ශ්‍රී ලංකාවේ මහා සංඝරත්නය ඇතුළු ගිහි පැවිදි විද්වතුන් පිරිසක් පසුගියදා ශුද්ධෝත්තම දලයි ලාමා හිමියන්ට ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා ආරාධනා කර සිටිම සැලවීමත් සමඟ චීන රජය ඉමහත් කලබලයට පත් වී

ඉන්පසුව චීනයේ ශ්‍රී ලංකා තානාපති පාලිත කොහොන හදිසියේ ශ්‍රී ලංකාවට කැඳවනු ලැබූ අතර එසේ පැමිණි පසු ඔහුගේ ප්‍රථම රාජකාරිය වුයෙ මහනායක හා අනුනායක හිමිවරුන් බැහැදැක උන් වහන්සේලා විසින් සිදුකළ මේ ආරාධනාව පිළිබඳව විමසා බැලීමයි.

වෙනත් අයුරකින් කිවහොත් එහි යටි අරමුණ වූයේ චීන රජයේ නියමය පරිදි ශ්‍රී ලංකා තානාපති පාලිත කොහොන මගින් ශුද්ධෝත්තම දලයි ලාමා හිමියන්ගේ ශ්‍රී ලංකා සංචාරය අවලංගු කරවීමයි.

ඊට සමගාමීව චීන තානාපති කාර්යාලයේ නිලධාරීන් “හදිසියේ නින්දෙන් ඇහැරුණු පිරිසක්” සේ ක්‍රියාකරමින් ශුද්ධෝත්තම දලයි ලාමා හිමියන්ගේ ශ්‍රී ලංකා සංචාරය නතර කරවීමට තව දුරටත් උත්සාහ කරමින් මහනුවර හා ඒ අවට ජනතාව වෙත බඩු මලු 1000කට අධික ප්‍රමාණයක් බෙදා දෙන ලදී.

 



ඉන් නොනැවතුණු චීනය එහි තවත් පියවරක් ලෙස 2023 ජනවාරි 14 වන දින චීන කොමියුනිස්ට් පක්ෂයේ (CPC) ඉහළ පෙළේ නියෝජිත පිරිසක් එහි ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ උප අමාත්‍ය Chen Zhou ගේ නායකත්වයෙන් යුතුව  ශ්‍රී ලංකාවට පැමිණි අතර මෙම නිලධාරීන් විසින් හොරණ ප්‍රදේශය ඉලක්ක කොට ඒ අවට ජනතාව වෙත බඩු මලු විශාල ප්‍රමාණයක් බෙදා දීමට කටයුතු කරන ලදී.

 

එසේ හොරණ ප්‍රදේශයම ඉලක්ක කොට මෙම කාර්යය සිදුකිරීමට විශේෂ හේතුවක් තිබේ. එනම් හොරණ ප්‍රදේශයේ ජනතාව, චීනය සිය ප්‍රධානතම ප්‍රතිවාදියෙක් ලෙස සලකන ඉන්දියාව කෙරෙහි සුවිසල් ගෞරවයකින් පසුවීමයි. ඊට ප්‍රධාන හේතුව හොරණ ප්‍රදේශයට සම්පතක් බඳු හොරණ ශ්‍රී පාලි විද්‍යාලය සඳහා 1934 වසරේදී කීර්තිමත් සාහිත්‍යධරයෙකු වන ශ්‍රීමත් රබීන්ද්‍රනාත් තාගෝර් තුමා විසින් මුල්ගල තබා එම විද්‍යාලය ආරම්භ කිරීමයි.

 

ලාංකීය රජයට තම හොඳ හිත පෙන්වා. මෙවැනි “ධාර්මික අල්ලස්” ලබා දී නින්දිත අයුරින් ශුද්ධෝත්තම දලයි ලාමා හිමියන්ගේ ශ්‍රී ලංකා සංචාරය වැළැක්වීමට චීන රජය කටයුතු කරන්නේ ඇයි ? මේ පිළිබඳව විමසා බැලීම අතිශය වැදගත්ය.

වර්තමානය වන විට ලොව පුරා බෞද්ධ ජනතාව ඇතුළු සියලු ලෝක වාසීන්ගේ ගෞරව බහුමානයට පාත්‍ර වූ ශුද්ධෝත්තම දලයි ලාමා හිමියන් ලොව ප්‍රමුඛතම ආධ්‍යාත්මක නායකයෙක් ලෙස පැසසුම් ලබමින් සිටී. ලොව පුරා සිටින වත්මන් කතෝලික ජනතාවගේ ගෞරවනීය ආගමික නායකයා පාප්වහන්සේ වන්නේ යම් සේද, එලෙසම බෞද්ධ ජනතාවගේ ගෞරවනීය ආගමික නායකයා ශුද්ධෝත්තම දලයි ලාමා හිමියන්ය. එහෙත් උන්වහන්සේ මේ දක්වා පැමිණි ගමන් මග කිසිසේත්ම රෝස මල් ඇතිරූ මාවතක් නොවීය.

 

150220211700 05 dalai lama

1950 වසරේදී චීන කොමියුනිස්ට් හමුදා ටිබෙට් දේශය ආක්‍රමණය

 

1950 වසරේදී චීන කොමියුනිස්ට් හමුදා ටිබෙට් දේශය ආක්‍රමණය කර එහි නැගෙනහිර ප්‍රදේශය අල්ලා ගත් අතර ශුද්ධෝත්තම දලයි ලාමා හිමියන් ඇතුළු ටිබෙට් ජනතාව ඉන් මහත් අසරණභාවයට පත්විය. ඉන්පසු අනන්ත වූ ලේ වැගිරීම් හා අරගල බහුල කාලපරිච්ඡේදයක් පසුකළ ශුද්ධෝත්තම දලයි ලාමා හිමියන් ඇතුළු ටිබෙට් ජනතාව හිමාලය ඔස්සේ අතිශය දුෂ්කර ගමනකින් පසු ඉන්දියාව වෙත සංක්‍රමණය වූ අතර එතැන් සිට සිය ධර්ම ප්‍රචාරක කටයුතු මෙහෙයවීය.

තථාගත බුදු පියාණන් වහන්සේගේ මහා කරුණාව පෙරදැරිව අවිහිංසාවාදී ක්‍රියා පිළිවෙතක් අනුගමනය කරන උන් වහන්සේ වරක් සිය උපන් දේශය අහිමි වීම පිළිබඳව “මට රටක් නැතිවුනා, නමුත් ලෝකයක් ලැබුණා” යනුවෙන් දැක් වූ ප්‍රතිචාරයම ශුද්ධෝත්තම දලයි ලාමා හිමියන්ගේ උත්තරීතර දැක්ම මුළු මහත් ලෝක වාසී ජනතාව විසින් පිළිගත් ආකාරය පිළිබඳව කදිම සාක්ෂියකි.

 

image asset

වර්තමාන කාලවකවානුව තුළ ශ්‍රී ලංකාව වෙත ශුද්ධෝත්තම දලයි ලාමා හිමියන්ගේ ආගමනය සිදුවූයේ නම් ශ්‍රී ලංකාව තුළ මේ වන විට උද්ගතව ඇති ආර්ථික අර්බුදය සමනය කිරීමට එය මනා පිටුවහලක් වනු නොඅනුමානය. මන්ද, උන්වහන්සේගේ පැමිණීමත් සමඟම ලොව පුරා සිටින ලක්ෂ සංඛ්‍යාත අනුගාමිකයින් සහ බැතිමතුන් ශ්‍රී ලංකාව වෙත පැමිණීමෙන් ලංකාවේ සංචාරක කර්මාන්තයේ විශාල  ප්‍රබෝධයක් ඇති වනවාට අමතරව ශුද්ධෝත්තම දලයි ලාමා හිමියන්ගේ බැතිමතුන් වන ඇමරිකාවේ, යුරෝපයේ, ජපානයේ, සහ තායිලන්තයේ වෙසෙන මහා පරිමාණ ආයෝජකයින් මේ සමඟම ශ්‍රී ලංකාවට පැමිණීමෙන් ශ්‍රී ලංකාවේ ව්‍යාපාර ක්ෂේත්‍රයට ඔවුනගේ දායකත්වය ලබාගැනීමේ කාර්යයද නිතැතින්ම සිදුවීමය.

ඒ නිසා චීන රජයේ විරෝධය පසෙක ලා මේ පිළිබඳව නිසි අවධානය යොමු කරමින් පූර්ණ රාජ්‍ය අනුග්‍රහය හා සියම් මහා නිකායේ මල්වතු - අස්ගිරි පාර්ශ්වයේත්, අමරපුර හා රාමඤ්ඤ මහා නිකායේත් මහනායක හා අනුනායක  හිමිවරුන්ගේ අනුශාසනාව යටතේ ශුද්ධෝත්තම දලයි ලාමා හිමියන් ශ්‍රී ලංකාවට වැඩම කරවීමට නිසි පියවර ගත යුතුය. එය ශ්‍රී ලංකාව තුළ විශාල බොද්ධ පුනරුදයක් ඇතිකරලීමටත් හේතු සාධක වනවා නොඅනුමානය.

පසුගිය කාලය පුරා චීනය ශ්‍රී ලංකාවේ ආර්ථික හා දේශපාලනික කාරණා සඳහා සෘජුව හා වක්‍රව සම්බන්ධ වූ අතර එහි දිගුවක් ලෙස සාමාජීය හා ආගමික කාරණා සඳහාද සම්බන්ධ වීමේ සූදානමක් පවතින්නේද යන්න මෙම “දලයි ලාමා විරෝධය” හමුවේ අප හට පැනනගින ගැටලුවයි.

තවත් අතෙකින් චීන රජය විසින් ශුද්ධෝත්තම දලයි ලාමා හිමියන්ගේ ශ්‍රී ලංකා සංචාරයට බාධා, අවහිර පමුණුවන්නේ නම් එය ශ්‍රී ලංකාවේ අනාගත දියුණුවට සෘජුවම අකුල් හෙලීමක් බවයි.

 

chtgs

2015 වසරේදී ශුද්ධෝත්තම දලයි ලාමා හිමියන් ශ්‍රී ලංකාවේ සංචාරයකට එක්වීමට නියමිතව සිටියද එය සිදු නොවූයේ ද චීනයේ බලපෑම නිසාදැයි මේ හේතුව නිසා සාධාරණ සැකයක් උපදී.

එම නිසා අපට මේ රටේ ප්‍රධාන පුරවැසියා වන ජනාධිපතිතුමාගෙන් අවසානයේදී ඇසීමට ඇත්තේ ප්‍රශ්න දෙකකි. එනම් ආගම් ඇදහීම හා ධර්ම ප්‍රචාරය කෙරෙහි උදාසීන බවක් දක්වන කොමියුනිස්ට් රාජ්‍යයක් වන චීනයේ අල්ලේ නැටවෙන රූකඩයක් වෙමින් ඔබ විසින් සිදු කිරීමට බලාපොරොත්තු වනුයේ ශ්‍රී ලංකාවද එලෙස ආගමක් නොමැති රටක් බවට පත්කිරීමද ? එසේත් නොමැති නම් චීනයේ “දලයි ලාමා භීතිකාව” පයට පෑගෙන දුහුවිල්ලක් තරම්වත් මායිම් නොකර සෘජු තීන්දුවක් ගනිමින් ශුද්ධෝත්තම දලයි ලාමා හිමියන්ගේ ශ්‍රී ලංකා සංචාරයට මග පාදා ශ්‍රී ලංකාව ලෝකයේ සෙසු රටවල් අතර ගෞරවනීය තත්ත්වයකට පත්කිරීමද ?

ජනාධිපතිතුමනි, තීරණය ඔබට බාරය. අපි ඔබගේ මේ තීරණ දෙක පිළිබඳවම දැඩි විමසිල්ලෙන් පසුවන්නෙමු.


(විශේෂ වාර්තාකරුවකු විසිනි)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්