2030 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ කණ්ඩායම් සංඛ්‍යාව 64 දක්වා වැඩි කරන ලෙසට දකුණු අමෙරිකානු පාපන්දුවේ පාලකයින් වන CONMEBOL හි සභාපති අලෙහන්ද්‍රෝ ජොමිංගෙස් (Alejandro Dominguez) බ්‍රහස්පතින්දා නිල වශයෙන් යෝජනා කළා.
ජගත් පාපන්දු සම්මේලනය (FIFA) මේ යෝජනාව පිළිබඳව දැනුවත්ව සිටියා. මෙය ප්‍රථම වතාවට උරුගුවේ නියෝජිත පිරිසක් විසින් යෝජනා කළේ ගෝලීය පාපන්දු පාලකයින් සමග පසුගිය මාර්තු මාසයේ පැවති මාර්ගගත සාකච්ඡාවකදී.
2030 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය දැනටමත් වඩාත්ම දිග හැරුනු ලෝක කුසලාන පාපන්දු තරගාවලිය බවට පත්ව තිබෙන්නේ එහි සත්කාරක රටවල් හය මහාද්වීප තුනක විසිරී තිබෙන බැවින්. ඊට කළින් 2026 වසරේදී අමෙරිකාව, මෙක්සිකෝව හා කැනඩාවේ පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලිය දැනටමත් කණ්ඩායම් 48ක් දක්වා පුළුල් කරන ලද පළමු තරගාවලිය බවට පත්ව තිබෙනවා.

2026 තරගාවලියේ ප්‍රසාරණය මේ වනවිටත් විවේචනයට ලක්ව තිබෙන්නේ එමගින් තරගාවලියේ මූලික වටයේ අගය අඩු කරන බැවින්. මේ ක්‍රමයට අනුව තෙවැනි ස්ථාන ලබා ගන්නා කණ්ඩායම් 12න් 8ක් ම පිළිමළුන් පිටුදැකීමේ වටයට ඇතුළත් වනවා. කණ්ඩායම් 32ක ක්‍රමවේදයට අනුව, පිළිමළුන් පිටුදැකීමේ වටයට පිවිසියේ සෑම කාණ්ඩයකම ඉහළ ට ම පිවිසි කණ්ඩායම් දෙක පමණයි.
1930 වසරේදී ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ මුල් සත්කාරක දේශය වූයේ උරුගුවේ. ඔවුන් 2030දී එක් තරගයක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. පැරගුවේ, ආජන්ටිනාව, ස්පාඤ්ඤය, පෘතුගාලය සහ මොරොක්කෝව ද සත්කාරක රටවල්.
“මේ නිසා තමයි අපි පළමු වතාවට යෝජනා කරන්නේ මේ ශත සංවත්සරය කණ්ඩායම් 64කින්, මහාද්වීප තුනක එක විට ම පවත්වන්න කියලා” යනුවෙන් ජොමිංගෙස් ප්‍රකාශ කරනවා.
“අවුරුදු 100ක් උත්සවාකාරයෙන් සමරන්නේ එක් වරක් පමණයි” ඔහු සඳහන් කරනවා.
අලෙහන්ද්‍රෝ ජොමිංගෙස්
කණ්ඩායම් 64ක් සහභාගි කර ගැනීමෙන් ක්‍රීඩාවේ තත්ත්වය බාල වී බොහෝ මහාද්වීපවල සුදුසුකම් ලැබීමේ තරග වැඩසටහනේ අගය අඩුවනු ඇතැයි මේ ක්‍රමවේදය විවේචනය කරන්නන් අවධාරණය කරනවා. උදාහරණයක් ලෙස, කණ්ඩායම් 64කට පුළුල් කිරීම මගින් CONMEBOL සාමාජික රටවල් 10 ට ම ප්‍රධාන තරගාවලියේ ස්ථානයක් තහවුරු වීමට ඉඩ තිබෙනවා. ලෝක කුසලාන තරගාවලියකට කවරදාකවත් සුදුසුකම් නොලැබූ මේ සමූහයේ සිටින එකම රට වෙනිසියුලාව යි.
“මේ ක්‍රමය මගින් සෑම රටකටම ලෝක අත්දැකීම ලබා ගන්න අවස්ථාව උදාවනවා. එමගින් ලෝකයේ කිසිම රටක් තරගාවලියෙන් ඉවත් කර තබන්නේ නැහැ”
ජොමිංගෙස් කියා සිටිනවා.

මේ ක්‍රමවේදය FIFA අනුමත කළහොත්, එමගින් තරග 128ක තරගාවලියක් නිර්මාණය වනවා. මෙය, වසර 1998 සිට 2022 දක්වා ක්‍රීඩා කෙරුනු තරග 64 ක්‍රමවේදයේ සංඛ්‍යාව මෙන් දෙගුණයක්.
කෙසේ වෙතත්, යුරෝපීය පාපන්දු සංගම් සම්මේලනයේ (UEFA) සභාපති ඇලෙක්සැන්ඩර් චෙෆරීන් (Aleksander Ceferin) කණ්ඩායම් 64ක ලෝක කුසලාන තරගාවලියක් යනු නරක අදහසක් බව කියා තිබෙනවා.
(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී






