Samson Cheruiyot
රිය අනතුරකින් මිය ගිය මැරතන් ලෝක වාර්තාලාභී කෙල්වින් කිප්ටම්ගේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙසට ඔහුගේ පියා ඉල්ලා තිබෙනවා.
ඊට හේතුව වශයෙන් ඔහු දක්වා තිබෙන්නේ පුතුගේ මාරක රිය අනතුරට දින කිහිපයකට පෙර නන්නාඳුනන පුද්ගලයින් සිවුදෙනෙක් කෙල්වින් සොයාගෙන පැමිණීම යි.
24 හැවිරිදි මේ කෙන්යානු ලෝක මැරතන් ශූරයා ඉරිදා සිදුවූ රිය අනතුරකින් ජිවිතක්ෂයට පත්වූයේ ඔහුගේ රුවන්ඩා පුහුණුකරු ද සමග.
කිප්ටම්ගේ මරණය සිදුවූයේ ඔහු චිකාගෝ මැරතන් තරගය ජය ගනිද්දී සටහන් කළ පැය 2 තත්පර 35 කාලය නව ලෝක වාර්තාවක් ලෙසින් ජගත් මලල ක්‍රීඩා සම්මේලනය විසින් අනුමත කර දින පහකට පසුව.
තම පුතුගේ මරණය වටා තිබෙන සැකසහිත සිදුවීම් පිළිබඳව පරීක්ෂා කරන ලෙසටයි කිප්ටම්ගේ පියා වන Samson Cheruiyot ඉල්ලා සිටින්නේ.
රිය අනතුර සිදුවීමට දින හතරකට පෙර සිවු දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් කිප්ටම් සොයමින් සිටි බව ඔහු කියා තිබෙනවා.
කිප්ටම් සොයා නිවසට පැමිණි පුද්ගලයන් ඔවුන් කවුරුන්ද කියා හෙළි කිරීම ප්‍රතික්ෂේප කළේ යැයි Cheruiyot කියනවා.
“හැඳුනුම් පතක් පෙන්වන්නැයි මම ඔවුන්ට කීවා. ඒත් ඔවුන් පිටව ගියා. එය හතර දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක්.”
පුතුගේ මරණය ගැන තමා මුලින් ම දැනගත්තේ රූපවාහිනී ප්‍රවෘත්තිවලින් බව පියා සඳහන් කළා.
තම පුත්‍රයා සමග තමා අවසන් වරට කතා කළ අවස්ථාවේදී, මැරතන් ඉසව්ව සඳහා පැය දෙකකට අඩු කාලයක් ඉලක්ක කරගෙන සිටින බවත් පවුල වෙනුවෙන් අලුත් නිවසක් තැනීමට සිතාගෙන සිටින බවත් කිප්ටම් පැවසූ බව පියා කියා සිටියා.
“කවුරු හරි ඇවිත් අපට ගෙදරක් හදන්න උදව් කරාවි කියලා කිප්ටම් කිවුවා. තමාගේ ශරීරය දැන් හොඳ යෝග්‍යතාවකින් තිබෙන නිසා තමාට දැන් පැය 1යි මිනිත්තු 59කින් මැරතන් තරගය දුවන්න පුළුවන් කියලත් එයා කිවුවා.”
“කිප්ටම් තමයි මට හිටපු එක ම පුතා. එයා දාලා ගියේ මාවයි, එයාගෙ අම්මාවයි, එයාගේ දරුවන් දෙන්නාවයි. මට තවත් දරුවෙක් නැහැ. එයාගෙ අම්මා ටික දවසක් අසනීපෙන් හිටියේ. මට නම් දැනෙන්නේ ඉතාමත්ම ලොකු දුකක්.”
“මගේ පුතාගේ මරණය ගැන පුවත මම දැනගත්තේ රූපවාහිනියේ ප්‍රවෘත්ති බලමින් සිටියදී. මම අනතුර සිදුවූ ස්ථානයට ගියා. නමුත් ඒ වෙනකොට පොලිසිය මලසිරුර අරන් ගිහිං” යැයි ධාවකයෙකු හා වොලිබෝල් ක්‍රීඩකයෙකු වන පියා ප්‍රකාශ කළා.
කෙල්වින් කිප්ටම් මිය යාමට පැය කිහිපයකට පෙර ඔහු තමාට දුන් දුරකථන ඇමතුම ගැනත් ඔහු දුන් පොරොන්දුවක් පිළිබඳවත් කිප්ටම්ගේ බිරිඳ අනාවරණය කළා.
කිප්ටම් ඔහුගේ දරුවන්ට අලුත් අත්ඔරලෝසු ලබා දෙන බවටත් පවුල වෙනුවෙන් අලුත් නිවසක් ඉදිකරන බවටත් පොරොන්දු වී යැයි කිප්ටම්ගේ වැන්දඹු බිරිඳ වන Asenath Cheruto Rotich පවසනවා.
අනෙක් ධාවකයන් ජීවත් වන නිවෙස් සමීපයේ Eldoret පළාතේ තම පවුල වෙනුවෙන් නිවසක් ඉදිකරමින් සිටි කිප්ටම් ඒ ඉදිකිරීම් ව්‍යාපෘතිය ජූනි මාසය වන විට සම්පූර්ණ කිරීමට ඉලක්ක කරගෙන සිටි බව බිරිඳ කියා සිටියා.
අප්‍රේල් 14 වැනිදා පැවැත්වීමට නියමිත Rotterdam මැරතන් තරගය සඳහා තමා ද කැටුව යාමට ඔහු සැලසුම් කර තිබූ බව ද ඇය පැවසුවා.
තමා අවසන් වතාවට තම සැමියා දුටුවේ පෙබරවාරි 10 වැනිදා ඔහු Kerio මිටියාවතේ පැවැත්වෙන Fluorspar පුහුණු කඳවුර බලා පිටත්ව ගිය අවස්ථාවේදී බවත් සඳුදා නැවත ඒමට ඔහු සැලසුම් කර තිබූ බවත් ඇය සඳහන් කළා.
ඉරිදා දවසේ සිය පවුල නිවසින් බැහැර ගමනක රැගෙන යාමට කිප්ටම් පොරොන්දු වී සිටියත් හිසරදයක් නිසා ඒ සැලසුම ඉවත් කර ගැනීමට ඔහුට සිදුවූ බව ඇය පැවසුවා.
ඉරිදා මාරක දිනයේදී පවුල දෙවතාවක් දුරකථනයෙන් කතා කර තිබෙන අතර දරුවන් ඉල්ලා සිටින අත්ඔරලෝසු ලබා දෙන බවට ඔහු පොරොන්දු වී තිබෙන්නේ රාත්‍රී අට ට පමණ සිදුවූ අවසන් කතාබහේදී.
නින්දට ගිය ඇයව පිස්සුවෙන් මෙන් දොරට තඩිබාමින් අවදි කර ඇත්තේ ඇගේ නැන්දම්මා.
ඔවුන්ට මුලින් ලැබී තිබුනේ කිප්ටම් හා ඔහුගේ පුහුණුකරු පළවා හැර වාහනය කොල්ලකා ඇති බවට වැරදි වාර්තාවක්. මේ හේතුවෙන් ඔවුන් ගොස් තිබෙන්නේ කාරය සොයා ගනු ලැබූ Kaptagat හි කැලෑ පෙදෙසට. කෙසේ වෙතත්, එතැනින් ඔවුන් Racecourse රෝහල වෙත යවා තිබෙන අතර ශෝකජනක පුවත ඔවුන්ට ඇසුනේ එහිදී.
කිප්ටම් ට වාහනය පාලනය කර ගැනීමට නොහැකි වී තිබෙන අතර පාරෙන් ඉවතට ගිය වාහනය මීටර් 60ක් පමණ අගලකට පෙරළී ගොස් ගසක ගැටී තිබෙන බව පොලිසිය පවසනවා.
2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මැරතන් තරගය ජයග්‍රහණය කිරීමේ ජනප්‍රිය ක්‍රීඩකයා බවට පත්ව සිටියේ කිප්ටම්. Kelvin Kiptum සහ 39 හැවිරිදි ද්විත්ව ඔලිම්පික් ශූර Eliud Kipchoge අතර පැවැත්වෙන ඉතාමත් තියුණු සටනක් කෙරෙහි මැරතන් ලෝකයේ අවධානය යොමුව තිබුනා.
ඇදහිය නොහැකි ශ්‍රේෂ්ඨත්වයක් අත්කර ගැනීමට මුළු ජීවිත කාලයක් ම ඉතිරිව තිබුනු මලල ක්‍රීඩකයෙකුගේ හදිසි වියෝව පිළිබඳව ශෝක සටහනක් X සමාජ මාධ්‍යයේ තබමින් Kipchoge මෙසේ කියා තිබුනා.
“මැරතන් ලෝක වාර්තාව උසුලන නැගී එන තරුව වන කෙල්වින් කිප්ටම්‌ගේ ඛේදජනක නික්ම යාම ගැන මම පසුවන්නේ දැඩි ශෝකයෙන්. මගේ හදපත්ලෙන් නැගෙන ශෝකය මම ඔහුගේ තරුණ පවුල වෙත පිළිගන්වනවා. මේ අසීරු මොහොතේ දෙවියන් ඔබලාට සැනසිල්ල ලබා දේවි. Rest in Peace Kelvin.”
සබැඳි ලිපි :
දුප්පත්කම නිසා මහපාරේ පුහුණු වී මහපාරේම මිය ගිය මැරතන් ලෝක වාර්තාලාභී කෙන්යානුවා
සටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී