ශ්‍රී ලංකා නෙට්බෝලය ලෝක ශ්‍රේණිගත කිරීමේ ඉහළට නොගොස් එක තැන පල්වෙන්නේ ඔවුන් ප්‍රමාණවත් තරමට නෙට්බෝල් ටෙස්ට්

තරගමාලාවන්ට සහභාගි නොවන නිසා බව හිටපු ශ්‍රී ලංකා නෙට්බෝල් පුහුණුකාරිනී සහ වර්තමාන බෲනායි ජාතික නෙට්බෝල් කණ්ඩායමේ පුහුණුකාරිනිය වන ‘දේශබන්දු’ තිලකා ජිනදාස පවසනවා.

නෙට්බෝල් ක්‍රීඩාවේ නීති රාමුව තුළ සිටිමින් ආක්‍රමණශීලීව ක්‍රීඩා කරන්නේ කෙසේද යනුවෙන් ශ්‍රී ලාංකික නෙට්බෝල් ක්‍රීඩිකාවන් අධ්‍යයනය කළ යුතුව ඇතැයි ද ඇය ප්‍රකාශ කරනවා.

THE LEADER සමග විශේෂ සාකච්ඡාවකට බෲනායි සිට එක්වෙමින් ඇය කියා සිටියේ, ආසියානු ශූරතාවලියේ පමණක් තරග කර දෙවසරකට පසුව කෙළින්ම ලෝක ශූරතාවලියට සහභාගි වීමට පමණක් ශ්‍රී ලංකා නෙට්බෝල් කණ්ඩායමේ ජාත්‍යන්තර ක්‍රීඩාව සීමා වී ඇති බව යි. 

Netball Thilaka 1‘දේශබන්දු’ තිලකා ජිනදාස“මේ අනුව ශ්‍රී ලංකා නෙට්බෝල් කණ්ඩායම වසර හතරක් ඇතුළත ක්‍රීඩා කරන්නේ ප්‍රධාන ජාත්‍යන්තර තරගාවලියන් දෙකකට පමණයි. අනෙක් සියළුම රටවල් ටෙස්ට් තරගමාලාවන්ට හා නේෂන්ස් කුසලාන වැනි ජාත්‍යන්තර තරගාවලියන්ට ක්‍රීඩා කරනවා. ලෝක ශ්‍රේණිගත කිරීම් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සලකා බැලීමට ලක්වීමට නම් අපි ජාත්‍යන්තර නෙට්බෝල් සම්මේලනය (INF) අනුමත කරන ජාත්‍යන්තර තරගාවලියන්හි තරග කළ යුතුයි. එය එසේ නොකරණ තාක් කල් ශ්‍රී ලංකාව ලෝක ශ්‍රේණිගත කිරීමේ දැන් සිටින ස්ථානයේම පසුවේවි” යනුවෙන් හිටපු ශ්‍රී ලංකා නෙට්බෝල් ක්‍රීඩිකාවක ද වන ඇය ප්‍රකාශ කරනවා.

“ටෙස්ට් තරගමාලාවන්ට සහභාගි නොවීමට ප්‍රධාන හේතුව වී තිබෙන්නේ මුදල් ප්‍රශ්නය යි. ටෙස්ට් තරගමාලාවක සහභා වීමට නම් අවම වශයෙන් පුද්ගලයන් 15 දෙනෙකුට එම විදේශ සංචාරයේදී නවාතැන් පහසුකම් සපයා ගත යුතුයි. ටෙස්ට් තරගමාලාවක් ශ්‍රී ලංකාවටත් සංවිධානය කළ හැකි වූවත් ඒ සඳහා අනුග්‍රාහකයන් සොයා ගත යුතුයි. ටෙස්ට් තරග සංවිධානය කර ඒවාට ජාත්‍යන්තර සම්මේලනයේ පිළිගැනීම ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා නෙට්බෝල් සංගමය සතුව වසරෙන් වසරට නොව අවම වශයෙන් සිවු වසරක කාලයක් වෙනුවෙන් දීර්ඝ කාලීන සැලැස්මක් තිබිය යුතුයි. එය නොකරණ තාක් කල් අපට ටෙස්ට් තරගමාලාවන්හි ක්‍රීඩා කිරීමට පුළුවන් වෙන්නේ නැහැ.”

ශ්‍රී ලංකාව ආසියානු නෙට්බෝල් ශූරතාවලියෙන් ඔබ්බට නොයන්නේ ඇයි?

“මේ ප්‍රශ්නයට නැවත වතාවක් මට කියන්නේ තියෙන්නේ, මම ජාතික පුහුණුකාරිනිය ලෙස සිටි අවධියේ සැමවිටම ඊට හේතුව වුනේ මුදල් නැතිකම යි. ක්‍රීඩිකාවන්ගේ කැපවීම තිබෙනවා. ඔවුන් ඔ්නෑම දුරකට යාමකට සූදානම්. නමුත් එකම දේ අපි නොසෙල්වෙන ස්ථිර තත්ත්වයක නැතිවීම යි. නෙට්බෝල් වෙනුවෙන් අරමුදල් රැස් කිරීමේ ක්‍රමවේදයක් අපට නැහැ. පාපන්දු, ක්‍රිකට් වැනි ක්‍රීඩා සමග සසඳන විට ඔවුන් සැමවිටම FIFA, ICC වැනි ඔවුන්ගේ ජාත්‍යන්තර සම්මේලනවලින් මුදල් ලබා ගන්නවා. නමුත් INF එසේ මුදල් ලබා දෙන්නේ නැහැ. ඔවුන් ද පවතින්නේ අනුග්‍රාහකයන්ගෙන්. මේ නිසා ශ්‍රී ලංකා නෙට්බෝල් සංගමය මේ කාරණයේදී ඇත්ත වශයෙන්ම ක්‍රියාශීලී වෙමින් නෙට්බෝල් ක්‍රීඩාව වෙනුවෙන් ස්ථිර අනුග්‍රාහයෙක් සොයා ගත යුතුයි. ප්‍රධාන අනුග්‍රාහයෙක් සොයා ගෙන මේ මූල්‍යමය ගැටළු විසඳා ගත්තේ නැත්නම් අපිට සිද්ධ වෙන්නේ ක්‍රීඩා අමාත්‍යංශය මත යැපෙමින්, පසුගිය අවුරුදු පහළොවක් විස්සක් තිස්සේ කරගෙන ආ පරිදි ම ඉදිරියටත් ආසියානු ශූරතාවලිය ජය ගෙන ලෝක ශුරතාවලියට සහභාගි වීම පමණයි. ශ්‍රී ලංකාවේ ලෝක ශ්‍රේණිගත වීම මේ තරගාවලියන් දෙක අතර පමණක් ඉහළ පහළ යමින් තියේවි.” 

 

Netball Thilaka 4
ලීග් තරගාවලියක්

ලීග් නෙට්බෝල් තරගාවලියක් ශ්‍රී ලංකාවේ දිගමට පවත්වා ගෙන යාම යුගයේ අවශ්‍යතාවක් බව තිලකා ජිනදාස පෙන්වා දෙනවා.

“අපි ලීග් තරගාවලියක් හඳුන්වා දීම ඉතාමත් වැදගත්. ලෝකයේ නෙට්බෝල් ක්‍රීඩා කරන අනෙක් සෑම රටකම ලීග් තරගාවලියක් තිබෙනවා. මම වැඩ කරන බෲනායි රටේත් ලීග් තරගාවලියක් තියෙනවා. බෲනායි සිටින්නේ ආසියානු ශ්‍රේණිගත කිරීමේ 6 වැනි ස්ථානයේ. ශ්‍රී ලංකාව ආසියාවේ නෙට්බෝල් ශූරියන්. නමුත් අපට ලීග් තරගාවලියක් නැහැ. ලීග් තරගාවලියක් හඳුන්වා දුන්නොත් නෙට්බෝල් ක්‍රීඩා සමාජ ගොඩක් එන බව දැක ගන්න ලැබේවි. එවිට, දියුණු කරන්න පුළුවන් හැකියාවන් තියෙන ක්‍රීඩිකාවන් බොහෝ දෙනෙක් හඳුනා ගන්න හැකිවේවි. මීට අමතරව අපට ආදේශ ක්‍රීඩිකාවන් බොහො දෙනෙකුත් සිටීවි.”

ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට නෙට්බෝල් ලීග් තරගාවලියක් පසුගිය මාර්තුවේ කොළඹදී ඉතාමත් සාර්ථකව පැවැත්වුනා. විදෙස් කණ්ඩායම් දෙකක් ද සහභාගි වූ එම ‘ශ්‍රී ලයන්ස් ජාත්‍යන්තර ආරාධින නෙට්බෝල් ලීගය’ සංවිධානය කළේ ආචාර්ය කැළුම් සුජිත් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් SRI LIONS ආයතනය යි.

 

Netball Thilaka 6තිලකා ජිනදාස බෲනායි නෙට්බෝල් ක්‍රීඩිකාවන් පුහුණු කිරීමේ නියැලී සිටි අයුරු

 

2011 සිට 2017 දක්වා වසර හතක් බෲනායි ජාතික නෙට්බෝල් පුහුණුකාරිනිය ලෙස කටයුතු කළ තිලකා ජිනදාස ඔවුන්ගේ බලවත් ඉල්ලීම මත නැවතත් එම තනතුර පසුගියදා බාර ගත්තා. ඇය පුහුණුකාරිනිය ලෙස කටයුතු කළ අවධියේ බෲනායි නෙට්බෝල් කණ්ඩායම 2015 වසරේ සිංගප්පූරුවේ පැවති සාෆ් ක්‍රීඩා උළෙලේදී ලෝකඩ පදක්කම හිමිකර ගත්තේ එරට කණ්ඩායම් ක්‍රීඩා ඉතිහාසයේ පළමු ජාත්‍යන්තර පදක්කම වාර්තා කරමින්.

Netball Thilaka 5ශ්‍රී ලංකා නෙට්බෝලය සතුව ආදේශ කණ්ඩායමක් තිබිය යුතු බවද හිටපු ශ්‍රී ලංකා පුහුණුකාරිනිය පවසනවා. “ඒ අනුව අපට ශක්තිමත් ජාතික සංවර්ධන සංචිතයක් හා කණිෂ්ඨ ජාතික සංවර්ධන සංචිතයක් තිබිය යුතුයි. ජ්‍යෙෂ්ඨ ජාතික සංචිතය, ජ්‍යෙෂ්ඨ ජාතික සංවර්ධන සංචිතය, කණිෂ්ඨ ජාතික සංචිතය හා කණිෂ්ඨ ජාතික සංවර්ධන සංචිතය වශයෙන් අපට නෙට්බෝල් සංචිත හතරක් තිබිය යුතුයි. කාලයක් අපට මේ ආකෘති හතර ම තිබුනා. මේ ක්‍රමවේදය අපට හඳුන්වා දෙන්න පුළුවන් නම් ආසියාවේ අපේ නෙට්බෝල් ක්‍රීඩාව ඉතාමත් ශක්තිමත් වන අතර පැහැදිලිවම අපට ලෝකය සමග තරග කරන්න පුළුවන් වේවි” යනුවෙන් පවසන තිලකා ජිනදාස 2008 දෙසැම්බර් 30 සිට වසරක කාලයක් සහ 2018 සිට 2020 අතර කාලයේ ශ්‍රී ලංකා ජාතික නෙට්බෝල් පුහුණුකාරිනිය ලෙස කටයුතු කර තිබෙනවා. ශ්‍රී ලංකාව 2009 වසරේ ජූනි මාසයේ මැලේසියාවේ පැවති 7 වැනි ආසියානු නෙට්බෝල් තරගාවලියේදී වසර 8කට පසුව ආසියානු කිරුළ දිනා ගත්තේත්, ඊට නව වසරකට පසුව සිංගප්පූරුවේදී ආසියානු නෙට්බෝල් ශූරියන් ලෙස කිරුළු පැළඳුවේත් තිලකා ජිනදාසගේ පුහුණුකාරිත්වය යටතේ.


ආක්‍රමණශීලී ක්‍රීඩාව

Netball Thilaka 7“ජාත්‍යන්තර තරගවලට ක්‍රීඩා කිරීමේදී අපේ ක්‍රීඩිකාවන් ප්‍රතිවාදී ක්‍රීඩිකාවන් සමග ශාරීරිකව ගැටීමට බිය වනවා. ඒ, නෙට්බෝල් නීති පොතේ මේ ක්‍රීඩාව එකිනෙකා සමග හැප්පෙන ක්‍රීඩාවක් නොවන බව කියා තිබෙන නිසා. ඒ නිසා ක්‍රීඩිකාවක් එසේ කළොත් එය නීති කඩකිරීමක් ලෙස තරග විනිසුරු හඳුන්වනවා. නමුත් ලෝක මට්ටමේ ක්‍රීඩාවට පිවිසෙන විට එය ඉතාමත් ආක්‍රමණශීලීයි. ඒ නිසා අපි ආක්‍රමණශීලී නෙට්බෝල් ක්‍රීඩා කිරීම ඉගෙන ගත යුතුයි. එසේ සටන්කාමී ක්‍රීඩාවක යෙදීමට නම් අපට ශක්තිමත් ව්‍යුහයක් තිබීම අවශ්‍යයි. ආසියානු මට්ටමේදී අපි සැමවිටම ක්‍රීඩා කරන්නේ නොමේරූ ක්‍රීඩාවක්. මේ නිසා සැමවිටම විදෙස් කණ්ඩායම් හා අපි අතර මේ වෙනස තියෙනවා. අපි ක්‍රීඩා කරන්නේ නීති පොතට අනුව ඉතාමත් පැහැදිලි නෙට්බෝල් ක්‍රීඩාවක්. නමුත් අපි ජාත්‍යන්තර තලයට යන විට අපේ ක්‍රීඩිකාවනුත් ආක්‍රමණශීලී විය යුතුයි. විශේෂයෙන් ඒ නිසා තමයි අපි ආසියානු හෝ ලෝක ශූරතාවලියට යද්දී මට සැමවිටම උවමනා වුනේ, පෙරහුරු තරග හෝ තරග බිමට නිරාවරණය වීමේ තරගාවලියන් සඳහා අප්‍රිකානු රටවල කණ්ඩායම් සමග ක්‍රීඩා කිරීමට. මොකද, ඔවුන්ට ඒ ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශය තිබෙන නිසා. කිසිවිටෙකත් සටන අත් නොහරින ඔවුන් සතුව තිබෙන්නේ ‘කොහොම හරි කරන්න...නැත්නම් මැරෙන්න’ යන ආකල්පය යි. නමුත් ඔවුන් එය කරන්නේ නීති රාමුව තුළ ඉඳලයි. මෙය ඉතාම වැදගත්. ඒ නිසා, නෙට්බෝල් ක්‍රීඩාවේ නීති රාමුව තුළ සිටිමින් ආක්‍රමණශීලීව ක්‍රීඩා කිරීමේ උපක්‍රම ඉගෙන ගැනීම සඳහා මෙවැනි කණ්ඩායම් සමග අපි වැඩි වැඩියෙන් ක්‍රීඩා කළ යුතුයි.”

නෙට්බෝල් නිලවරණය

ශ්‍රී ලංකා නෙට්බෝල් සංගමයේ නිලවරණය ලබන 30 වැනිදා පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ ගැන ඔබේ අදහස් මොනවාද?

“ඉදිරි අවුරදු දෙකකට හෝ හතරකට කවුරු තේරී පත්ව ආවත්, ඔවුන්ගේ ප්‍රධාන අරමුණ විය යුත්තේ අපේ ම පහසුකම් ඇතිකර ගැනීමයි. මොකද, 2023 ලෝක කුසලාන නෙට්බෝල් තරගාවලියේදී මම ලබපු අත්දැකීම් අනුව මට සෑහෙන්න දඟලන්න සිද්ධ වුනා ගෘහස්ථ පහසුකම් ලබා ගන්න. අපට ඒ පහසුකම් ලැබුනේ ඉතාමත් අඩුවෙන්. අපට අපේම කියලා ගෘහස්ථ පුහුණු පහසුකම් අවශ්‍ය ම යි. පාපන්දුවට ඔවුන්ගේ ‘පාපන්දු නිවහන’ තියෙනවා. ක්‍රිකට්වලටත් ඔවුන්ගේ ගෘහස්ථ පුහුණුවීමේ තැන් තියෙනවා. නෙට්බෝල් ක්‍රීඩාවේ අපි හැමවෙලේම රජය පිටිපස්සේ යාම හෝ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයට යාම කළ යුතුයි. සුගතදාස ගෘහස්ථ පහසුකම බොහෝ විට ලැබෙන්නේ මුදලටයි.” 

“අලුතින් තේරී පත්වන නිලධාරිනියන් ස්ථානයක් සොයා ගෙන අපේම ගෘහස්ථ නෙට්බෝල් ක්‍රීඩාංගණයක් එහි ඉදිකිරීම ආරම්භ කළොත් එය ප්‍රථම වතාවට කෙරෙන ඉතාමත් වැදගත් කටයුත්තක් වේවි. එවිට ජාතික සංචිතයේ පුහුණුවීම් කටයුතු කිසිම බාධාවකින් තොරව කරගෙන යාමට හැකිවේවි.” 

“දෙවැනි කාරණය වන්නේ අපට නිරතුරුව මුදල් ආධාර ලැබෙන ක්‍රමවේදයක් සකස් කිරීමයි. මේ සඳහා අප ප්‍රධාන අනුග්‍රාහකයෙක් සොයා ගත යුතුයි. නෙට්බෝල් සඳහා ප්‍රධාන අනුග්‍රාහකයෙක්, ප්‍රචාරක කටයුතු සඳහා ප්‍රධාන අනුග්‍රාහකයෙක් වැනි විවිධ මට්ටමේ අනුග්‍රාහකයන් අප විසින් සොයා ගත යුතුයි. මොකද, දැන් සියල්ල වාණිජකරණය වී තිබෙන නිසා. ක්‍රීඩාව දැනටමත් වාණිජකරණය වෙලා. ක්‍රීඩිකාවන් හොඳින් රැකබලා ගැනීමත් අවශ්‍යයි. ජාතික නෙට්බෝල් සංචිතයේ වැඩි දෙනෙක් එන්නේ පිට පළාත්වලින්. ඔවුන්ට නවාතැන් පහසුකම් සැපයිය යුතුයි. ඔවුන්ගේ පෝශ්‍යදායී ආහාර ගැන සොයා බැලිය යුතුයි. මේ නිසා අපි නැවතත් එන්නේ නියම අරමුදලක් තිබීමේ අවශ්‍යතාවටයි.” 

“නෙට්බෝල් පරිපාලනයට එනවා නම් ඒ අය මේ කාරණා වෙනුවෙන් කැප වෙමින් ඔවුන්ගේ දැඩි අවධානය ඒ වෙනුවෙන්යොමු කළ යුතුයි. දෙවසරක හෝ සිවු වසරක ක්‍රමවත් සැලැස්මක් ඔවුන්ට තිබිය යුතුයි. සිවු වසරක පරිපාලනයක් නම් වඩා හොඳයි. මොකද, අනෙක් රටවල් සැමවිටම කටයුතු කරන්නේ එක් ලෝක කුසලානයක සිට අනෙක් ලෝක කුසලානය දක්වා සිවු වසරක නෙට්බෝල් සැලසුමකට නිසා. අපි ඊළඟ අවුරුදු හතරේදී දේශීය තරගාවලියන්ට හා විශේෂයෙන් ලීග් තරගාවලියක් පැවැත්වීම සඳහා මුදල් සොයා ගන්නේ කෙසේද කියා සැලැස්මක් ඇතිකර ගත යූතුයි” තිලකා ජිනදාස වැඩිදුරටත් ප්‍රකාශ කළා.

ලෝක කුසලාන නෙට්බෝල් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරිනිය ලෙස ද කටයුතු කර තිබෙන තිලකා ජිනදාස දෙවැනි වතාවට ආසියානු කුසලානය දිනූ 1997 ශ්‍රී ලංකා කණ්ඩායමේ උපනායිකාව ද වී සිටියා. 

 

Netball Thilaka 2
තිලකා ජිනදාස නමැති ආදර්ශමත් ශ්‍රී ලාංකේය ක්‍රීඩිකාවගේ දස්කම් නෙට්බෝල් තරග බිමට පමණක් සීමා වී තිබුනේ නැහැ. මලල ක්‍රීඩාවේ කෙටි දුර ධාවනයේ හා කඩුලු පැන දිවීමේ ඉසව්වලදී සුවිශේෂී දක්ෂතා ප්‍රදර්ශනය කළ ඇය මීටර් 60 දිවීම, මීටර් 60 කඩුලු පැනීම, මීටර් 100 කඩුලු පැනීම හා මීටර් 400 කඩුලු පැනීම ඉසව්වල හිටපු ජාතික වාර්තාලාභිනිය යි. 1984 සිට 1990 දක්වා කාලය තුළ ඇය මීටර් 100x4 සහාය දිවීම ජාතික කණ්ඩායමේ සාමාජිකාවක් ද වුනා.

1984, 1985, 1987, 1989 හා 1991 දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාව නියෝජනය කළ ඇය රන් පදක්කමක්, රිදී පදක්කම් 4ක් සහ ලෝකඩ පදක්කම් 4ක් දිනා ගැනීමට සමත් වුනා. පස්වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ තරග වැදුනු ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකාව වූයේ ද තිලකා ජිනදාස යි. මීට අමතරව ඇය තෙවතාවක් ම ආසියානු ශූරතා තරගවලදී ශ්‍රී ලංකාව නියෝජනය කර තිබෙනවා.

1988 වසරේ දකුණු කොරියාවේ සෝල් අගනුවර පැවති ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගි වූ ඇය ඔලිම්පික් ක්‍රීඩා උළෙලක ශ්‍රී ලංකාව නියෝජනය කළ පළමු මලල ක්‍රීඩිකාව බවට පත්වුනා.

එම වසරේ ජාතික වීර දිනයේදී ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිතුමන් අතින් ‘දේශබන්දු’ ජාතික සම්මානය තිලකා ජිනදාස ලබා ගත්තේ එම කීර්ති නාමය හිමිකර ගත් එදා මෙදා තුර ප්‍රථම ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව ලෙස ඉතිහාසගත වෙමින්.

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්