ගෝඨාභය සහ රනිල් ගේ ආණ්ඩුව ඉදිරියට යන්නේ කොහොමද කියලා ඔබට කිසියම් හෝ සැකයක් තියෙනවා නම් ඒ සැකය දුරු කර ගතහැකි සිදුවීම් දෙකක් ඊයේ (06) වාර්තා වුණා.



ඉන් එකක් ඇමති ප්‍රසන්න රණතුංගට අධිකරණයෙන් ලැබුණු අත්හිටවූ සිර දඬුවමයි. අනෙක ජාත්‍යන්තර මාධ්‍යයකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ලබා දුන් සම්මුඛ සාකච්ඡාවයි.

2015 වසරේ දී පුද්ගලයෙකුට තර්ජනය කිරීම සහ ඔහුගෙන් රුපියල් මිලියන 65ක් ඉල්ලීමට ප්‍රසන්න රණතුංග වැරදිකරු බව අධිකරණය තීන්දු කළා.

ප්‍රසන්න රණතුංග කියන්නේ මැයි 09 වෙනිදා ගෝල්ෆේල් ප්‍රහාරය සිදුවන විට පොලීසිය භාර ඇමතිවරයා. ඒ වගේ ම මේ වන විට ඔහු නිවාස සහ නාගරික සංවර්ධන ඇමතිවරයා විදියට කටයුතු කරනවා.

මේ නඩු තීන්දුවෙන් පස්සේ ප්‍රසන්න රණතුංග ගිහින් තිබුණේ කැබිනට් රැස්වීමට සහභාගි වෙන්නටයි. ඒ කැබිනට් රැස්වීමට ජනාධිපති ගෝඨාභයත්, අගමැති රනිල් වික්‍රමසිංහත්, අනෙක් සියලු ම ඇමතිවරුනුත් සහභාගි වෙනවා.

කැබිනට් රැස්වීමේ දී ඔවුන් කිසි වෙනසක් නැතිව වාඩි වෙනවා. සාකච්ඡා කරනවා. තීරණ ගන්නවා. සතුටින් විසිරිලා යනවා.

මම මේ ලිපිය ලියන වෙලාවටත් අධිකරණයෙන් වරදකරු වූ ප්‍රසන්න රණතුංගට අඩු තරමේ තමන් ගේ ඇමති ධූරයෙන් ඉල්ලා අස්වෙන්න කියලා කවුරුත් බලපෑම් කරන්නේ නැහැ. ඒ ගැන සමාජයේ සංවාදයක් නැහැ. ඒ වෙනුවෙන් කිසිම කැම්පේන් එකක් දියත් වන්නේ නැහැ. අධිකරණයෙන් වරදකරු වූ ප්‍රසන්න රණතුංග දිගට ම ඇමතිධූරයේ කටයුතු කිරීම නියතයක් විදියට සමාජය භාර අරගෙන තියෙනවා.  ප්‍රසන්න රණතුංගට ඉල්ලා අස්වීමට බලපෑම් කිරීමටවත් කිසිවෙකුටත් අවශ්‍යතාවක් නැත්තේ ඒ නිසයි.


ලංකාවේ විරෝධතා කරන අති බහුතරයක් දෙනාටත් 'සිස්ටම් චේන්ජ්' කියන්නේ ලස්සන වචනයක් විතරයි. ඒ කාටවත් ක්‍රමයේ වෙනසක් කියන්නේ මොකක්ද, ක්‍රමය වෙනස් විය යුත්තේ කොහොමද වගේ කිසිම දෙයක් ගැන තේරුමක් නැහැ. ඒ කිසිම දෙයක් ගැන ඇත්ත හැඟීමකුත් නැහැ.

zsawew



2019 දී රැල්ලට ගෝඨාභයට ඡන්දය දුන් විදියට ම අද ගෝඨාභයට ගෙදර යන්න කියලා සටන් පාඨ කියනවා. මේ දෙකේ ම ඒ තරම් විශාල හරයාත්මක වෙනසක් නැහැ. මේ හැම දෙයක් එක්ක ම තේරෙන්නේ ශීලාචාර, ශිෂ්ට සම්පන්න රටක් බිහි කිරීමෙන් අපි කොයිතරම් දුරස්ථ ද කියලා විතරයි.


මේ අතර ඊයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජාත්‍යන්තර නාලිකාවක් සමග දැක්වූ අදහස් වලින් ද මේ කාරණය ම තහවුරු වෙනවා.

ජනාධිපතිවරයා ප්‍රකාශ කොට තිබුණේ අසමත් පාලකයෙකු ලෙස තමන් ගෙදර යන්න සූදානම් නැති බව සහ තමන් ගේ ධූර කාලය ඉවර වෙන තුරු බලයේ ඉන්නා බවයි.

ඒ වගේ ම ලංකාවේ තිබිය යුත්තේ එක්කෝ පූර්ණ බලතල සහිත ජනාධිපති ක්‍රමයක් හෝ එහෙමත් නැත්නම් පාර්ලිමේන්තුවට බලය තියෙන පාර්ලිමේන්තු ක්‍රමයක් බව ඔහු කියා තිබුණා.

මේ කතාවේ යටිපෙළ කියවා ගත්තොත් පැහැදිලි වෙන්නේ ජනාධිපති ගේ බලතල සැළකිය යුතු ලෙස කප්පාදු කොට පාර්ලිමේන්තුවට බලය පැවරෙන ව්‍යවස්ථා සංශෝධනයකට ඔහු එකඟ නැති බවයි.

ඒ කියන්නේ යෝජිත 21 වැනි සංශෝධනය තවත් ශක්තිමත් කිරීමට මේ වන විට දරන උත්සාහයට ප්‍රතිවිරුද්ධ තැනක ජනධිපති සිටින බවයි..

ඒ වගේ ම ජනාධිපතිවරයා මේ වන විට මැයි 10 වැනිදා ජාතිය අමතන විට දැරූ ස්ථාවරයෙන් අංශක 180ක කරණමක් ගසා ඇති බව පැහැදිලි වෙනවා. මට තේරෙන විදියට මේ වෙන විට ජනාධිපතිවරයා ගේ ගණනය කිරීම වී ඇත්තේ ඔහුට එරෙහි මහජන ප්‍රතිවිරෝධය ශීඝ්‍රයෙන් දියාරු වී පවතින බවයි. මීට මාසයකට කලින් සිටියාට වඩා වාසිදායක තැනක තමන් දැන් සිටින බවට ඔහු ගණන් බලා තිබෙනවා. මේ වන විට අරගලය තිබෙන තැන දිහා බැලුවම ඒ ගණනය කිරීමේ ලොකු වරදක් මා දකින්නේ නැහැ.


ඒ නිසා ප්‍රතිසංස්කරණ වෙනුවෙන් මහන්සි වෙන්නේ නැතිව පරණ පුරුදු සෙල්ලමට ම නැවත යා හැකි බවට ඔහු සිතන බව පැහැදිලියි.

මෙතැන දී වඩාත් ම වැදගත් කාරණය වන්නේ ගෝඨාභයට එරෙහිව පාරට බැස්ස අය මේ තත්ත්වය කියවා ගන්නේ කොහොමද කියන එකයි.

මා හිතන විදියට ගෝඨාභයට එරෙහිව පාරට බැහැපු අයගෙන් බහුතරයක් එහෙම කළේ ඒ මොහොතේ ඔවුන්ට අලුතෙන් මුහුණ දෙන්නට සිදුවුණු විදුලිය කැපීම්, ගෑස් පෝලිම්, තෙල් පෝලිම් වැනි ප්‍රශ්නවලට ක්ෂණික ප්‍රතිචාරයක් (knee-jerk reaction) විදියටයි.. දේශපාලන වශයෙන් ගැඹුරු හැඟීමක් හෝ අවබෝධයක් නැතිව හුදෙක් ක්ෂණික ප්‍රතිචාරයක් විදියට පමණක් මිනිසුන් පාරට බැස්සොත් සිදු වෙන දේ ගැන ඒ වෙලාවේ මම කිව්වා.

මේ වෙනකොට රටේ ජනතාව දුෂ්කර තත්ත්වයන්ට හුරු වී අවසානයි.  ඒ වගේ ම මීට මාසයකට දෙකකට කලින් තිබුණු ක්ෂණික ප්‍රතිචාරයේ ආවේගයත් මේ වන විට ස්වභාවිකව ම මියගිහින් තියෙනවා.

මේ නිසා පුරවැසි අරගලයේ 'බුබුළු නගින' සමය දැන් අවසන් වී තිබෙනවා. බුබුළු නගින සමයේ පොළොව යට හැංගුණු ගෝඨාභය ලා, මහින්ද ලා, බැසිල් ලා නැවතත් අලු ගසා දමා නැගිටින්න උත්සාහ කරනවා.

මේ අලුත් තත්ත්වය තුළ අපි අරගලය අලුතින් සොයා ගත යුතුයි - reinvent කළ යුතුයි.



ක්‍රම විරෝධීන් ගේ සහ වාමාංශික ජනප්‍රියතාවාදීන් ගේ අතාර්කික සහ අඥාන සටන් පාඨවලට යා හැකි උපරිම දුර මේ වන විට ගිහින් අවසානයි. පුරවැසි අරගලයේ මීළඟ අදියරට යන්න කලින් රටේ ජනතාවට දේශපාලන සාක්ෂරතාව ලබා දිය යුතු වෙනවා. දේශපාලනය ගැන ගැඹුරින් හිතන්න ඔවුන් උනන්දු කළ යුතු වෙනවා. ඒක එදිනෙදා මුහුණ දෙන දුෂ්කරතා හමුවේ ක්ෂණික ප්‍රතිචාරයක් විදියට පාරට බහිනවාට වඩා හුඟක් අමාරු වැඩක්.



මේ අමාරු සහ සංකීර්ණ වැඩේ කළ හැකි 'සරල රේඛීය' මාර්ගයක් මට තවම පෙනෙන්නේ නැහැ.

ඒත් මෙය කොතැනින් හෝ ඇරඹිය යුතුයි කියලා විතරක් පමණක් මට තේරෙනවා.

මම සිතන්නේ මෙතැන සිට ඇත්ත අරගලය වනු ඇත්තේ අරගලයේ මීළඟ අදියර පටන් ගත යුත්තේ කොතැනින්ද කියා සොයාගැනීමයි.


Rasik(රසික ජයකොඩි)
දේශපාලන විශේශ්ලේෂක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

07-06-2022

(Rasika Jayakody ගේ ෆේස්බුක් පිටුවෙන්..)

 

 


රට වෙනුවෙන් එකතුවන්න 

 

{gallery}radicalcenter2022531{/gallery}

  

Leader Whats app

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්