ග්‍රීක දාර්ශනික ප්ලේටෝ ඔහුගේ එදා අත්දැකීම අනුව ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ස්වභාවය පෙන්වාදීම සඳහා 'රාජ්‍යපාලකයා' නම් සිය සම්භාවනීය කෘතියෙහි එක් ස්ථානයක 'ප්රොටගරස්' ලවා උත්පත්ති කතාවක් කියවයි. එහි එක් කොටසක් මෙලෙස කියවමු.



‘’එක්තරා කාලයක දෙවිවරු පස සහ ගින්න මුසුකරමින් සතුන් නිර්මාණය කොට එම සෑම සතකුම නිසි ගුණාංගවලින් සන්නද්ධ කරන ලෙස සිය සහෝදර ප්‍රොමිතියස් සහ එපිමෙතියස්ගෙන් ඉල්ලා සිටියෝය. සතුන් සම්,කුර,නිය සහ පියාපත් ආදියෙන් සන්නද්ධ කළ එපිමෙතියස් ඔවුන්ට කඩිනම්වීම සහ සැඟවීම ද අත්කර දුන්නේය.එහෙත් ඔහු මිනිසුන් අතරට යන විට ඔහුට ඔවුන්ට දීමට කිසිවක්  ඉතිරි නොවුනි.මේ අතර මිනිසුන් නිරුවතින් සහ නිරායුධව සිටින බව සොයාගත් ප්‍රොමිතියස් තමා විසින් ඇතීනා සහ හෙෆේස්ටස් දෙවිවරුන්ගෙන් සොරකම් කරගන්නා ලද ගින්දර සහ යාන්ත්‍රික ශිල්ප මිනිසාට ලබා දුන්නේය. එහෙත් ඔහු මිනිසාට දේශපාලන ඥානය දුන්නේ නැත.ආරක්‍ෂාව සඳහා ඔවුන් එක්වීමට උත්සාහ කළ සෑම අවස්ථාවකම ඔවුන් එකිනෙකාට කොතරම් දරුණු ලෙස සලකන ලද්දේද යත්,ඔවුහු නැවත නැවත විසිර ගියහ’’

ප්ලේටෝ දක්වන එම උත්පත්ති කතාව සිභිපත් කෙරුනේ  සර්ව බලධාරී පාලකයකු ලෙස බලය පාවිච්චිකරමින් සිටින ජනාධිපතිවරයකු ඉදිරියේ අද ශ්‍රී ලංකාවේ විපක්ෂය කටයුතු කරමින් සිටින ආකාරය අනුවය.ප්ලේටෝනියානු නියාමය අනුව බලන්නේනම්,එදා ඇතැන්ස් පෞරරාජ්‍යවාසීනට මෙන් අද ශ්‍රී ලංකාවේ විපක්ෂයටත් සිදුව පවතින්නේ ''දෙවියන් විසින් දේශපාලන ඥානය නොදීම නිසා''ඇති වූ තත්වයක්ද?

 

අද ශ්‍රී ලාංකික දේශපාලනය තුළ දක්නට ලැබෙන්නේ, පාලකයා අසීමිත බලයක් අතට ගනිමින් සමාජ මතය නොතකා කටයුතු කරන අතරවාරයේ, සමාජ බලවේග පාලකයාගේ උපායමාර්ග ඉදිරියේ කාණ්ඩවලට බෙදෙමින් දේශපාලන ද්විත්ව විකාරරූපී නාඩගමක නිරතවීම යයි කිසිවකු විසින් යෝජනා කරනු ලැබුනොත් එය පුදුමයට කරුණක් විය නොහැක.එක අතකින් මහජන ඡන්දයෙන් බලයට පත්නොවූ අධිපතිවාදී මානසිකත්වයෙන් පෙළෙන පාලකයෙක් මහජන ඉල්ලීම් නොතකා හරිමින් ඒකාධිපතියකුයකු  මට්ටමින් ක්‍රියාකරයි. අනිත් අතින් එම දැවැන්ත මර්දනය හමුවේ විපක්ෂය සහ පුරවැසි සංවිධාන ප්ලේටෝ කියන පරිදි එකිනකා සමඟ ගැටෙමින් එම ගැටුමේ වාසිය ජනාධිපතිවරයා සහ ඔහුගේ පරිවාරය සඳහා පරිත්‍යාග කරමින් සිටිති.එම හැසිරීම ප්ලේටෝගේ දේවකතාවේ පුනරාගමනය වැනි තත්වයකි.

 

අපි නැවත ප්ලේටෝ කියවමු.


‘’ආරක්‍ෂාව සඳහා ඔවුන් එක්වීමට උත්සාහ කළ සෑම අවස්ථාවකම ඔවුන් එකිනෙකාට කොතරම් දරුණු ලෙස සලකන ලද්දේද යත්,ඔවුහු  නැවත නැවත විසිර ගියහ’’

සියළුදෙනා ගොදුරුකර ගනු ලැබෙමින් ඇති පොදු මර්දනය යෝධ මකරකු ලෙස තමන් ඉදිරියේ පෙනි පෙනීත්, ශ්‍රී ලංකාවේ  විපක්ෂය තවමත් කටයුතු කරමින් සිටින්නේ, ප්ලේටෝගේ උත්පත්ති කතාවේ සඳහන් පරිදි ''ආරක්‍ෂාව සඳහා ඔවුන් එක්වීමට උත්සාහ කළ සෑම අවස්ථාවකම ඔවුන් එකිනෙකාට කොතරම් දරුණු ලෙස සලකන ලද්දේද යත්,ඔවුහු  නැවත නැවත විසිර ගියහ’’යන ඉහත පාඨය සිහිපත් කරන තත්ත්වයකය.

 

බල්සාක් කැෆේ : මිලිටරි උන්මාදයේ දිශානතිය - (මංජුල වෙඩිවර්ධන)

පොලිස් සහ සෙසු සන්නද්ධ හමුදාව යොදාගනිමින් සිදුකරනු ලබන ප්‍රහාරවලින් සෑහීමක් නොලබන ජනාධිපති වික්‍රමසිංහ, දැන් මහජනතාවට බැටදීම සඳහා ''කුරුඳු පොලු හමුදාවක්''ද  එක්කර ගන්නා තරමින් නිර්දය සහ කුරිරුවී ඇත. ජනාධිපති වික්‍රමසිංහගේ මර්දනය තවත් බරපතළ අතට ගෙනෙමින් දැන් ඔහුගේ කැබිනට් ඇමතිවරුන් විසින් ද මර්දනය ඔවුන්ගේ අතට ගෙන ඇත.

පසුගියදා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කළ කාංචන විජේසේකර ඇමතිවරයා මහපාරේ විරෝධතා ව්‍යාපාරවලට හවුල්වෙන පුද්ගලයන්ට පහරදිය යුතුයයි කියාසිටියේය. ඇමතිවරයා සඳහන් කරන විරෝධතා ව්‍යාපාරවලට සාමන්‍ය ගොවීන්, කම්කරුවන් ඇතුළු යැපුම් ආර්ථිකය තුළ කොටුව සිටින දුප්පත් මහජනතාව පමණක් නොව වෘත්තිකයන්, සිවිල් ක්‍රියාධරයන් සහ ආගමික නායකයන් පමණක් නොව  ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පවා සහභාගී වෙති. කාංචන විජේසේකර ඇමතිවරයා කියාසිටින්නේ මේ සියළු කණ්ඩායම් තලාපෙළා දැමිය යුතු බවකි.

මේ අතර මර්දනය එළිපිට සිදුකරනු ලැබීමට අවශ්‍ය සියළු පිඹුරුපත් නෛතික වශයෙන් ද සූදානම් බව ප්‍රත්‍යක්‍ෂ වෙමින් පවතින්නේ වැඩවර්ජන භීතියෙන් ආණ්ඩුව  ඇතැම් සේවාවන් අත්‍යවශ්‍ය සේවා බවට ප්‍රකාශයට පත්කරනු ලැබ තිබීමෙනි. අත්‍යවශ්‍ය සේවා නියෝග කඩකරන පුද්ගලයන් සිර දඬුවම්වලට යටත් කිරීමට අතිරේකව, ඔවුන්ගේ දේපොළ රාජසන්තක කිරීමටද ආණ්ඩුවට බලය ඇතැයි ජනාධිපති වික්‍රමසිංහ මෙන්ම මහජන ඡන්දයෙන් ප්‍රතික්ෂේප වූ දේශපාලකයකු වන වජිර අබේවර්ධන තර්ජනය කළේය.


අරගලය දුන් පාඩම


එවැනි සියළු තර්ජන පරාජය කළ හැක්කේ කෙසේද යන්න සම්බන්ධයෙන් අපට අද ඇති එකම දේශපාලන පාඩම ගෝල්ෆේස් අරගලයයි. අරගලය විසින්  පරාජය කරනු ලැබ ජනාධිපති නිල නිවසේ පිටුපස දොරටුවෙන් නෙරපා හරින ලද්දේ කිසිදාක සෙලවිය නොහැකි යයි උපකල්පනයක් සහිත බල රෙජීමයකට අයත් පාලකයෙකි.පොදු අභියෝගයක් හමුවේ සකලවිධ බෙදීම්වලින් තොරව මහජනතාව එකට පෙලගස්වනු ලැබීම අත්තනෝමතික පාලන බල පවුරු බිඳහෙලනු ලැබීමේ එකම අවිය වන්නේය යන දේශපාලන පාඩම  නිර්පාක්ෂික අරගලය විසින් දේශපාලන පක්ෂ සහ කණ්ඩායම්වලට කියාදෙන ලදී.

රජයක පුරවැසියන් පාලකයන්ට එරෙහිව නැගී සිටින්නේ කුමන තත්වයක් යටතේද යන්න ප්‍රත්‍යක්ෂ කරනු ලැබීම අතින් ද අරගලය වැදගත් දේශපාලන පාඩමක් කියවයි.

 

රජයක්  පුරවැසියන්ට පෞද්ගලික හෝ පොදු මට්ටමින් අයහපත් වේනම්  ඊට එරෙහිව මිනිසුන් නැගී සිටිති.එවැනි මහජන නැගිටීම් හෝ කැරලි ගැසීම්වලට මූලික බල කිරීම පැන නගින්නේ මිනිසුන්ට තම ජීවිත හෝ ජීවන තත්වයන් දරාගත නොහැකිවීමත් සමඟ, පවතින රජය යටතේ විසඳුමක් සම්බන්ධයෙන්  බලාපොරොත්තුවක් නොමැති වූ විටය.රජය ඔවුන් ගැන තැකීමක් නොකරන බවත්, ඔවුන් වෙනුවෙන් කිසිවක් නොකරන බවත් දැනෙන විටය. පවතින ආණ්‌ඩුවේ අසාර්ථකභාවය හමුවේ ජනතාව තමන් සඳහා යහපත් අනාගතයක අපේක්ෂාවෙන්  එම රජය පෙරළා දැමීමට පෙළඹෙනු ඇත.

 

එහෙත් විපක්ෂය අදත් එම පාඩම සිහි බුද්ධියෙන් කියවා ඇද්දැයි සැකයක් සිතෙන්නේ ඔවුන් අද දේශපාලන වශයෙන් හැසිරෙන ආකාරය අනුවය.  ප්ලේටෝ සඳහන් කරන පරිදි ''දෙවියන් ඔවුන්ට දේශපාලන ප්‍රඥාව ප්‍රදානය කර නැද්ද?’’


දුර්වලම ආණ්ඩුව


image b7ee38b301

ජනාධිපතින් රනිල් වික්‍රමසිංහ නායකත්වය දෙන ආණ්ඩුව 1960 මාර්තු- ජූලි එජාප ආණ්ඩුවට පසුව බලයේ පසුවෙන දුර්වලම පාලනයයි. පළමුකොට ඊට මහජන වරමක් නැත. ජනාධිපති පදවිය දරන්නේ මහ මැතිවරණයක දී සිය පාර්ලිමේන්තු ආසනය පවා රැකගැනීමට නොහැකි තැනැත්තෙකි. ඔහුගේ පක්ෂයට  දැනට පාර්ලිමේන්තුවේ ඇත්තේ එක මන්ත්‍රී පදවියක් පමණි.ඔහුත් ජාතික ලැයිස්තුව නියෝජනය කරන පරාජිත අපේක්ෂකයෙකි. දෙවනුව, ජනාධිපතිවරයා එම පදවියට ඔසවා තබන ලද දේශපාලන පක්ෂය වන පොදු ජන පෙරමුණ මහජන සහයෝගය අතින් එහි දුර්වලම අඩියේ සිටින තැනට අරගලය විසින් පත්කරනු ලැබුණි. ඇත්තෙන්ම, සිදුවිය යුතුව තිබුනේ ජනාධිපතිවරයා පලාගිය වහාම ඔහුගේ පාලනයේ ඉතිරි සුන්බුන් ද ඉවත්කර ගනිමින් මහජන පාලනයක් ඇතිකරගනු ලැබීමය.



එහෙත් ශ්‍රී ලංකාවේ විපක්ෂය විසින් සිදුකරන ලද්දේ කුමක්ද?


ඉන් පළමුවැන්න; රාජපක්ෂ ආණ්ඩුවට සම්බන්ධව සිටි හෝ දැන් නොසිටින ඇතැම් දේශපාලන පක්ෂ අරගලය ගර්හාවට ලක්කරනු ලැබීමයි. ඔවුන්ගෙන් ඇතැම් කණ්ඩායම් අරගලය සොරුන්ගේ කුඩුකාරයන්ගේ හෝ වෙනත් ලුම්පෙන් කණ්ඩායම්වල මැදිහත්වීමක් හැටියට අර්ථ ගන්වනු ලැබුණි.

දෙවැන්න; අරගලයේ දේශපාලන වාසිය තමන් අතට ගැනීමට යත්න දරමින් පසුව අරගලයේ දුබලතා ඉස්මතු කිරීමට යොමු වූ  ආණ්ඩුව තුළ නොවූ ඇතැම් දේශපාලන පක්ෂවල හැසිරීමයි.

මේ සියල්ලෙහි එකමුතු වාසිය එකවර අත්පත්කර ගන්නා ලද්දේ ජනාධිපති වික්‍රමසිංහ විසිනි. ප්‍රධාන දේශපාලන  අභියෝගය එල්ලවෙමින් පවතින්නේ විපක්ෂ කණ්ඩායම්වලින් නොව අරගල භූමියෙන් බව තේරුම්ගත් වික්‍රමසිංහ ඉතා සූක්ෂ්ම ලෙස අරගලය (තාවකාලිකව හෝ) දියකර හැරීමට පියවර ගත්තේය.මහින්ද රාජපක්ෂගේ මැර බලකායට පවා පරාජය නොවූ අරගල බිම ඉවත් කෙරෙද්දී විපක්ෂය බලා සිටියේය. රනිල් වික්‍රමසිංහ කොතරම් උපායශීලී වීද යත්,ඔහු අරගලයෙන් උපන් නීත්‍යානුකූල මහජන පාලකයා තමාය යන අදහස සමාජගත කරන ලද්දේය.


මැතිවරණ ඇම

 

මැකියාවෙලි සහ කෞටිල්‍ය අනුව යමින් ජනාධිපති වික්‍රමසිංහ ඊළඟට සිදුකළේ සිය දේශපාලන සතුරා  ඇවිලවීම සඳහා 'නොපැවැත්වීමේ සැලසුමක්' සහිත පළාත් පාලන මැතිවරණයක්  ප්‍රකාශයට පත්කරනු ලැබීමය. සැලැස්මේ කොටස්කරුවන් වූ එක්සත් ජාතික පක්ෂය සහ පොදු ජන පෙරමුණ නිද්‍රාජනක ඖෂධ පාවිච්චි කරන ලද ව්‍රතයක පසුවෙද්දී, දිනුම් කනුව පළමුව පසුකිරීමේ උන්මාදයෙන් මෙන් ජාතික ජනබලවේගය සහ  නිදහස් සමගි සන්ධානය වේදිකා දෙකක සිට එකිනෙකාට මඩගසා ගැනීමක් ආරම්භ කළහ. ‘’ඔවුන් එකිනෙකාට කොතරම් දරුණු ලෙස සලකන ලද්දේද යත්,ඔවුහු  නැවත නැවත විසිර ගියහ’’

 

දේශපාලන උපක්‍රම හඳුනා නොගැනීම


එවැනි දේශපාලන හැසිරීමකට හේතුව පොදු තර්ජනය ඉදිරියේ විපක්ෂය විසින් දේශපාලන උපාය උපක්‍රම තේරුම් නොගැනීමයි.

තේරුම්ගත යුතුව පවතින පළමු සහ වැදගත් කරුණ වන්නේ රාජපක්ෂ රෙජීමය යටතේ මෙන්ම එහි අනුප්‍රාප්තික  වික්‍රමසිංහ පාලනය යටතේත් ප්‍රජාතන්ත්‍රවාදයේ මුල් කුළුණු බිඳ වැටෙමින් පැවතීමයි. ප්‍රජාතන්තරවාදී දේශපාලන සමාජයක පහත දක්වනු ලබන අංගෝපාංග හතර ඉතාම වැදගත් වෙයි.

(අ)මූලික මානව අයිතිවාසිකම්වලට ගරුකිරීම, 


(ආ)භාෂණයේ සහ අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය,

(ඇ)නියමිත කාලයට මැතිවරණ කැඳවීම,

(ඈ)නීතියේ ආධිපත්‍යය සහ අධිකරණයේ ස්වාධීනත්වය


මූලධාර්මික මට්ටමින් ව්‍යවස්ථාපිත එම සියළුම අගයයන් රනිල් වික්‍රමසිංහ පාලනය යටතේ නොතකා හරිනු ලැබීමට ලක්වෙමින් පවතී. මහජන සන්නිපාතවීම් තහනම් කිරීම, උද්ඝෝෂකයන්ට පහර දී මරාදැමීම සහ මැතිවරණ සමච්චලයට ලකිරීම මගින් මෙහි පළමු කරුණු තුන ප්‍රසිද්ධියේම උල්ලංඝනය කර අවසන් කළ වික්‍රමසිංහ පාලනය, දැන් අධිකරණ නියෝග නොතකා බැහැරකරනු ලබන ස්ථානයක් කරා ගමන්කොට ඇත.


දේශපාලන උපක්‍රම හඳුනා නොගැනීම


තම සිතැඟි කිසිදාක එළිපිට නොකියමින් වෙනත් දෙයක් කරන චරිත ලක්ෂණ හිමි ජනාධිපති වික්‍රමසිංහ, මේ මොහොතේ සිටින්නේ කාලය සමඟ ක්‍රීඩාවක නිරතවෙමිනි. කල්මරමින් ඔහු විසින් ගනුලබන ආර්ථික සහ දේශපාලන තීන්දු සමස්ත සමාජයට දැරිය නොහැකි වැයක් අත්කරනු ලැබීමේ අනතුරක් පවතී.
 
 
එවැනි පොදු තර්ජනයක් හමුවේ විපක්ෂය විසින් ගතයුතුව ඇති දේශපාලන ක්‍රියාමාර්ගය කුමක්ද? වෙන්ව නැසීමද?නැත්නම්, මහා අභියෝගය හමුවෙහි  එක්ව අනතුර මගහැර ගැනීමද? විපක්ෂ කණ්ඩායම් මේ මොහොතේ එකී යතාර්ථය නිවැරැදිව තක්සේරු නොකරන අතරවාරයේ, ඉක්මණින් තමන් අතට බලය ගැනීමේ දේශපාලන සිහිනයෙන් කල්ලිවාදීව හැසිරුණහොත් එය සියලුදෙනාගේම  මහා පරාජයකින් සහ මහජනතාවට අත්වෙන විශාල අලාභයකින් අවසන්වනු ඇත. ප්ලේටෝ සඳහන් කරන පරිදි එදිනට ලියාතබන්නට සිදුවන්නේ  ‘’ආරක්‍ෂාව සඳහා ඔවුන් එක්වීමට උත්සාහ කළ සෑම අවස්ථාවකම ඔවුන් එකිනෙකාට කොතරම් දරුණු ලෙස සලකන ලද්දේද යත්,ඔවුහු  නැවත නැවත විසිර ගියහ’’යනුවෙනි.



upali Gajanayake(උපාලි ගජනායක)
බීබීසී සිංහල සේවයේ හිටපු මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


 

 

JW


 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්