත ජන අරගලය අසංවිධානාත්මක එකක් වෙන්න තියෙන ඉඩ වැඩී. ඒකට හේතුව ජනතාව තුළ තියෙන රාජපක්ෂ විරෝධය. ඒක හරි දිශාවට කළමණාකරණය කරන්න පුළුවන් බලවේගයක් නොවීම. ඇත්තටම රාජපක්ෂ විරෝධය දැන් විරෝධයකට එහා ගිය වෛරයක් බවට පත්වෙලා ඉවරයි. මේ ජනතා විරෝධය ඇතුළේ පීනන අය දිහා බැලුවම ඊළඟට වෙන්න නියමිත විනාශයත් රටේ රාළට පේනවා.
 
 
ඒක නිසා රටේ රාළ කියන්නේ දැන් ඒ වතුරේ පීනින්න ලෑස්ති වෙන අය තමන්ගේ රට ගොඩනගන වැඩපිළිවෙළ කියන්න. ඒක ක්‍රියාත්මක වෙන විදිහ කියන්න. මේ රටට හදුන්වා දෙන ආර්ථික, දේශපාලන ප්‍රතිසංස්කරණය ගැන කියන්න. රාජපක්ෂලා වගේම එදා තිබුණ රනිල් මෛත්‍රී විරෝධය පාවිච්චි කරලා බලය ගත්තා වගේ කොලේ වහලා ගහන්න ලෑස්ති වෙන්න එපා. ඒක සහ ගහන අපරාධයක්. තමන්ගේ වැඩපිළිවෙළ,ඒක ක්‍රියාත්මක කරන විදිහ ජනතාවට කියලා බලය එක්ක ගනුදෙනු කරන එක තමයි සාධාරණ. ඒක තමයි ශිෂ්ඨ.
 
 
මේ සටනට මැදිහත්වෙන හැමෝගෙන්ම රටේ රාළ ඒ ඉල්ලීම කරනවා. ඒක සජබෙට, එජාපයට, ජවිපෙට,43 ට, පෙරටුගාමීන්ට විතරයක් නෙවෙයි මේ ආණ්ඩුව ඇතුළේ ඉන්න ඔය විපක්ෂයේ භූමිකාව ඉෂ්ඨ කරනවා කියන හැම සටන්කරුවාටම අදාළයි. ඒ විතරක් නෙවෙයි මේ දේශපාලනයෙන් දැනට එළියේ ඉන්න කරූට, චන්ද්‍රිකාටත් අදාළයි. කොටින්ම කියනවා නම් මේ දේශපාලනය මැදට කඩාගෙන පනින්න හදන උවිඳු විජේවීරටත් අදාළයි. දැන් ඒ සාකච්ඡාව පටන් ගන්න. සාමුහික එකඟතාවක් නෑතිව මස්පිඩු පෙන්නලා තවදුරටත් මේ රට දුවන්නට බෑ. රාජපක්ෂලා රටට කියාදුන්න හොඳම පාඩම ඒකයි.



එහෙනම් ගිහින් එන්නම්.

බුදු සරණයි ජයවේවා.
 
මීට

රටේ රාළ
(Priyanjith Vitharana ගේ ෆේස්බුක් පිටුවෙන්..)

Priynatha witharana


THE LEADER TV
 
 
රාජපක්ෂලාට සාප වැදිලා! Gossip

 

ආනන්ද පිටුපසින් ගන්ධබ්බයෙක් ! | මොණරවිලගේ ලියමන

 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්